Saturday, 13 February 2016

ගෙඩි සියයක් බිම හෙළුවත්

මා බොහොම කැමති දෙයක් තමයි නොදන්නා කෙනෙක් සමග කතාවට වැටීම. මේක ඉතින් අපි ඉස්කෝලෙ
යන කාලෙ නම් හැම කොල්ලට වගේම තිබුන දෙයක්. කොහොම වුනත් මම නොදන්නා කෙනෙක් සමග කතා කර ඔහුගේ හෝ ඇයගේ කතාවට සවන්දීමට ප්‍රිය කරනවා.

මෙහිදී සෑහෙන අද්දැකීම සමුදායක් ලබාගැනීමට හැකියි. වරක් මට මුනගැහෙනවා අවුරුදු අටක පමන ගැහැණු දරුවෙක්. ඇයගේ බාහිර ස්වරූපය මගින් කිසිම දෙයක් උකහා ගන්නට මා සමත් වුයේනෑ. මා ඈ සමග කතාවට වැටුනා. ඇයගේ පාසල් විස්තර පවසා අවසන් වූ පසු පවුලේ විස්තර ගැන ඈ කියවන්නට වුනා. ඇය කිසිම කටකාරකමක් තිබූ තැනැත්තියක් නොවේ. නමුත් ඈගේ කතා විලාශයට අනුව වයසට වඩා පරිණත බවක් පෙන්නුම් කෙරුනා. ඈ පැවසූ ආකාරයට ඇයගේ පියාට ස්ථීර රැකියාවක් තිබුනේ නෑ. කුලී වැඩ මගින් තම දරු පවුල පෝෂණය කරන බවක් තමයි ඈ පැවසුවේ. ඒත් ඇය ඇඳ සිටි ඇඳුම් වලින් ඒ බවක් පෙන්නුම් කෙරුනේ නෑ.

ඉතින් මා විමසන්නට වුනා. ඇයගේ මව සහ පියා දෙදෙනාම කුලී වැඩ කරනා බවත් තම මව මීට අමතරව උදයට කඩවලට ඉඳිආප්ප සාදා විකුනන බවත් ඈ පැවසුවේ සුසුමක්ද පිට කරමින්.

මෙසේ ගොඩනැගුනු සංවාදය ඔස්සේ මාගේ ප්‍රශ්න වලට පිලිතුරු දුන් ඇය මා වෙත ප්‍රශ්නයක් යොමු කලා. 'ඔයා අහල තියෙනවද ගෙඩි සියයක් බිම හෙලුවත් කියන සිංදුව?' මා තරමක් විශ්මයට පත් වුනත් ඒ බව නොපෙන්වා මා එය අසා ඇති බව පැවසූවා. ඇය කතා කරන්නට වුනා. 'අපේ තාත්තත් කුලී වැඩ නැති වෙලාවට ගස්වල ගෙඩි කඩනවා. මමයි නංගියි සමහර වෙලාවට බලන්න යනවා. ඒ සිංදුවේ විදියටම මම නංගිට ඇස් වහගන්න කියනවා. එයා බයයි' මෙසේ ඈ ඒ සිදිධි දාමය පවසන්නට වුනා. ඇයගේ කතාවෙන් මට තේරුම් ගිය දෙයක් තමයි ඇගේ දෙමාපියන් එතරම් අමාරුවෙන් ජීවිතය ගැටගහ ගනිද්දී තම දරුවන්ට අග හිඟ කම් දැනෙන්නට දී නැතිබව. නමුත් ජීවිතයේ යතාර්ථය හොඳින් තේරුම් කර දී ඇති අයුරුද පෙන්නුම් කෙරෙනවා ඇයගේ වාග් විලාශය තුල.

මේ සිද්ධිය නිසා මට නන්දා මාලනියගේ 'ගෙඩි සියයක් බිම හෙලුවත්' ගීතය ඔබ වෙත රැගෙන එන්නට සිතුනා.

පවුලක පළමු දරුවා ගැහැණු දරුවෙකු නම් ඇය තමාගේ බාල සහෝදර සහෝදරියන් වගකීමකින් යුතුව රැක බලාගැනීමට පෙලඹෙන්නේ නිතැතින්. බොහෝ විට මවගේ අවවාද මගින් මෙය තීව්‍ර කෙරෙනවා. මේ ගීතයේ කතා නායිකාවත් එවැනි තැනැත්තියක්. තම බාල නැගණියට පියාගේ රක්ෂාව පිළිබඳ යම් අවබෝධයක් ලබාදීමට ඈ කටයුතු කරන්නීය.

මේ පොල් කැඩීමේ රක්ෂාව අමුතුම ගනයේ එකකි. එක් එක් පළාත්වල මෙය සිදුවන ආකාරය වෙනස්ය. කුලී මුදලද සමග ගස් ගනනට පොල් ගෙඩි ලබාගැනීමක් සමහර ප්‍රදේශ වල සිදු කරයි. නමුත් සමහර පැති වල කුලී මුදල ලැබ්න්නේ නැත. ඔහු ගෙඩි කඩනා ගස් වලට අනුව පොල් ගෙඩි පමනක් හිමිවේ. මේ අතර මා මතකයට නැගෙන්නේ ජංගම දුරකථනයක් පවා ලඟ තබාගෙන ගෙඩි කඩනා මිනිසෙක් පිලිබඳවය. ඉතින් මේ කොහොම වුනත් ගීතයට අනුව මේ දැරිවියගේ පියාට ගෙඩි කැඩීමෙන් කුලියක් ලැබෙන්නේ නැත. ලැබෙන්නේ ඉතාම සීමිත පොල් ගෙඩි ගනනකි. ඒ ගෙඩි හන්දියේ කඩයට විකුණා ඔහු මුදලක් උපයාගනී. මෙහිදී තමන් ගෙවන ජීවිතයේ දරිද්‍රතාවය පැවසීමට අපූරු යෙදුමක් යොදාගනී. 'පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ' මෙය ඉතාම ලස්සන මෙන්ම අර්ථවත් ව්යන්ගාර්තයකි.

තම අප්පච්චී ගසට නැගුන විට හමන සුලඟ මදනලක් නොවේ. මුරණ්ඩු වූ සුලඟකි. එයින් රචකයා ජීවිතය ගෙනයාමට ඇති දුෂ්කරතාවය මනාව ගෙනහැරපායි. එහිදී තම නංගී හට ඈ පවසන්නේ හයියෙන් හුස්ම ගන්න එපා යනුවෙනි. එයින් රචකයා අදහස් කරන්නේ මේ දරිද්‍රතාවය වෙනුවෙන් සටන් වදින අප්පච්චී හට දරුවන් දක්වන සෙනෙහස මෙන්ම ඔහුහේ දිරිය පහතට නොදැමීමට කටයුතු කරන්නට නංගී හට උපදෙස් දෙන ආකාරයයි.

අප්පච්චී කරනා සටන සුලුපටු නැත. පොල් ගස් ඉතා උසින් යුක්ත ඒවාය. පියෙන් පියට ඉහලට යනවිට ඇති අවදානමද වැඩිය. තමන් රැකුමට මේ අප්පච්චී කරනා දේ කෙතරම් අවදානම්ද යන්න ඈ නොදන්නවා නොවේ. ඈ බියවන්නේ ඒ නිසාවෙනි. තම නැගණියත් මෙසේ බියවීමට ඉඩ ඇති බව දන්නා ඇය තමාගේ අත්දැකීම් මගින් එය තරමකට හෝ සමනය කරගත හැකි මගක් පවසන්නීය.
'පුංචි දෑස තදින් පියාගන්න නංගියේ..
මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ...'

දුප්පත්කම උරුම කරගත් පවුලක් ගොඩගැනීමට තම අප්පච්චී හෙලනා දහඩිය කඳුලු වල වටිනාකම දන්නා දුවණියක් තම නැගණියට කෙමෙන් ඒ පිළිබඳව කියාදෙන අයුරු කෙතරම් අපූරුද? සමන් ප්‍රියදර්ශනගේ මේ පද පබැඳුම ඉතාම විශිෂ්ට ගනයේලා සැලකිය හැකිය. ඒ වගේම ආනන්ද ගමගේගේ සංගීතය මෙහි ගී අලංකාරය වැඩි කිරීමට සමත්වී ඇත.

තම දෙමාපියන් මහන්සියෙන් උපයනාදේ කාබාසිනියා කර දමනා දරුවන් අතර මේ දැරිවිය සම්පතකි.

~~තේජන අබේදීර~~


ගෙඩි සියයක් බිම හෙළුවත්
අපප්චිට එක ගෙඩියයි...//
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ..
පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ..//

ගස් සොලවා හමා ඇදෙන
සුළඟ තවත් මුරණ්ඩු වෙයි
හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ
අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ...

ගෙඩි සියයක්...//

පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියාගන්න නංගියේ..
මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ...

ගෙඩි සියයක්...//

ගායනය : නන්දා මාලිනී
පද රචනය : සමන් ප්‍රියදර්ශන
සංගීතය : ආනන්ද ගමගේ


No comments: