Friday 19 February 2016

ගම හැරදා මං යනකොට...

"ගම හැරදා මං යනකොට
කෝන් ගහේ තුන් මුදුනේ
නුඹ හිටියා විස්සෝපෙන්
පාළොස්වක සඳ කුමරී....

ලෙන්ගතුකම් වැඩි හිංදා
මුලිච්චි වෙන්නට හිතාන
සෑහෙන කලකට පස්සේ
යලි ආවා පුතය වගේ
කළු කාපට් පාර දිගේ
මෙතන තිබුන ගුරු පාරත්
හොරු අරගෙන ගිහිං වගේ

අරුමෝසම් කම්බි වලින්
ඉමිටේෂන් හීන වලින්
හිරවී පැටලී ගොළුවී
හයිටෙන්ෂන් කුළුණක් උඩ
යලි බැහැ ගන්නට නොහැකිව
නුඹ සිටියා ලප මකමින්
පාළොස්වක සඳ රැජිණී"

රජරට උපන් තරුණයෙකු සිය උපන් ගම හැරදා විදේශගතව නැවත පැමිණි අවස්ථාවේදී ඔහු අත්දකින වෙනස පිළිබඳව නිර්මාණය වී ඇති නවමු ගීතයකි,දර්ශන වික්රමතුංගයන් සංගීතවත් කොට සමන් ලෙනින් ගායනා කරන නයනසේන වන්නිනායකයන් රචනා කරනලද "ගම හැරදා"කියන ගීතය.

"ගම හැරදා මං යනකොට
කෝන් ගහේ තුන් මුදුනේ
නුඹ හිටියා විස්සෝපෙන්
පාළොස්වක සඳ කුමරී..

කෝන් ගස් රජරට බහුලව ඇති ගස් විශේෂයකි.ස්භාවික පරිසරයේ සශ්රීකත්වය කෝන් ගහ මගින් සංඛේතවත් වේ.කෝන් ගහේ ඉහළම තැන වන තුන් මුදුනේ සිටින සඳ,ඔහුගේ මෙම ගමෙන් පිටව යෑමට කැමති නැත.එම නිසා සඳ විස්සෝපෙන් සිටින වගක් කියැවේ.

ලෙන්ගතුකම් වැඩි හිංදා
මුලිච්චි වෙන්නට හිතාන
සෑහෙන කලකට පස්සේ
යලි ආවා පුතය වගේ
කළු කාපට් පාර දිගේ
මෙතන තිබුන ගුරු පාරත්
හොරු අරගෙන ගිහිං වගේ..

ඔහු ගමෙන් ඈත්ව සිටියද "සඳ කුමරී "සමග පැවති ලෙංගතු කම මඳකුදු අඩුවී නැත.ඇය නොදැක සිටි කාලය තුල ලෙංගතුකම තවත් වැඩිවී ඇත.සඳ කුමරීව මුනගැසීමට ඔහු එන්නේ ආරෝපණය කරගත් අභිමානයකින් යුක්තවය.මෙය විදේශගතව සිට පැමිණෙන බොහෝ දෙනෙකුගේ දැකිය හැකි ලක්ෂණකි.😀😀 .එනම් දිගු කලක් විදේශගතව සිට එන්නෙකු ආරෝපණය කරගත් මාන්නයකින් පැමිණේ. නැතහොත් ගමේ අය ඔහුට මාන්නයක් ආරෝපණය කරවති.😀😀.මේ සියල්ල "පුතය වගේ" යන වචන දෙකට කැටි කිරීමට නයනසේනයන් සමත්ව ඇති ආකාරය ප්රශංසනීය.

එසේ ඔහු පැමිණෙන්නේ වෙනදා ගිය ගුරු පාර දිගේ නොව කළු කාපට් පාර දිගේය.කාපට් පාර කොහොමත් කළුය.නමුත් නයනසේනයන් එයට කළු කාපට් පාර යැයි කියති.එමඟින් ඔහු සංඛේතවත් කරන්නට ඇත්තේ ස්භාවික සහ සංස්කෘතික පරිසරයන්ට,නූතනත්වය විසින් සංවර්ධනයේ මුවාවෙන් කරන ලද හානිය විය නොහැකි ද?

තමා මෙරටින් බැහැරව සිටි සමයේ සිදුව ඇති පාරිසරික හා සංස්කෘතික පරිහානිය පිළිබඳව ඔහුගේ ඇත්තේ දැඩි කෝපයකි.එය ඔහු ප්රකාශ කරණුයේ "මෙතන තිබුන ගුරු පාරත් හොරු අරගෙන ගිහින් වගේ "..ආවේගයක් ප්රකාශ කිරීමෙනි.එය වඩාත් ප්රබලව ඉදිරිපත් කිරීමට ලෙනින් හඬ හසුරුවන ආකාරයත්,වික්රම
තුංගයන් සංගීතය මෙහෙයවා ඇති ආකාරයත් ප්රශංසනීයය
.
ගීතයේ උක්ත කොටස ඇසූ මා සිතට පැමිණියේ " මහාචාර්ය වරයාගේ උයන්පල්ලා"නම් කෙටි කථාවයි.එහිදී ස්භාවික පරිසරය වෙනස්කල උයන්පල්ලාට එරෙහිව උරන වූ මහාචාර්ය වරයාව ලෙනින්ගේ හඬ පෞරුෂය තුලින් මා හට දෘශ්යමාන වීය.

අරුමෝසම් කම්බි වලින්
ඉමිටේෂන් හීන වලින්
හිරවී පැටලී ගොළුවී
හයිටෙන්ෂන් කුළුණක් උඩ
යලි බැහැ ගන්නට නොහැකිව
නුඹ සිටියා ලප මකමින්
පාළොස්වක සඳ රැජිණී"

නිල්ල නිලන ගස්කොලන් හා වැව් තාවුලු වලින් පිරි රජරටට අද ඒ වෙනුවට ඇත්තේ විදුලි රැහැන්,විදුලි කුළුණු,සන්නිවේදන කුළුණු ආදියයි. මෙමෙ නූතන සංවර්ධනයයැයි කියන තාක්ෂණික යටිතල පහසුකම් රජරට ස්භාවික පරිසරය ආක්රමණය කරමින් ගම් දනව් තුලට කා වැදී ඇත.එදා කෝන් ගස්,කුඹුක් ගස් මතින් බැබලුණ සඳ අද පෙනෙන්නේ සන්නිවේදන කුළුණු හා විදුලි කුළුණු මතිනි.එසේ දිස්වන සඳ තුලින් පෙර ලද සිසිලස නොඅඩුව ලැබෙන්නේද? නැත.ගස් කොලන් තිබුනත් නැතත් සඳ පෑයිය යුතුය.එය සොබා දහමේ රීතියයි.
එසේ කුළුණු මතින් පායන සඳට ගැටලු ගොඩකි.ඒ ඉමිටේශන් හීන තුල අතරමංව ඇති නිසාය.නූතන සංස්කෘතියේ ඇති හිස් බව නයනසේනයන් ගීතයට කාවද්දන්නේ මෙතන දීය.මෙම ඉමිටේශන් සංස්කෘතිය වැළඳ ගැනීමට සඳ සූදානම් නැත.නමුත් එය බලෙන් සඳට ඔබ්බවා ඇත.එනිසා සඳෙහි ඇති ලප ඉස්මතුවී පෙනේ.එය සඳට පීඩාවකි.වත්මන් බසින් කිවහොත් එනිසා සඳ ටෙන්ශන් වෙලාය.😀😀.
එබැවින් සඳ නැමැති සොඳුරු සංස්කෘතියට නූතන ඉමිටේශන් සංස්කෘතිය නැමැති කුළුණෙන් බැස ගැනීමට අවැසිය.එහෙත් එයට ඉඩක් නැත.එනිසා සඳ මෙම සංස්කෘතික සෝදා පාළුව ටික ටික හෝ මකා ගැනීමට උත්සාහ ගනිමින් සිටින වගක් පෙනේ.
"නුඹ සිටියා ලප මකමින් "යන්න තුල මේ සියල්ල අන්තර්ගත වී ඇත
.
ප්රතාපවත් හඬ පෞරුෂයකින් හෙබි සමන් ලෙනින් ගේ ගායනයෙනුත්,දර්ශන වික්රමතුංගයන් ගේ මධුර ස්වර රචනයෙනුත් අලංකාර වූ මෙමෙ ගීතය සාර්ථක ගීතයක් හැටියට හදුන්වා දිය හැක.

බුද්ධික ප්රදීප්
2016:02:18.


No comments: