Thursday, 11 February 2016

දර මිටි බැඳගෙන නියඟය අවුලා

දර මිටි බැඳගෙන නියඟය අවුලා
සූරිය දෙවියෝ වැඩ ඉන්නේ
වැවට දිරා ගිය කඳ උඩ හිටගෙන
කොකුනේ කාටද හිනැහෙන්නේ

දෝතින් බොන්නට දියට නැමී
කෙකටිය ගාලෙන් ඉගිලෙනවා
හඳපානට නිකිණි මලේ
වැව් ඉස්මත්තේ හැංඟෙනවා

අහස පිහින්නට ඉපල තනා
ගහකොළ දළු මල් දන් දෙනවා
කුරහන් අහුරක සුවඳ අගේ
සිඟිති පැටව් දැක සිහිවෙනවා

ගායනය: සුනිල් එදිරිසිංහ

නියඟයක් ආවම මොකද වෙන්නේ.මේ ගීතය මගින් කියවෙන්නේ එවැනි වටපිටාවක් ගැන..
සූරිය දෙවියන් ඔහුගේ ආදිපත්‍යය හැම තැනම පතුරුවාගෙන..දෙරණ ගිනියම් වෙලා..පරිසරය උණුසුම් වෙලා..හිරුගේ අණසකට හැමදේම යටත් වෙලා..වැව්, පොකුණු වල වතුර අඩු වෙන්න පටන් අරන්..වතුර හිදෙන්නට පටන් ගත්තම මාළුන් තම ආහාරය කර ගන්නා කොකුන් වැනි සියොතුන්ට නම් සතුටු ඇති..මේ ගීතයේ රචකයා දකින්නේ කොකුන් වැව දෙස බලාන හිනාවෙනවා වගේ.

ලොව සුන්දකර කරනා නෙක වර්ණයන්ගේ පුෂ්පයන්ට වෙනදා වගේ තම කාර්යය ඉටු කරන්නට අවස්ථාවක් නෑ.හිරු රශ්මියට බියේ ඔවුන් හැoගිලා..තුරුලතාවෝ ඉපල් බවට පත් වෙලා..රචකයා දකින්නේ තුරුලතාවන් තම දළු මල් දන් දී ඇති ලෙසටයි.. සෞභාග්‍යය පළා ගිහින්..අස්වැන්න පාලු වෙලා..ඒ කියන්නේ මේ වගේ කාලෙට මිනිසුන්ගේ අතමිට ඒ තරම් සරු නෑ.ජීවිතය දුෂ්කරයි..පොඩි දරුවන් කුසගින්නෙන් හඩනවා..රචකයා කියනවා කුරහන් අහුරක සුවඳ අගේ සිගිති පැටව් දැක සිහිවෙනවා කියලා.

දෙයක් නැති වුණාම එහි අගය වැඩියෙන් දැනෙනවා කියනවානෙ.ඉතින් මේ වගේ වෙලාවට තමයි කුරහන් අහුරක අගය දැනෙන්නේ කියලා රචකයා කියනවා..

~~යෝජිකා සංජීවනී~~


No comments: