Thursday 11 February 2016

ඔසරි පොටින් අදින්නෙපා වලාකුළයි ඉරෙන්නේ..

ඔසරි පොටින් අදින්නෙපා වලාකුළයි ඉරෙන්නේ..
රිදී පොටින් අදින්නෙපා තරු දෙපොටයි කැඩෙන්නේ..
මුණට මගෙ එබෙන්නෙපා සඳ එළියයි නිමෙන්නේ..
හැමදාමත් ඔච්චම් නෑ ඕලු විලට පනින්නේ..


ඔසරිය ගෙදරටත් ඇඳගෙන ඉන්නෙ ගමේ යමක් කමක් තියන පවුල්වල උදවිය.මේ සින්දුවෙ ඉන්නෙත් එහෙම කෙනෙක්.
හුඟක් ප්‍රේමවන්තයො වගේ මේ ප්‍රේමවන්තයත් කරන්නෙ තමන්ගෙ ප්‍රෙමවන්තිට එහෙන් මෙහෙන් ඇදල උසුළු විසුළු කරන එක. හැබැයි මේ ප්‍රෙමවන්ති කියන්නෙ ඒවට එන්න එපා කියල. ඇත්තටම කියනවනම් එයා කියන්නෙ පොඩි පොඩි දේවල් කරන්න එන්න එපා, මම මෙච්චර කල් ඉවසුව ඇති ලොකු ලොකු දේවල් වෙන්න පුළුවන් කියලයි. මෙයා කියනව වැඩිය මූණට කිට්ටු වෙන්න එපා මට කිසිම දෙයක් පේන්නෙ නැතුව යයි ඊට පස්සෙ මොනව වෙයිද දන්නෙ නෑ කියල.ඒකයි "මුණට මගෙ එබෙන්නෙපා සඳ එළියයි නිමෙන්නේ" කියල කිව්වෙ.
හැමදාම ඔච්චම් කරල තේරුමක් නැහැ කියලත් කියනව.එහෙම උනොත් අවසාන කාරණය දක්වා යන්න සිද්ද වෙයි කියල අනතුරු ඇඟවිමකුත් කරනව ඒ මෙහෙමයි.
"හැමදාමත් ඔච්චම් නෑ ඕලු විලට පනින්නේ"
හැබැයි ඕලු විලට මේ ප්‍රෙමවන්තය එක්කම පනිනව කියල කියන්නෙ නෑ. සමහරවිට වෙන කෙනෙක් එක්ක වෙන්නත් පුළුවන්.

පෙතං කැලේ වලි කුකුලෝ මට පෙනි පෙනී නටනවා..
අත්තන මල මං දැකලා බඹර තුඩේ වෙලෙනවා..
බිනර මහට කළුවර දී මේ පෝයත් ගෙවෙනවා..
උසුළු විසුළු කලා නොවේ අපි වෙනතක් බලනවා..

වලි කුකුළා කියන්නෙ සෝබනේට උජාරුවට ඉන්න සතෙක්.වලි කුකුල්ලු කිකිලියො වෙනුවෙන් මරණය දක්වාම සටන් කරනව.මේ ප්‍රේමවන්ති කියනව වලි කුකුලො වගේ ඉලන්දාරි රෑනක්ම එයාගෙ හිත ගන්න කැරකෙනව කියල.
ඊළඟ පද පේලියෙන් ලූෂන් බුලත්සිංහලයන් අපූරු කතාවක් කියනව.
"අත්තන මල මං දැකලා බඹර තුඩේ වෙලෙනවා"
අත්තන කැවුනොත් උමතු වෙනව. මේ ප්‍රේමවන්ති කියනව බඹරෙක් අත්තන මලක රොන් ගන්නව දැක්කලු.මේකෙන් කියන්නෙ මෙයාගෙ හිතේ කැකෑරෙන ආසාව.ප්‍රේමවන්තය එක්ක බැඳෙන්න තියන උමතුව.හැබැයි මේ ප්‍රෙමවන්තය එච්චර දුර යන්නෙ නෑ.මේ ප්‍රේමවන්තයට බහ දුන්න දා ඉඳන් කළුවරක් වගේ දැනෙන්නෙ ඒකයි.මෙයාව අවුස්සල නිකන් ඉන්නව.ටිකෙන් ටික කාලෙ යනව.කැන්දගෙන යන්නෙ නැතුන වටෙන් ගොඩෙන් දැවටෙන එක එපා වෙලා.ඒක කෙරෙන්නෙ නැත්නම් වෙන අතක් බලන බව මෙයා කියනව.

පට සළු පිළි කසී රටේ වෙල පෙති දිගේ වඩිනවා..
මාල වලලු අපට ගෙනා තරු අතර දිලෙනවා..
ගමේ කොමට බහ දීලා ගමේ කතා හැදෙනවා..
උසුළු විසුළු කලා නොවේ අපි වෙනතක් බලනවා..

රටේ තොටේ ඕන තරම් සල්ලිකාර ඈයො,කුලවන්තයො මෙයාගෙ අත පතාගෙන වඩින බව මෙයා කියනව.සැප සම්පත් ඕනැනම් ඒ කෙනෙක්ට බහ දෙන එක විතරයි මෙයාට තියෙන්නෙ.
ඒ හින්ද මාව බලන්න එනකොට මාල,වලලු ගේන්න එපා තේරුමක් නැහැ කියල කියනව.උඹ ගෙනාපුව මම අන්න විසිකරල දැම්ම අන්න ඒව අනිත්ව එක්කම ඔහේ ඇති කියල කියනව.ඒ මෙහෙමයි
"මාල වලලු අපට ගෙනා තරු අතර දිලෙනවා"
වචනෙ දීල කතා හදාගත්ත එක විතරයි මට ඕන දේ කෙරුනෙ නෑ කියලත් කියනව.තවත් ඉවසන්න නම් බැහැ කියල අන්තිමට මේ ප්‍රේමවන්ති කියනව.
ලූෂන් බුලත්සිංහලයන් පෙළහර පාපු සින්දුවක් මේක.
මේ ප්‍රේමවන්තිගෙ "සංවර නොඉවසිල්ල " අපූරුවට කපුගේ ශූරීන් නාද සිත්තම් කරල තියනව.
ඒක අපූරුවට නන්දා මාලනියන් ගායනයෙන් සිත්තම් කරල තියනව.

~~දුල්ෂාන් චමින්~~


No comments: