Tuesday 2 February 2016

පිතු සෙනේ පිදු පියෙකු නොමැති

පිතු සෙනේ පිදු පියෙකු නොමැති ලොව
දූ දරුවන් හිනැහී ඇතිදෝ
උන්ගේ සිත රැදි තනිය මකන්නට
මව්නට කවදා හැකි වේදෝ

හිරු මඩලක් සේ කිරණ බෙදා දී
නුග සෙවණක් සේ සිසිල සදා දී
ජීවිතයේ පරපුරෙන් දරා
පියවරුමයි ලොව මහ සයුරක් වී

පොළොව නිවාලන්නේ
මෙත් මුදිතා ගුණ සිතෙහි දරා
පෙරුම් පුරා එන සසර පුරා
අම්මාවරු මතු බුදු වන්නේ

පියවරුමයි ලොව බුදු වන මව්නට
නිති විවරණ දෙන්නේ

පියා නොමැති ලොව දරුවන්ට සිනහව නම් ඉතා දුරය.. පියානොමැති අඩුව දූ දරුවන්ට නොදැනෙන්නට මව කෙතරම් වෙහෙස දැරුවද ඔවුන්ගේ සිතේ ඇති හුදකලාව නම් සදහටම පවතිනු ඇත.පියා නොමැතිව හුදකලාවෙන් පෙලෙනා, රහසේ කදුලු සලනා දරුවන්ගේ සිත් ඒ වේදනාවෙන් මුදවාලන්නට සමත් කිසිවෙකුත් ලොව නොමැත.

පියා දරුවන්ට හිරු මඩලකි.දරුවන්ගේ ලොවම ආලෝකමත් කරන්නා වූ හිරු කිරණ පියතුමායි.ඔහු නුග සෙවණක් මෙන් දරුවන්ට සිසිලස සදයි.මහ සයුරක් වි පොළොව නිවාලන්නේ උතුම් පියවරුමය.ඉතින්..මේ හිරු කිරණ,නුග සෙවණ අහිමි වූ දරුවන්ට හිනාවක් කොහෙන්ද..

මතු බුදු වෙන්නට පෙරුම් පුරනා අම්මාවරුන් පසුපස හිද පියවරුන් දරුවන් වෙනුවෙන් තම ජීවිතයම කැප කර වෙහෙසෙන්නෝය.සෙනෙහස ඒ තරම්ම නොපෙන්වුවත් ඔවුන්ගේ සිත් දරුවන් කෙරෙහි වූ සාගරයක් වන් වූ මහත් සෙනෙහසක් ගැබ්ව පවතී.මේ මහා සෙනෙහස අහිමි වූ දරුවන්ට කාගේ නම් සරණක්ද..


~~යෝජිකා සංජීවනී~~


No comments: