Thursday 11 February 2016

බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා

බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා
බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා

මගෙ ජීවිතේ මං ගොඩාරියක් හැඟුම්බර වෙච්ච ගීතයක් මේ... මේ ගීතය
ගැන කියන්න කලින් මට සිදු වුන පුංචි කතාවක් තියනව කියන්න... මං නේවාසිකාගාරෙ ඉන්න කාලෙ අපේ කාමරේ හිටපු යාළුවො හය දෙනාගෙන් හතර දෙනෙක්ටම මාත් ඇතුළුව පුරුද්දක් තිබුනා... ඒ තමයි පාඩම් වැඩ ඉවර වෙලා නින්දට යද්දි ෆෝන් එකෙන් ඉයර් ෆෝන් එකක් භාවිතා කරලා කාටවත් කරදරයක් නොවෙන්න රේඩියෝ එක අහන එක... සිකුරාදා දවසට මේ ඇහිල්ල ටිකක් රෑ වෙනකන්ම වෙනවා පහුවදාට නිවාඩු දවසක් නිසාවෙන්.... එහෙම දවසක අපි රේඩියෝ එක අහන වෙලාවෙ ගීතයක් නිසාමගෙ ඇස් වලට කඳුළු ආවෙ නවත්ත ගන්න බැරි විදිහට... තව දුරටත් ඉයර් ෆෝන් එක දා ගෙන ඉන්න අමාරු වුන මං ඒක ගලවලා අයින් කරද්දිම මගේ ඇදේ අනිත් පැත්තෙ හිටපු යාළුවගෙත් ඉකිගැහීමක් මට ඇහුනා... මොනව කරන්නද ඉතින්? යාළුවා ප්රශ්නෙකවත් වෙන්න ඇති කියල හිතා ගෙන මගෙ ඇඬීම පාලනය කර ගෙන මං යාළුවගෙන් හේතුව ඇහුව... හරිම පුදුමයක්! දෙන්නම එකම වෙලාවෙ, එකම සේවයෙ, මේ ගීතය අහල, දෙන්නගෙම ඇස් වල කඳුළු...
හොඳටම නිදා ගත්ත දෙදෙනෙක් ඇරුනහම ඉතුරු ඔක්කමලා ඉතින් වෙච්ච දේත් අහගෙන ඔන්න ගීත විචාරයට බැස්සා... විචාරෙදි ආව නිගමනය අන්තිමට කියන්නම්කෝ... දැන් ගීතය ගැන කතා කරමු...

අම්ම කෙනෙක් දස මාසයක් දරුවෙක්ව කුසේ තියා ගෙන දුක් විඳලා මෙලොවට බිහි කරන්නෙ කොච්චර බලාපොරොත්තු පොදි බැඳ ගෙන ද? ඒ හැම වෙලාවකම ප්රාර්තනා කරන්නෙ මගෙ පුතා, දුව ලොකු මහත්තයෙක් නොනා කෙනෙක් වෙන්න ඕනමයි කියලා... හැබැයි ඒ කොයිම වෙලාවකවත් අම්ම කෙනෙක් මගෙ දරුවා පන්සලට බාර දෙන්න ඕන, මහණදම් පුරවන්න ඕන කියලා හිතන්නෙ නෑ නේද?...
නමුත් හිතුවෙ නැති විදිහට අගහිඟකම් නිසා හරි, නැත්තම් දරුවගෙම කැමැත්තෙන් හරි, නැත්තම් කේන්දර වල තියන දෙයකට හරි දරුවා පුංචි කාලෙදිම මහණ කරන්න වුනොත්??? අම්මා කෙනෙකුට ඒක දරා ගන්න පුළුවන් කාරණයක් වෙයිද?...

මේ ගීතයට පාදක වෙලා තියෙන්නෙත් එහෙම කතාවක්... දරුව දැන් හුරතල් විදිහට බණ කියන, තාම සෙල්ලම් වයසවත් පහු කරලා නැති පුංචි හාමුදුරු නමක්... අද බුදු බණක් කියන්න මුලින් ම ගෙදරට වැඩි දවස... තමන්ගෙ දරුවට සෙනෙහස පෙන්නන්නෙ නැතිව, උකුලට අරන් තුරුළු කර ගන්නෙ නැතිව ඉන්න අම්මා කෙනෙකුට පුළුවන් වෙයිද?... තමන්ගෙ බිරිඳගේ දරු සෙනෙහසේ තරම දන්න ස්වාමියා ඒ නිසාම බිරිඳට ඔවදන් දෙනවා... ඒ වචන ඔවදන් වගේම ඇගේ සිත කොහොම හරි සසලෙන් නැතිව තියා ගන්න දරන උත්සහයක් විදිහටයි මට නම් දැනෙන්නෙ... හැබැයි ඒ එපා කියන හැමදෙයක්ම මවකට දරා ගන්න පුළුවන් දේවල් නම් නෙමෙයි... හේතුව මවක් නොවුන මටත් මගෙ යාළුවටත් ඒ වචන ටික එච්චරටම දැනුනනම් ඒ අත්දැකීම වින්ද, විඳින මවකට නම් කොහොමටවත් දරා ගන්න බැරි වෙයි නේද?... බලන්න මේ තාත්තාගෙ වචන කොච්චර හැගීම්බර වේවිද කියලා...

මැනිකෙ, අද පුතා ගෙදර ඇවිත් බුදු බණක් කියන්න, බලන්න හැම තැනම බුදු එලිය විහිදිලා හරිම සිරියාවයි. ඒ වගේමයි ඒ සිල් සුවද... මතකද මැනිකෙ බුදුහාමුදුරුවන්ටත් මුලින්ම මවක් බුදු වෙන්න විවරන දුන්න හැටි... ඉතින් මැණිකෙ ඒ වගේ අපිත් අපේ පුතා කවද හරි බුදු වෙන්න කියලා ගිහින් අපි දෙන්නම නියත විවරන ලබා දෙමු?... අඬ අඬා ඉන්නෙ නැතිව යමු මැනිකෙ...

හැබැයි මැනිකෙ දැන් අපේ පුතා බුදු පුතෙක්... ඉතින් ඉස්සර වගේ තුරුල් කර ගෙන සිප ගන්න නම් හදන්න එපා... ඒ වගේමයි ඉස්සර බත් අනලා කටින් කට අමාරුවෙන් කැව්වා වගේ කවන්න යන්නත් එපා.. අනේ මැනිකෙ එහෙම වුනොත් පුතාට අම්මගෙ ආදරේ දැනිලා පැවදි බිමෙන් ආයෙමත් එන්න හිතේවි... ඒක පුතාටත් හොඳ දෙයක් නෙමෙයිනෙ... එයා ගිහින් තියෙන්න ගොඩක් උසස් තැනකට උසස් දෙයක් ලබා ගන්න... අපේ ආදරේ නිසා ඒ වගේ උසස් දෙයක් අපේ පුතාට නැති කරන්න ඕන නෑ නේද?...

බලන්න මැණිකෙ තාම ගොඩක් පුංචි අපෙ පුතා හුරතලෙන් බණ කියයි අපේ සිත් නිවෙන්න... ඒ පුංචි කටින් හුරතල් වෙවි බණ කියද්දි අහන් ඉන්න අමාරුයි තමා මැණිකෙ... ඒත් ඒ කියන්නෙ අපේ හිත නිවෙන බුදු බණ නෙ... ඉතින් බලන්න අපේ පුතා කොච්චර උසස් තැනකද දැන් ඉන්නෙ?... ඉස්සර හුරතල් වෙවි අමාරුවෙන් වචන දෙක තුන පටලව ගෙන කතා කරපු හැටි මතකද මැණිකෙ.. අද එයා ගොඩක් පුංචි වෙලත් අපේ හිත නිවෙන්න බුදු බණ කියන්න හදන්නෙ... ඉතින් අපි කඳුළු වට්ටන්නෙ නැතිව ඇස් වහ ගෙන, කොහොම හරි ඉවසමු... අපේ පුංචි හාමුදුරුවො අපිවත් මේ දුක් සසරින් එතෙර කරන්නයි මැණිකෙ හදන්නෙ... ඉතින් ඔය කඳුළු පිහිදා ගන්න... අවසානෙදි අපිත් අපේ පුතාගෙ දෙපා ලඟ වැටිලා පුතා මේ සසර දුකින් එතෙර වෙන්න යන ගමනට එක් වෙමු... එතකොට මේ හැම දුකක්ම නිවෙයි මැණිකෙ... ඉතින් දැන් ඔය කඳුළු පිහදාගෙන යමු මැනිකෙ... ඔයා ඇඬුවොත් ඔය විදිහට පුතාටත් ගොඩක් දුක හිතේවි... පැවිදි වුනාට ඒ පුංචි හිත තාම එක්තැන් කර ගෙන ඉන්න, හිත සැලෙන්නෙ නැතිව තියා ගන්න එයාට තාම බෑනෙ මැණිකෙ... අපේ පුංචි හාමුදුරුවො තාම පුංචිනෙ...

මවක් පියෙක් මේ අත්දැකීමට ඇත්තටම මුහුණ දුන්නොත් ඇත්තටම හැගීම කොහොම වෙයිද? අපි හැමෝම එදා ආව නිගමනය තමයි නොකා නොබී හරි උගන්නවලා සතුටින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් බවට පුතාව පත් කරනවා කියලා... ඒ අවුරුද්දකට ඉස්සර.. ඒත් දැන් මට නම් හිතෙන්නෙ එහෙම කරනවා කියන්නෙ දරුවව ලෞකික පැත්තට බර කරලා, සැප සම්පත් වලට හුරු කරලා, සසරගමන දික් කිරීමක් නේද කියලා... සෙනෙහස වැඩිකමටම ගොඩක් මව්වරු පියවරු අතින් සිදු වෙන්නෙ තමන්ගෙ දරුවට නිවන් දොරටු වැසීමක් නේද?... නිවන් දකින්න මහණදම් පිරිය යුතුම නෑ... ඒත් ලෞකික සැප වැඩි කරන්න තමන්ගෙ පුතාට දුවට තරඟකාරීත්වය හුරු කරනවා විතරක්ම නෙමෙයි... සමහර දරුවන් තමන්ට ළැබෙන කරුණක්වත් තවත් කෙනෙකුට දෙන්න අකමැති තරමටම දැන් කාලෙ තරඟකාරීත්වය වැඩි... ඒ හැමදේකින්ම ආත්මාර්තකාමී මිනිසුන් බිහි වෙන එක විතරයි නේද වෙන්නෙ?... දහම්පාසල්වත් යවන්නෙ නැතිව එදාට ටිවුශන් පන්තියකට යවන එක නේද මේ කාලෙ මවක් හෝ පියෙක් නම් ගොඩක් විට සිදු කරන්නෙ?...

එහෙම බලද්දි දරා ගන්න අමාරු වුනත් තමන්ගෙ පුතාට මේ මවත් පියත් එකතු වෙලා ලබා දීල තියෙන්නෙ පරාර්තකාමී වෙන්න පුළුවන්, ජීවිතය හරියටම තේරුම් ගන්න පුළුවන් ලෝකයක් නේද?... මේ වචන ටිකටත් වඩා හැඟීමක් මේ ගීතය ඇහුවොත් හදවතටම දැනේවි... ඒ තරමටම එඩ්වඩ් ජයකොඩි මහතාගෙ කට හඬත්, රෝහන වීරසිංහයන්ගෙ සංගීතයත්, ආනන්ද හේවා රංහිඳ මහතාගෙ හැඟීම්බර හදවතට දැනෙන පද ගෙතීමත් එක් වෙලා හිතට දැනෙන, ඇස් වලට කඳුළු උනන තරමට විශිෂ්ඨ ගීත නිමවුමක් වෙලා තියෙනවා... සංගීතය, පද රචනය, ගායනය යන ත්රිත්වයම එක වගේ ම හැඟුම්බරයි මේ ගීතය තුළ... මේ විචාරය පමණකින් නොනැවතී ගීතය රස විඳින්නට ආරාධනා කරනවා... මගෙ වචන වලටත් වඩා ඒ හැඟීම හොඳටම දැනේවි එතකොට...

බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා
බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා

හැබැයි ඉස්සර වගේ මගෙ පුතේ කියාලා
තුරුළු කරගන්නනම් එපා ඉක්මන් වෙලා
බත් කටක් කවන්නට හිත ගියත් ළං වෙලා
එපා සිල් ඇවැත්වෙයි මවු සෙනෙහෙ සිහි වෙලා

බණ කතා කියන කොට හුරතලෙන් මුව විදා
කඳුළු පිස දුක නිවෙන බණ අසමු නෙතු පියා
හැඬුම් නැති සිතින් පුතු දකින්නට දිරි පතා
අපිත් විවරණ ලබමු වැටී වැඳ පුතු දෙපා

ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - ආනන්ද හේවා රංහිඳ

~~ඉශානි ප්‍රදීපිකා~~


No comments: