Friday, 19 February 2016

පාත ඉඳන් අපි ආවේ...

වර්තමානය වනවිට සමාජයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ දූෂණය, භීෂණය, වංචාව, රැවටීම වැනි දේ.
මුදල් වල බලය පෙන්නා තමන්ගේ කාර්ය කරගැනීමට දැන් සැම දෙනාම වගේ පුරුදු වෙලා. කුඩා මිනිසාගේ සිට ලොකු මිනිසා දක්වාත්, රජයේ ආයතනයේ සිට පෞද්ගලික ආයතනය දක්වාත් සියල්ලෝම තම වාසියට මුදල් බලය යොදා ගැනීම දක්නට ලැබෙනවා. ඒ වගේම පූජා භූමි වලද මුදලට මුල් තැන දීම කාලයක සිට දැකගත හැකි දෙයක්. කතරගම පූජා භූමියේ මෙන්ම කුඩා දේවාල වලද, එමෙන්ම ගංගාරාමයේ සිට ගමේ පංසල දක්වාත් දක්නට ලැබෙන්නේ මේ කියන්නාවූ ප්‍රවණතාවයි.

කෝවිලේදී දේවාලයේදී රුපියල් දහසේ දෙදහසේ පඬුරු තිබෙන පූජා වට්ටියට මුල් තැන ලැබෙන ආකාරයටම පන්සලේදී ලොකු ලොකු සල්ලිකාරයන්ටත් මුල් තැන ලැබෙනවා. මේ පිළිබඳව රත්න ශ්‍රී විජේසිංහයන් හරි අපූරුවට ගීතයෙන් පවසනවා.

පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න

"පාත ඉඳන් අපි ආවේ", මෙහි අදහස් කරන පාත යනු කුමක්ද. පහළ මාලයේ සිට කියන එකද. එසේත් නැත්නම් කුඩා සමාජය නිරූපණය කරන්නට යොදා ගත්තක්ද. මට හැඟෙන අයුරින් රත්න ශ්‍රී විජේසිංහයන් මෙහිදී කුඩා සමාජය නිරූපණය උදෙසා මේ යෙදුම යොදාගෙන තිබෙනවා. දළඳා හාමුදුරුවනේ ඔබ වහන්සේ වැඳ පුදා ගැනීමට අපි ඇවිත් ඉන්නේ. ඔබ වහන්සේ අසලට පැමිණෙන අවසර තිබෙන්නේ ලොකු මිනිසුන්ට පමණයි. අපි බොහොම දුප්පත් අහිංසක මිනිසුන්. අපිට ඔබ වහන්සේ අසලට එන්න අවසර නැතත් අපි ගෙනා මේ නාමල් පූජා කරන්න අපිට සමා වෙලා පහළ මළුවට වඩින්න. නාමලක් කියන්නේ දසත සුවඳ විහිදුවන මලක්. මේ සමාජය තුළ කොපමණ දුර්ගුණ මතුවෙලා තිබුනත් මල් මෙන් ගුණ සුවඳ හමන මිනිසුන් සිටිනවා.

හීල් හෙවනෙ ඉඳගෙන බෑ
හේන් කුඹුරු වැඩ කරන්න
ඇඟ පත කළු උනත් අපේ
කිලි කුණු නැති හිත බලන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න

ලස්සනට ඇඳ පැලඳගෙන රැකියාවල් කරන මිනිසුන් වගේ නොවෙයි අපි. ගොවියන් වන අපිට සැප විඳිමින් කුඹුරු වැඩ කරන්න බෑ. අපි අව්වේ පිච්චෙමින් හේන් කොටන්න ඕනා. ඔබ වහන්සේ වැඳපුදා ගැනීමට එන නෝනලා මහත්තුරු මෙන් අපේ ශරීර පැහැපත් නෑ. අපේ ශරීර අව්වට පිළිස්සී තිබුනත්, අවපැහැ ගැන්වී තිබුනත් අපේ හිත්වල ඒ අවපැහැය නැහැ. අපේ හිත් පිරිසිදුයි. අපේ ඒ පිරිසිදු හිතින් කරන මේ පුද පූජා ලබා ගන්න ඔබවහන්සේ පහත මාලයට වඩින්න.

මූදු ගියා ලෙලි තැලුවා
පිලී ගඳින් බෑ මිදෙන්න
ඒත් අපේ මල් සුවඳයි
එපා බාර නොගෙන ඉන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න

රචකයා ගොවි ජනතාව මෙන්ම ධීවර ජනයාද ගිතය තුළ නිරූපණය කිරීමට උත්සහ කරනවා. මාලු ඇල්ලීමට මුහුදු යන අපි ලඟ තිබෙන පිළීගඳ නැති කරන්න අමාරුයි. අපේ කර්මාන්තය අනුව අපෙන් ඒ ගඳ නැති වෙන්නේ නැහැ. නමුත් ඔබ වහන්සේ පිදීමට ගෙනා මල්වල ඒ ගඳ නෑ. අපි ගෙනා මල් අනෙක් අය ගේන මල් වගේම සුවඳයි. නමුත් ඔබ වහන්සේ දැක බලා ගැනීමට පැමිණීමට අපට අවසර ලැබෙන්නේ නෑ. අපේ මල් ඔබ වහන්සේ බාර නොගෙන ඉන්න එපා. ඔබ වහන්සේ පහළ පළුවට වැඩියොත් ඔබවහන්සේට දැක ගන්න පුළුවන් අහිංසක මිනිසුන්ට වෙන අසාධාරණය.

රචකයා සමස්ත අහිංසක දුප්පත් ජනතාව සහ ඔවුන්ට සිදුවූ අසාධාරණය මේ ගීතය තුළ නිරූපණය කරනවා. ඉතා සරල බස් වහරකින් ලියවුණු ගැඹුරු අරුතකින් යුත් ගීතයක් ලෙස මෙය හැඳින්විය හැකියි. එදා වගේම අදත් සෑම ස්ථානයකම මෙවන් අකටයුතුකම් සිදුවනවා අපට දැක ගන්න පුළුවන්.

~ අකූ ~


1 comment:

sudathjayaratne@gmail.com said...

උඩරැටියන් පහතරට මිනිසුන් හදුන්වා දෙන්නේ පල්ලෙහා මිනිසුන් ,පාත්තයෝ හැටියට