Saturday 27 February 2016

Aankhein khuli ho ya ho band

අපේ හිතවත් අයියා කෙනෙක් ඉන්නවා මේ අයියත් හින්දි චිත්‍රපට බලනවා. එයාට ශාරුක් එක්ක පොඩි
තරහක් තියනවා. ශාරුක් කරන චරිත ගැන හොඳක් කියන්නෙම නෑ. එයා හැම තිස්සෙම උත්සහ කරනවා ශාරුක්ව ටිකක් පහත් කරලා කතා කරන්න. ඉතින් මෙයා එක දවසක් මාවත් ශාරුක්ට ආදරේ කරන තව කිහිප දෙනෙක්වත් ටැග් කරලා FB පෝස්ට් එකක් දානවා. මොකක්ද මේ පෝස්ට් එක. මේ අයියා කියනවා ශාරුක් කරපු චරිත ගෝවින්දට දුන්නානම් එයත් කරනවා හොඳට. ගෝවින්දට අවස්ථාවන් ලැබුනා අඩුයි. එහෙම ලැබුනානම් ගෝවින්දත් හොඳ සාර්ථක නළුවෙක් වෙනවා ශාරුක්ට වැඩිය. ඕකට ඉතින් විරුද්ධ අදහස් එහෙමත් පළ වෙනවා. ඔන්න ටික දවසකට පස්සේ මේ අයියා මා එක්ක චැට් කරනවා. මම ඉතින් චැට් කරන ගමන් අහනවා "අයියේ කැමති හින්දි සින්දුවක් එහෙම තියනවද. එහෙමනම් කියන්න මම තේරුම දාන්නම්" කියලා. ඔයාලට හිතා ගන්න පුළුවන්ද අයියා දෙන උත්තරය. කැමතිම සින්දුව " Humko hameese churalo" ෆිල්ම් එක Mohabbatein. නළුවා ශාරුක්. ඊට පස්සේ මේ අයියා කියනවා ඕකටත් වඩා මම ආස සින්දුවක් තියනවා. ඒකට තමයි මම ආසම කියලා. මොකක්ද මේ දෙවෙනි ගීතය. ඒකත් ශාරුක්ගේ ගීතයක්. ඒක තමයි මම ඔයාලට දැන් මේ ගේන්න යන්නේ. මෙයාගෙන් මම අහනවා ශාරුක්ට බැන්නට එයාගේ සින්දු වලට නේද කැමති කියලා. මේ අයියා හොර පූසෙක් වගේ කියනවා "මම පිළිගන්නවා නංගී" කියලා. ඉතින් මේ අයියා කවුද කියලා දන්නෝ දනිති...

දැන් අපි ගීතය ගැන කතා කරමු. මේ ගීතය Mohabbatein චිත්‍රපටයේ එන ගීතයක්. මේ ගීතය කිහිප දෙනෙක් එකතුවෙලා තමයි ගායනා කරන්නේ.

Ek ladki thi deewani si
Ek ladke pe woh marti thi
Nazrein jhuka ke
Sharma ke galiyon se guzarti thi
Chori chori chupke chuke
Chitthiyan likha karti thi
Kuchh kehna tha shayad usko
Jaane kisse darti thi
Jab bhi milti thi mujhse
Mujhse poochha karti thi
Pyaar kaise hota hai
Yeh pyaar kaise hota hai
Aur main sirf yehi keh paata tha

එක පිස්සු කෙල්ලෙක් හිටියා. මේ කෙල්ල කොල්ලෙක්ට පිස්සුවෙන් වගේ ආදරය කලා. ලැජ්ජාවෙන්, ඇස් බිමට නැඹුරු කරගෙන තමයි ඇය ඔහු අසලින් ගමන් කරන්නෙත්. හොරෙන් හොරෙන් ලියුම් ලියන්නත් පුරුදු වෙලා හිටපු ඇයට කියන්න දෙයක් තිබුන බව හොඳටම දැනුනා. ඒත් මට හිතාගන්න බැහැ ඇය බිය වී සිටියේ කුමකටද කියලා. මා හමු වුන සෑම අවස්ථාවකම ඇය අහන දෙයක් තිබුනා. "ආදරය ඇති වෙන්නේ කොහොමද" ඒත් මට කියාගන්න පුළුවන් වුනේ......

Aankhein khuli ho ya ho band
Deedar unka hota hai
Kaise kahoon main o yaara
Ye pyar kaise hota hai

දෑස් පියවී තිබුනත් විවර වී තිබුනත්, අපේ දෑස් සැමවිටම අප ආදරය කරන කෙනා වෙනුවෙන් වෙන්වී තිබෙනවා. ආදරය ඇතිවෙන්නේ මෙලෙසයි කියලා මා කෙසේ පහදා දෙන්නද මිතුර.

Aaj hi yaaron kisi pe
marke dekhenge hum
Pyar hota hai ye kaise
kar ke dekhenge hum
Kisi ki yaadon mein khoye hue
Khaabon ko hum ne saja liya
Kisi ki baahon mein soye hue
apna usse bana liya

මිතුර, කෙනෙක්ගේ ආදරයෙන් මුසපත් වන්නේ කෙසේද කියා අද ඔබට වැටහේවි.. ආදරය කියන්නේ කුමක්ද කියා අද ඔබට වැටහේවි. කෙනෙක්ගේ ආදරයේ මතකයන්ගෙන් මම මගේ සිහින සැරසුවා.. ඔහුගේ දෑතේ සිරවී ඔහු මා සතු කර ගත්තා.

Aye yaar pyar mein koi
Aye yaar pyar mein koi
Na jaagta na sota hai
Kaise kahoon main o yaara
Ye pyar kaise hota hai

ආදරය ඇති උනාම හරියට නිදාගන්නත් බැහැ. අවදිව ඉන්නත් බැහැ. ඒ විදියට ඇති වන ආදරය ගැන මම කොහොම ඔබට පැහැදිලි කරන්නද මිතුර...

Kya hai jaadu hai koi
bas jo chal jaata ha
Tod ke pehre hazaaron
dil nikal jaata hai
Door kahin aasmanon par
hote hain ye saare faisale
Kaun jaane koi humsafar
kab kaise kahan mile

මැජික් බලයකින් වගේ ඇති වන මේ ආදරය නිසාම හිතකට දහසක් බාධක කඩා බිඳ දමා දිව යන්න පුළුවන්. දුර ඈත අහසේ දිව්‍ය විමානයන්හි සිදු කරන ලද මේ තීරණයන්ට අනුව කෙනෙක්ගේ ජීවන සහකරු කවදා කොහේ හමු වෙයිද කියලා කොහොම කියන්නද..

Jo naam dil pe ho likha
Jo naam dil pe ho likha
ikrar ussi se hota hai
Kaise kahoon main o yaara
Ye pyar kaise hota hai

ඒ විදියට අපේ හදවතේම ලියලා එවන ඒ කෙනා පිළිබඳ අපි ආදරෙන් බැඳෙනවා. මේ ආදරය කොහොම ඇති වෙනවා කියලා මම ඔබට කියන්නේ කොහොමද...

Lyrics: Anand Bakshi
Label: YRF Music
Singers: Lata Mangeshkar, Udit Narayan, Shweta Pandit, Sonali Bhatawdekar,
Pritha Mazumdar, Udhbav, Manohar Shetty, Shahrukh Khan & Ishaan

ආදරයේ ස්වභාවය හරි අපූරුවට නිරූපණය කරන්නාවූ ගීතයක්. මේ ගීතයේ සඳහන් වන සිද්ධීන් එකක් හෝ අපේ ජීවිත වලට සම්බන්ධතා තිබෙන බවනම් සහතිකයි.

ඉතින් මම අර මුලින් කියපු අයියට මම කියන්නේ මෙච්චරයි. ..... සහෝ ශාරුක් නිසා ඔයා හිත බිඳ ගන්න එපා. ඔන්න මම ඔයාගේ ඉල්ලීම ඉෂ්ට කලා.

~ අකූ ~


සඳ මා දිහා නෙතඟින් බලා හිනැහී ගියා...

අපේ සමූහයේ ක්‍රියාකාරී සාමාජිකාවන් අතරේ නිරෝෂා අක්කාට හිමිවන්නේ ඉහල තැනක්. ඇය ගීත ඉදිරිපත් කිරීම නම් සිදු නොකරන තරම්. නමුත් සමූහයේ පලවන සෑම ගීතයකටම වාගේ ඇගේ අදහස් එකතු කරන්නට නම් කොහෙත්ම අමතක කරන්නේ නෑ. ගෘහණියක්, දයාබර මවක් යන මේ චරිත අතරේ සමූහයට ලබාදී තිබෙන ඉඩ පිලිබඳව අප ඇයට කෘතඥ්ඥ වෙනවා. ඉතින් නිරෝෂා අක්කත් එක්ක කතා කර කර හිඳිද්දී ඇය විමසුවා එක් ගීතයක් ගැන. මට මතක විදියට වසන්ත සොයුරා විමසූ හොඳම ගීත දහයට ඇය මෙම ගීතයත් ඇතුලත් කර තිබුනා. ඉතින් ඇයගේ ආරාධනයට අනුව ලියන්නට සිතුවා මේ ගීතය ගැන යමක්. 

ආදර ගීතයන් අතර නන්දා මාලනිය ගයන මේ ගීතය ඉහල ස්ථානයක තිබුනත් එෆ් එම් නාලිකා වලින් නම් මේ ගීතය නොඇසෙන තරම්. 
වසන්ත කාලයට අපි හැමෝම වාගේ ප්‍රිය කරනවා. 'වසත් කාලය මනරම්', 'වසන්ත කාලෙට සුරංගනාවන්', 'වස්සානයට අත වනන' යන ගීත දෙස බැලීමෙන් එය පසක් වෙනවා. ඉතින් මේ ගීතයේදී ඇයගේ සිතට ගතට ඔහුගේ පැමිනීම ඇය දකින්නේ 'මධුර වසන්තයට' ලන්වීමක් විදියට. 
අප බොහෝ වේලාවට කාන්තාව සඳට උපමා කරනවා. සඳ ගැනනම් ගීත අනන්තයි, අප්‍රමාණයි. ඒ ගැන පවසන්නට නම් ඉතින් වෙනමම වේලාවක් සොයාගන්නට වෙනවා. 
ඇගේ ලොවට ඔහුගේ පැමිනීමත් සමගම සඳ ගැන කිවියන් කී කතා සත්ය වූ බව ඈ තහවරු කරනවා. ඒ එක්කම එය සැමරීමට කෝකිලයන්ගේ ගැයුම පවා යොදාගන්නවා. ඇගේ ආදරයේ මල් පිපීම  සඳ උදාවක් ලෙස ඈ  පවසනවා. 

ආදරය ලැබීමට පෙර ඇය ජීවත් වෙන්නේ සුරංගනා ලෝකයක. මේක ඉතින් අපේ බොහෝ යුවතියන්ටත් සත්යයක්. ආදරය කියන්නේ හරිම පුදුමාකාර දෙයක් කියලා මම හැම විටකම කියනවා. ආදරයක් පුද්ගලයන්ගේ මනෝ භාවයන් වෙනස් කිරීමට සමත්. දැඩි සිතක් ඇති, ලාමක සිතුවිලි වලින් තොර අයෙකු වුවත් සුරංගනා ලෝකයකට ගෙනයාමට ආදරයකට හැකියි. සමහරුන් බොහෝවිට ආදරය සොබාදහමත් සමග ගලපන්නට තන්න්නේ ඒ තරමටම එය සුන්දර නිසාම නොවෙද? ආදරයේ හිමිවීමත් සමගම බොහෝ දෙනා කල්පනා ලොව වෙත වෙනදාටත් වඩා ලන්වීම දැකිය හැකියි. නැත්නම් ඉතින් අම්මලා කියයිද 'මොකද්ද මේ ලඟකදි ඉඳන් උඹට හැදිලා තියෙන පිස්සුව. බලා ගත්ත අතේ බලන් ඉන්නවා. තනියෙන් හිනාවෙනවා' අම්මාටත් මේ අද්දැකීම තිබීම හෝ අම්මාගේ සමාජ දැනුම මත මෙය හඳුනා ගැනීමේ හැකි නොහැකියාව තීරනය වෙනවා. ඉතින් මේ කල්පනා ලොව මල් වනයක් කරගෙන සුරංගනා ලෝකයක් වෙත එය ගෙන යාමට මේ පෙම්වතුන් සමත් වෙනවා. මෙය වඩාත්ම ගැලපෙන්නේ අනූව දශකයෙන් පෙර පෙම්වතුන්ට. මොකද අද වනවිට ජංගම දුරකථන හා තාක්ෂණයේ දියුනුව නිසා පෙම්වතුන් බොහෝ වෙලාවට එකට තබනවා. ඇයට් හෝ ඔහුට තනිවී ප්‍රේමයෙ සුන්දරත්වය විඳීමට ඉඩ අඩුයි. එවකට නම් පෙම්වතුන්ට හමුවීමට ලැබෙන්නේ බොහොම සීමිත අවස්ථා වලදී පමනයි. මේ නිසා කලකින් හමුවන පෙම්වතා හෝ පෙම්වතිය හමුවීමට මත්තෙන් ඔවුන් ඔවුනොවුන්ගේ සුරංගනා ලොව බෝහෝ තැන්හි ඔවුන් සැරිසරා අවසන්. ඒ සුන්දරත්වය හද තවරාගෙන හමුවීමට පැමිනෙනවා. 

ඉතින් මෙසේ හමුවෙන පෙම්වතුන් එකිනෙකාගේ සිත් තුල ඇති සිතුම් උද්දීපනය කරගන්නේ සුරංගනා ලෝකය තව තවත් සොඳුරුතම තැනක් බවට පත් කරමින්. ඔවුන් තෙපලන පෙම් වදන් සමහර විටක ගීතයක්මැයි. මේ ගීතයේ තනුව ඔවුන්ගේමැයි. 

ප්‍රේමයෙ සුන්දරත්වය වැඩිවීමත් සමගම මේ ගීතනු සහ ගායනයන්ට සියලු ගායක ගායිකාවන් පරදිනවා නොඅනුමානයි. ආදරය එ තරම්ම බලවත් වගේම මේවාට සොබාදහම සංගීතය සපයන්නේ නිරායාසයෙන්... 

සඳ මා දිහා නෙතඟින් බලා හිනැහී ගියා 
සඳ මා දිහා

මගේ මධුර වසන්තයට ඔබත් ළං වුණා
සඳවත ගැන කී කව් ගී පද සැබෑ වුණා
කෝකිලයන් ජය මංගල ගීතිකා ගයා
සඳවත පිළිබඳ කතාව සඳ උදා කළා

පිපුණු මලක සුවඳ දිදී හදේ දැල්වුණා
අනන්ත වූ මියුරු කල්පනා
සඳුන් අඳුන් සේ ඇඳුමින් දෑස අද මුවේ
මැවූ ලෝකයයි සුරංගනා

සිතක හැඟුම් පුබුදු කළා සොඳුරු පෙම් වදන්
පුරවි ගීත රාවයක් වෙලා
ඇසෙන ඇසෙන හඬ සත්සර රාව නංවලා‍
ජීවිතයම ගීතයක් කළා

ගායනය: නන්දා මාලනී

~~තේජන අබේදීර~~


Friday 26 February 2016

"Jolene" - Dolly Parton - Miley Cyrus

'මයිලි සයිරස්' කියන්නෙ බොහෝ දෙනා ආදරය කරනා චරිතයක්. ඇය මුලින්ම අපට හමුවන්නේ නිලියක් හැටියට. ඔබ 'හැනා මොන්ටානා' නරඹා ඇත්නම් ඇයව නොහඳුනනා එකක් නෑ. කෙමෙන් ඇය ඇගේ සංගීත දිවියට යොමු වෙන්නේ 'Meet Miley Cyrus' යන ඇල්බමය හරහා.

ඇගේ 'මඤ්ඤා' හෙවත් දේව මව වූයේ ප්‍රකට ගායිකා 'ඩොලී පාර්ටන්'. මෙහිදී ඇය ගැන යමක් නොකීවොත් සෑහෙන අඩුවක් වෙනවා නොඅනුමානයි. 'ඩොලී පාර්ටන්' ග්‍රැමී සම්මාන 8ක් දිනාගෙන ඇති ගායිකාවක්. මීට අමතරව 46 වතාවක් මේ සඳහා නිර්දේශ වී තිබෙනවා. මෙය සංගීත ඉතිහාසයේ නොමැකෙන වාර්ථාවක්. ඇය සම වෙනවා 'බියෝන්සේ' සමග, වැවිම වතාවක් ග්‍රැමී සම්මාන සඳහා නිර්දේශ වුනු ගායිකාව වශයෙන්.

1974 වර්ශයේ ඇය නිකුත් කරනවා 'Jolene' කියනා ගීත ඇල්බමය. එහි අඩංගු වෙනවා 'Jolene' කියනා ගීතය. ඉතින් මම අද ඔබට ගෙන එන්නේ මේ ගීතය. මෙහි මුල් ගායනය 'ඩොලී පාර්ටන්' වන අතර 'මයිලි සයිරස්' විසින් පසුව මෙය ගායනා කරනවා. විටෙක මොවුන් දෙදෙනාම එකම වේදිකාවක මෙය ගායනා කරනවා දැක ගැනීමට පුලුවන්. මීට අමතරව මේ ගීතය බොහෝ දෙනෙක් විසින් ගායනා කරන අයුරු දැක ගැනීමට හැකියි. ඒ අතරට 'Darcy Clay, Sherrie Austin, Mindy Smith, Leila Forouhar යන අයත් එකතු වෙනවා.

මේ ගීතයට පාදක වෙන්නේ සත්යය සිදුවීමක්. 'ඩොලී පාර්ටන්' ගේ සැමියා වු 'කාල් ඩීන්' සමග වැඩි ඇඟෑලුම් කමක් පැවැත්වීමට පැමිනෙන රතු කොණ්ඩයකින් යුත් බැංකු ලිපිකාරිනියක් නිසා මේ ගීතය ලියැවී තිබෙනවා. මේ කාන්තාව ඉතා රූමත් දුටුවන් වසඟ කරවන්නියක්. ඇය වැඩ කරන්නේ පාර්ටන්ගේ සැමියා සමග එකම බැංකු ශාකාවක. මේ සිදිධිය වන්නේ පාර්ටන් සහ ඇගේ සැමියා විවාහ වුනු අලුතමයි. ඉතින් ඔබට වැටහේවි මේ ගීතය අසනා විට කාන්තාවකට මෙවන් සිද්ධියකට මුහුන දීමට සිදුවීමේදී ඇතිවන සිතුවිලි සහ අදහස් මේ ගීතයෙන් කොතරම් දුරට නිරූපණය කරන්නට සමත්වී තිබෙනවාද කියා.

'ඩොලී පාර්ටන්' ගීතයේ නම යොදාගන්නේ සංගීත සන්දර්ශනයක් තුලදී ඇයගෙන් සමරුවක් ලබාගැනීමට පැමිනෙනන කුඩා දැරියකගෙන්.

'Jolene' කියනා කාන්තාව ගෙන් තම සැමියා බේරාගන්නට වෙර දරන කාන්තාවක් ගැන මේ ගීතයෙන් කියැවෙනවා. ඇය Jolene සමග සංවාදයක නිරත වෙනවා. මෙය බැගෑපත් ඉල්ලීමක් ලෙසට දකින්නට හැකියි. ගීතය පුරාවට ඇය බැගෑපත් වෙනවා. ඇය නැවත නැවත පවසන්නේ ඇයගේ සැමියා ඇයගේන් උදුරා නොගන්නා ලෙසටයි. ඇය හොඳින්ම දන්නවා Jolene කියනා කාන්තාව තමාට වඩා බෙහෙවින් රූමත් ඒ වගේම ඉස්තරම් දුටුවන් සැනින් වශීවන රුවැත්තියක් කියා. මේ නිසා ඇය පිලිගන්නවා ඇයගේ සැමියා නම්මවා ගැනීමට ට හැකි බව. 'මම දන්නවා ඔබට පුලුවන් මගේ සැමියා නම්මවා ගැනීමට. ඒත් ඒ නිසාවෙන්ම ඔහුව මගෙන් උදුරාගන්නට හදන්න එපා'

ඇය Jolene ගේ රුව ගැන පවසන්නේ මේ ආකාරයට. 'ඔබේ ලස්සන කිසිවෙක් සමග සැසඳිය නොහැකියි. ඔබගේ අතිශය වර්ණවත් රත්පැහැ කෙස් කලඹ, ඇත් දළ පැහැති සම සහ හරිත වර්නයෙන් යුත් දෑස් නිසාම ඔබගේ ලස්සන කැපී පෙනෙනවා'.

'ඔබේ සිනාව වසන්තයේ සුසුමක් වැනියි. ඔබගේ කටහඬ ගිම්හානයේ වැස්සක් තරමටම මෘදුයි. ඉතින් මට ඔබ සමග තරඟ කල නොහැකියි'.

'ඔහු නින්දේදී පවා කියවන්නේ ඔබේ ගැන. ඔබේ නම් නින්දේදී කියනා විට මට හඬනවා හැරෙන්නට කරන්නට දෙයක් නෑ'.

'ඉතින් මට හොඳටම හිතාගන්නට පුලුවන් නුඹ කොහොමද ඉතා පහසුවෙන්ම මගේ සැමියා නම්මවා ගත්තේ කියලා. නමුත් ඔබ දන්නේ නෑ මට ඔහුව කෙතරම් වටිනවාදැයි ක්යලා'.

'ඔබට ඕනෑ තරම් පිරිමින් සොයාගත හැකියි පහසුවෙන්ම. නමුත් මට ඔහුව අහිමි වුනොත් නැවත කිසිවෙකුටවත් ආදරය කරන්නට නොහැකිවේවි. ඔහු තමයි මගේ ජීවිතය. මා සතු එකම සම්පත'.

'ඉතින් මට මේ දේවල් ඔක්කොම ඔබට කියන්නට වුවමනා වී තිබුනා. මොකද කියනවනම් දැන් මගේ සතුට රැඳී තියෙන්නේ ඔබේ අතේ. ඔබ ඉදිරියට කරන්නට යන දේවල් මගේ සතුටට බලපානවා. මේ නිසා නැවතත් මම බැගෑපත් වෙනවා. කරුණාකර ඔහුව මගෙන් උදුරා ගන්නට එපා. ඔබට පුලුවන් කම තිබෙනවා, ඒත් ඔහුව මගෙන් උදුරා ගන්න එපා'.


"Jolene"

Jolene, Jolene, Jolene, Jolene
I'm begging of you please don't take my man
Jolene, Jolene, Jolene, Jolene
Please don't take him just because you can

Your beauty is beyond compare
With flaming locks of auburn hair
With ivory skin and eyes of emerald green

Your smile is like a breath of spring
Your voice is soft like summer rain
And I cannot compete with you, Jolene

He talks about you in his sleep
There's nothing I can do to keep
From crying when he calls your name, Jolene

And I can easily understand
How you could easily take my man
But you don't know what he means to me, Jolene

Jolene, Jolene, Jolene, Jolene
I'm begging of you please don't take my man
Jolene, Jolene, Jolene, Jolene
Please don't take him just because you can

You could have your choice of men
But I could never love again
He's the only one for me, Jolene

I had to have this talk with you
My happiness depends on you
And whatever you decide to do, Jolene

Jolene, Jolene, Jolene, Jolene
I'm begging of you please don't take my man
Jolene, Jolene, Jolene, Jolene
Please don't take him even though you can

Jolene, Jolene

~~තේජන අබේදීර~~




Friday 19 February 2016

ගම හැරදා මං යනකොට...

"ගම හැරදා මං යනකොට
කෝන් ගහේ තුන් මුදුනේ
නුඹ හිටියා විස්සෝපෙන්
පාළොස්වක සඳ කුමරී....

ලෙන්ගතුකම් වැඩි හිංදා
මුලිච්චි වෙන්නට හිතාන
සෑහෙන කලකට පස්සේ
යලි ආවා පුතය වගේ
කළු කාපට් පාර දිගේ
මෙතන තිබුන ගුරු පාරත්
හොරු අරගෙන ගිහිං වගේ

අරුමෝසම් කම්බි වලින්
ඉමිටේෂන් හීන වලින්
හිරවී පැටලී ගොළුවී
හයිටෙන්ෂන් කුළුණක් උඩ
යලි බැහැ ගන්නට නොහැකිව
නුඹ සිටියා ලප මකමින්
පාළොස්වක සඳ රැජිණී"

රජරට උපන් තරුණයෙකු සිය උපන් ගම හැරදා විදේශගතව නැවත පැමිණි අවස්ථාවේදී ඔහු අත්දකින වෙනස පිළිබඳව නිර්මාණය වී ඇති නවමු ගීතයකි,දර්ශන වික්රමතුංගයන් සංගීතවත් කොට සමන් ලෙනින් ගායනා කරන නයනසේන වන්නිනායකයන් රචනා කරනලද "ගම හැරදා"කියන ගීතය.

"ගම හැරදා මං යනකොට
කෝන් ගහේ තුන් මුදුනේ
නුඹ හිටියා විස්සෝපෙන්
පාළොස්වක සඳ කුමරී..

කෝන් ගස් රජරට බහුලව ඇති ගස් විශේෂයකි.ස්භාවික පරිසරයේ සශ්රීකත්වය කෝන් ගහ මගින් සංඛේතවත් වේ.කෝන් ගහේ ඉහළම තැන වන තුන් මුදුනේ සිටින සඳ,ඔහුගේ මෙම ගමෙන් පිටව යෑමට කැමති නැත.එම නිසා සඳ විස්සෝපෙන් සිටින වගක් කියැවේ.

ලෙන්ගතුකම් වැඩි හිංදා
මුලිච්චි වෙන්නට හිතාන
සෑහෙන කලකට පස්සේ
යලි ආවා පුතය වගේ
කළු කාපට් පාර දිගේ
මෙතන තිබුන ගුරු පාරත්
හොරු අරගෙන ගිහිං වගේ..

ඔහු ගමෙන් ඈත්ව සිටියද "සඳ කුමරී "සමග පැවති ලෙංගතු කම මඳකුදු අඩුවී නැත.ඇය නොදැක සිටි කාලය තුල ලෙංගතුකම තවත් වැඩිවී ඇත.සඳ කුමරීව මුනගැසීමට ඔහු එන්නේ ආරෝපණය කරගත් අභිමානයකින් යුක්තවය.මෙය විදේශගතව සිට පැමිණෙන බොහෝ දෙනෙකුගේ දැකිය හැකි ලක්ෂණකි.😀😀 .එනම් දිගු කලක් විදේශගතව සිට එන්නෙකු ආරෝපණය කරගත් මාන්නයකින් පැමිණේ. නැතහොත් ගමේ අය ඔහුට මාන්නයක් ආරෝපණය කරවති.😀😀.මේ සියල්ල "පුතය වගේ" යන වචන දෙකට කැටි කිරීමට නයනසේනයන් සමත්ව ඇති ආකාරය ප්රශංසනීය.

එසේ ඔහු පැමිණෙන්නේ වෙනදා ගිය ගුරු පාර දිගේ නොව කළු කාපට් පාර දිගේය.කාපට් පාර කොහොමත් කළුය.නමුත් නයනසේනයන් එයට කළු කාපට් පාර යැයි කියති.එමඟින් ඔහු සංඛේතවත් කරන්නට ඇත්තේ ස්භාවික සහ සංස්කෘතික පරිසරයන්ට,නූතනත්වය විසින් සංවර්ධනයේ මුවාවෙන් කරන ලද හානිය විය නොහැකි ද?

තමා මෙරටින් බැහැරව සිටි සමයේ සිදුව ඇති පාරිසරික හා සංස්කෘතික පරිහානිය පිළිබඳව ඔහුගේ ඇත්තේ දැඩි කෝපයකි.එය ඔහු ප්රකාශ කරණුයේ "මෙතන තිබුන ගුරු පාරත් හොරු අරගෙන ගිහින් වගේ "..ආවේගයක් ප්රකාශ කිරීමෙනි.එය වඩාත් ප්රබලව ඉදිරිපත් කිරීමට ලෙනින් හඬ හසුරුවන ආකාරයත්,වික්රම
තුංගයන් සංගීතය මෙහෙයවා ඇති ආකාරයත් ප්රශංසනීයය
.
ගීතයේ උක්ත කොටස ඇසූ මා සිතට පැමිණියේ " මහාචාර්ය වරයාගේ උයන්පල්ලා"නම් කෙටි කථාවයි.එහිදී ස්භාවික පරිසරය වෙනස්කල උයන්පල්ලාට එරෙහිව උරන වූ මහාචාර්ය වරයාව ලෙනින්ගේ හඬ පෞරුෂය තුලින් මා හට දෘශ්යමාන වීය.

අරුමෝසම් කම්බි වලින්
ඉමිටේෂන් හීන වලින්
හිරවී පැටලී ගොළුවී
හයිටෙන්ෂන් කුළුණක් උඩ
යලි බැහැ ගන්නට නොහැකිව
නුඹ සිටියා ලප මකමින්
පාළොස්වක සඳ රැජිණී"

නිල්ල නිලන ගස්කොලන් හා වැව් තාවුලු වලින් පිරි රජරටට අද ඒ වෙනුවට ඇත්තේ විදුලි රැහැන්,විදුලි කුළුණු,සන්නිවේදන කුළුණු ආදියයි. මෙමෙ නූතන සංවර්ධනයයැයි කියන තාක්ෂණික යටිතල පහසුකම් රජරට ස්භාවික පරිසරය ආක්රමණය කරමින් ගම් දනව් තුලට කා වැදී ඇත.එදා කෝන් ගස්,කුඹුක් ගස් මතින් බැබලුණ සඳ අද පෙනෙන්නේ සන්නිවේදන කුළුණු හා විදුලි කුළුණු මතිනි.එසේ දිස්වන සඳ තුලින් පෙර ලද සිසිලස නොඅඩුව ලැබෙන්නේද? නැත.ගස් කොලන් තිබුනත් නැතත් සඳ පෑයිය යුතුය.එය සොබා දහමේ රීතියයි.
එසේ කුළුණු මතින් පායන සඳට ගැටලු ගොඩකි.ඒ ඉමිටේශන් හීන තුල අතරමංව ඇති නිසාය.නූතන සංස්කෘතියේ ඇති හිස් බව නයනසේනයන් ගීතයට කාවද්දන්නේ මෙතන දීය.මෙම ඉමිටේශන් සංස්කෘතිය වැළඳ ගැනීමට සඳ සූදානම් නැත.නමුත් එය බලෙන් සඳට ඔබ්බවා ඇත.එනිසා සඳෙහි ඇති ලප ඉස්මතුවී පෙනේ.එය සඳට පීඩාවකි.වත්මන් බසින් කිවහොත් එනිසා සඳ ටෙන්ශන් වෙලාය.😀😀.
එබැවින් සඳ නැමැති සොඳුරු සංස්කෘතියට නූතන ඉමිටේශන් සංස්කෘතිය නැමැති කුළුණෙන් බැස ගැනීමට අවැසිය.එහෙත් එයට ඉඩක් නැත.එනිසා සඳ මෙම සංස්කෘතික සෝදා පාළුව ටික ටික හෝ මකා ගැනීමට උත්සාහ ගනිමින් සිටින වගක් පෙනේ.
"නුඹ සිටියා ලප මකමින් "යන්න තුල මේ සියල්ල අන්තර්ගත වී ඇත
.
ප්රතාපවත් හඬ පෞරුෂයකින් හෙබි සමන් ලෙනින් ගේ ගායනයෙනුත්,දර්ශන වික්රමතුංගයන් ගේ මධුර ස්වර රචනයෙනුත් අලංකාර වූ මෙමෙ ගීතය සාර්ථක ගීතයක් හැටියට හදුන්වා දිය හැක.

බුද්ධික ප්රදීප්
2016:02:18.


පාත ඉඳන් අපි ආවේ...

වර්තමානය වනවිට සමාජයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ දූෂණය, භීෂණය, වංචාව, රැවටීම වැනි දේ.
මුදල් වල බලය පෙන්නා තමන්ගේ කාර්ය කරගැනීමට දැන් සැම දෙනාම වගේ පුරුදු වෙලා. කුඩා මිනිසාගේ සිට ලොකු මිනිසා දක්වාත්, රජයේ ආයතනයේ සිට පෞද්ගලික ආයතනය දක්වාත් සියල්ලෝම තම වාසියට මුදල් බලය යොදා ගැනීම දක්නට ලැබෙනවා. ඒ වගේම පූජා භූමි වලද මුදලට මුල් තැන දීම කාලයක සිට දැකගත හැකි දෙයක්. කතරගම පූජා භූමියේ මෙන්ම කුඩා දේවාල වලද, එමෙන්ම ගංගාරාමයේ සිට ගමේ පංසල දක්වාත් දක්නට ලැබෙන්නේ මේ කියන්නාවූ ප්‍රවණතාවයි.

කෝවිලේදී දේවාලයේදී රුපියල් දහසේ දෙදහසේ පඬුරු තිබෙන පූජා වට්ටියට මුල් තැන ලැබෙන ආකාරයටම පන්සලේදී ලොකු ලොකු සල්ලිකාරයන්ටත් මුල් තැන ලැබෙනවා. මේ පිළිබඳව රත්න ශ්‍රී විජේසිංහයන් හරි අපූරුවට ගීතයෙන් පවසනවා.

පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න

"පාත ඉඳන් අපි ආවේ", මෙහි අදහස් කරන පාත යනු කුමක්ද. පහළ මාලයේ සිට කියන එකද. එසේත් නැත්නම් කුඩා සමාජය නිරූපණය කරන්නට යොදා ගත්තක්ද. මට හැඟෙන අයුරින් රත්න ශ්‍රී විජේසිංහයන් මෙහිදී කුඩා සමාජය නිරූපණය උදෙසා මේ යෙදුම යොදාගෙන තිබෙනවා. දළඳා හාමුදුරුවනේ ඔබ වහන්සේ වැඳ පුදා ගැනීමට අපි ඇවිත් ඉන්නේ. ඔබ වහන්සේ අසලට පැමිණෙන අවසර තිබෙන්නේ ලොකු මිනිසුන්ට පමණයි. අපි බොහොම දුප්පත් අහිංසක මිනිසුන්. අපිට ඔබ වහන්සේ අසලට එන්න අවසර නැතත් අපි ගෙනා මේ නාමල් පූජා කරන්න අපිට සමා වෙලා පහළ මළුවට වඩින්න. නාමලක් කියන්නේ දසත සුවඳ විහිදුවන මලක්. මේ සමාජය තුළ කොපමණ දුර්ගුණ මතුවෙලා තිබුනත් මල් මෙන් ගුණ සුවඳ හමන මිනිසුන් සිටිනවා.

හීල් හෙවනෙ ඉඳගෙන බෑ
හේන් කුඹුරු වැඩ කරන්න
ඇඟ පත කළු උනත් අපේ
කිලි කුණු නැති හිත බලන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න

ලස්සනට ඇඳ පැලඳගෙන රැකියාවල් කරන මිනිසුන් වගේ නොවෙයි අපි. ගොවියන් වන අපිට සැප විඳිමින් කුඹුරු වැඩ කරන්න බෑ. අපි අව්වේ පිච්චෙමින් හේන් කොටන්න ඕනා. ඔබ වහන්සේ වැඳපුදා ගැනීමට එන නෝනලා මහත්තුරු මෙන් අපේ ශරීර පැහැපත් නෑ. අපේ ශරීර අව්වට පිළිස්සී තිබුනත්, අවපැහැ ගැන්වී තිබුනත් අපේ හිත්වල ඒ අවපැහැය නැහැ. අපේ හිත් පිරිසිදුයි. අපේ ඒ පිරිසිදු හිතින් කරන මේ පුද පූජා ලබා ගන්න ඔබවහන්සේ පහත මාලයට වඩින්න.

මූදු ගියා ලෙලි තැලුවා
පිලී ගඳින් බෑ මිදෙන්න
ඒත් අපේ මල් සුවඳයි
එපා බාර නොගෙන ඉන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න

රචකයා ගොවි ජනතාව මෙන්ම ධීවර ජනයාද ගිතය තුළ නිරූපණය කිරීමට උත්සහ කරනවා. මාලු ඇල්ලීමට මුහුදු යන අපි ලඟ තිබෙන පිළීගඳ නැති කරන්න අමාරුයි. අපේ කර්මාන්තය අනුව අපෙන් ඒ ගඳ නැති වෙන්නේ නැහැ. නමුත් ඔබ වහන්සේ පිදීමට ගෙනා මල්වල ඒ ගඳ නෑ. අපි ගෙනා මල් අනෙක් අය ගේන මල් වගේම සුවඳයි. නමුත් ඔබ වහන්සේ දැක බලා ගැනීමට පැමිණීමට අපට අවසර ලැබෙන්නේ නෑ. අපේ මල් ඔබ වහන්සේ බාර නොගෙන ඉන්න එපා. ඔබ වහන්සේ පහළ පළුවට වැඩියොත් ඔබවහන්සේට දැක ගන්න පුළුවන් අහිංසක මිනිසුන්ට වෙන අසාධාරණය.

රචකයා සමස්ත අහිංසක දුප්පත් ජනතාව සහ ඔවුන්ට සිදුවූ අසාධාරණය මේ ගීතය තුළ නිරූපණය කරනවා. ඉතා සරල බස් වහරකින් ලියවුණු ගැඹුරු අරුතකින් යුත් ගීතයක් ලෙස මෙය හැඳින්විය හැකියි. එදා වගේම අදත් සෑම ස්ථානයකම මෙවන් අකටයුතුකම් සිදුවනවා අපට දැක ගන්න පුළුවන්.

~ අකූ ~


Tuesday 16 February 2016

පවනට සැලෙනා දොඹමල් සුවදින්..

දරැවකුට මවගේත් පියාගේත් දෙදෙනාගේම ආදරය කරැණාව අවශ්‍යයි...

මවක් නැති අඩුව පියකුට පුරවන්න වුවහොත්...?

පවනට සැලෙනා දොඹමල් සුවදින්..
ආදර හසරැල් මුවට නැගේදෝ..
සවනට කොදුරා පවසන වදනින්..
ආදර හැගුමන් හිතට දැනේදෝ...


සුලං හමන විට දොඹ මල් සුවද දැනෙනව ඒත් ආදර හසරැල් මුවට නැගෙනවද? කනට ලංවෙලා කොදුරන වදන් වලින් සිතට ආදර හැගුම් දැනෙනවද? ඇය තමාත් තම කුඩා පුතණුවත් හැරදා ගිහින් දැන් ඉන්නෙ මල් ඇතිරැ සුව යහනක..

මල් ඇතිරැ ඒ සුව යහනේ ඔබ
අඩවන් දෙනෙතින් ආල වඩයි දෝ..
මා ඇකයේ හිද පොඩි පුතු හඩනා
ඒ දුක්බර හඩ ඔබට ඇසේදෝ....

මල් ඇතිරැ සුව යහනක ඇය දෙනෙත් අඩවන් කරගෙන ආල රැගුම් පානව, ඔහුගේ ඇකයේ සිටින පුංචි පුතා හඩන දුක්බර හඩ ඇයට ඇසෙනවාද.. යන්නෙන් මව් සෙනෙහස අහිමිව ගිය සිය පුතු කිරි ඉල්ලා හඩද්දී පියකුට ඇතිවන වේදනාව මැනවින් විදහා දැක්වෙයි, මෙය නැලවිල්ලක් නොව පියකුගේ වේදනාවයි..

ඇකයේ සිට මා පුතු හඩනා සද
ලේ කිරි වී දැයි නොදනිමි මා ලග
අසරන දෙනෙතින් පුතු දෙස බැලු සද
දුටුවේ වැගිරැනු කදුලු පමණි ලද...

ඔහුගේ ඇකයේ සිටින පුතු කිරි ඉල්ලා හඩන විට ඔහුගේ ලේ කිරි වේද..? රචකයා මෙය ගැටලුවට නගයි.
ඔහු අසරණව තම කුඩා පුතු දෙස බලන විට ඔහු දකින්නේ තම කුඩා පුතුගේ කදුලු පමනයි..

මෙම ගීතයෙන් සැමියා හා දරැවා තනිකර ගිය මවක් නිරැපනය වුවත්, රචකයා පිය සෙනෙහස ද අපූරැවට මතුකර තිබෙනවා ...

මෙය රචනා වී ඇත්තේ රචකයාගේ ජීවිතයේ ඇතිවු කම්පනයක ප්රඵිපලයක් ලෙසින් යැයි සැලකේ.. මෙය රචකයා වන ධර්මසිරි බණ්ඩාරනායක ගේ පලමු සහ අවසන් ගීය ලෙසද දැක්වේ.. ඔහු මෙය අබිනික්මන ලෙස නම් කරනවා.

කේමදාසයන්ගේ වේදනාබර සංගීතය හා ටී.එම් . ජයරත්නයන්ගේ හඩ, මෙහි හැගුම්බර බව තව තවත් උද්දීපනය කරයි..

පද රචනය: ධර්මසිරි බණ්ඩාරනායක
සංගීතය: පේමසිරි කේමදාස
ගායනය: ටී. එම් . ජයරත්න

~~ලහිරු විජේතුංග~~


ගිනි මලක් පිපුණාය දොරකඩ (2)

ගිනි මලක් පිපුණාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිළිසුණා පුරපස
පිපුණි දොරකඩ රන් මලක්

මදහසක් දිලිසීය මුව අග
නිමේෂයකට කඩ ඉමක් ඇර
නමුදු ඒ හස කඩා කඩඉම්
ගෙනගියා අප අනන්තය වෙත

දුටිමු අප ඇගෙ ඇසිපියන් යට
දෙසිත් කැළඹූ නිල් උපුල් යුග
දැවි දැවී සැනසුනා අප සිත්
තැබී ඈ තව පියවරක් දුර

මේ ගීතය මා කුඩාකල නිතරම රූපාවහිනියේ ප්‍රචාරය වූ ගීතයක් ලෙස අදටත් මේ ගීතයේ රූපරචනාව මගේ සිත් තුල සුලු වශයෙන් ඇදී ඇත.සියල්ල මතකයට නගා ගත නොහැක.මතකය එතරම් දුරය.මගේ මතකය ඔබටද ආවරජනය කරන්නට හැකිනම් එය මෙසේය.සැදෑ සමයක පාලමක් මත රැදී ඉන්න තරුනියකි.ගීතය ගායනා කරන කිත්සිරි ජයසේකරද රූප රාමු වල තැනින් තැන සිටි බවද මතකයේ ඇත.එකල මා හට ගීතයේ අදහස ගැන කිසිදු වගක් තිබුනේ නැත.හිතට දැනුන ගීතයක් ලෙස පමනක් සිතේ සටහන් විය.
මෙම ගීතය විශේෂ වීමට හේතු දෙකක් ඇත.විචිත්‍රවත් වීම කීවද වරදක් නැත.පලමුවැන්න ගීතයේ පද රචනය වන්නේ පද රචකයන් දෙදෙනකුගේ සුසංයෝජනයකිනි.අප දන්නා සමහර ගීත එක පදරචකයෙක් පද රචනා කෙරූ පසු තවෙකෙක් එය පසුව ඊට වඩා හොදින් සංස්කරන කොට ගීතයක් ලෙස දැමූ අවස්ථාවන් ඇත.නමුත් මේ ගීතය එවැන්නක් නොවේ.පදරචකයන් දෙදෙනකු එකවර මුහුවූ විරල අවස්ථාකි.තව එවැනි ගීත ඇත්නම් සැමගේ දැනුවත් වීම පිනිස සටහනක් තබන ලෙසද මේ සමගම ඉල්ලා සිටිමි.
දෙවැන්න නම් ගීතයේ එකිනෙකට වෙනස් අදහස් දෙකකි.එම අරුත් දෙක මුලු ගීතය තුලම සමාන්තරව ගමන් ගනී.එක් අදහසක් ගීතය උපත් ලැබූ අවස්ථාව හා බැදී තිබෙද්දී අනෙක සමාජ සිද්ධින් දෙකක් එකතුවක් ලෙස පවතී.

වඩා රසවත් වී ඇත්තේ මුලින් කියූ ගීතයේ උප්පත්ති කතාවය.මා කියූ ගීත රචකයන් දෙදෙන එකල සරසවි සිසුන් ලෙස නේවාසිකව සිටින විට එක්තරා නාදුනන තරුනියක් ඔවුන් හමුවට විත් ඇත.දෙදෙනාමට එය අනපේක්ෂිත වූවක් වන්නට ඇත.ගීතයේ කියවෙන ගිනිමල ඇයයි.කොලු වයසේ සිටින උන් ගින්දර කෑල්ලක් ලෙස යුවතියකට අමතන්නේ ඇයි දැයි අමුතුවෙන් අටුවාටිකා සහිතව පැහැදිලි කල යුතු තරම් නොවේ.ඇය කුමක් හෝ ඇයගේ පැමිනි කාරනය ඔවුන් හමුවේ තබා යන්නට ඇත.නමුත් සුන්දර යුවතියගේ රූපය ගැන ඔවුන්ගේ කතාව පටන් ගන්නේ එතනින්මය.ඇයගේ රූපය වර්නනා කරන අතර වාරයේදී නැවත විටක් ඇය ඔවුගේ නවාතන වෙත පැමිනියේනම්..සිදුවූයේද එයමය.
ගිනිමලක් පිපුනාය දොරකඩ වරක් නොව තව වතාවක්..
සදක් සේ දිලිසුනා පුරපස පිපුනි දොරකඩ රන් මලක්.

මදහසක් දිලිසීය මුව අග
නිමේෂයකට කඩ ඉමක් ඇර
නමුදු ඒ හස කඩා කඩඉම්
ගෙනගියා අප අනන්තය වෙත
ඔවුන් දෙදනා වෙත ඇය පැමිනි ඇත්තේ කියනා පරිදි සිනාවක් මුවේ තබාගෙනය.නමුත් නාදුනන්නන් දෙදෙනෙකු වූ මේ මිතුරන් දෙදෙන ඉදිරිපිට ඇයගේ සිනහව අතුරුදන් වන්නට ඇත.රූමත් යුවතියක් නොසිතූ ලෙස පෙනී සිටීම ඔවුන්ට විමතියක් වීම නිසාම ඔවුන්ගෙ මුහුනු වල සිනාවක් තිබීයැයි සිතන්නටද නොහැකිය.
නමුත් නිමේශයක් පමනක් වූ ඇගේ සිනහව ඔවුන්ව අනන්තය දක්වාම කැදවා ගොස් ඇත.

දුටිමු අප ඇගෙ ඇසිපියන් යට
දෙසිත් කැළඹූ නිල් උපුල් යුග
දැවි දැවී සැනසුනා අප සිත්
තැබී ඈ තව පියවරක්
ඇගේ නිල් නුවන් දෙමිතුරන්ගේ දෑස් කලබා තිබේ.දැස් මෙනෙම සිත්ද කලබා ඇති බව පිට ඉට බලන අපට ගීතය රසවිදිනල් විට මුලු ගීතය පුරාම පෙනෙන්ට ඇත.
ඇගේ රුව ඔවුනෙගේ සිත් ගිනි අව්ලවා ඇත.ගින්න වුවද සිසිලසක් තිබී ඇත.එය සිත සනසවා තිබේ.ගිනි ඇව්ලවා තබා ගිය නික්මීම ඔවුන් දෙදෙනා නිවාගෙන ඇත්තේ ගීතයේ පද රචනය තුලිනි.කලාකාමී මිනිසා සිත තුල මතුවන ගිනි නිවගන්නේ ප්‍රචන්ඩත්ව හෝ බලහත්කාරය තුලින් නොවේ..එය නිර්මානයක් තුලින් පිට කිරීමෙනි..
කෙසේ නමුදු ඇගේ අහබු පැමිනීම සොදුරු නිර්මානයක් දක්වාම අවසානයේ දුර ගියේය.

ගීතයේ තවත් සමාජ කතවක් ඇත යන්න මා මුලින් සදහන් කරා ඔබට මතක ඇති.අපේ රටේ ‍අදුරු කාල සමයන් දෙකක් වූ තරුන විප්ලව දෙක මේ ගීතය හරහා වෙනස්ම අයුරකින් ප්‍රතිනිර්මාණය වී ඇති බව හොදින් බැලූ විට පෙනෙන්නට ඇත.එම විප්ලවයන් දෙක තරුනියගේ පැමිනීමට ආදේශ කර බැලූවිට ඔබට වැටහේවි එය.එදා ඒ තරුනයන්ගේ විප්ලවකාරි මනස තුලින් දුටු සැබෑවක් කරගැනීමට හැකි නොවූ සාධාරනත්මක සමාජය ගීතය තුලින් විනිවිද දකින මෙන් ඇරයුමක් තබමින් නිමාකරමි.

පද: ධම්ම දිසානායක, කීර්ති ආරියදාස
තනු: ලලිත් වික්‍රම
හඬ: කිත්සිරි ජයසේකර

~~නිපුන සම්පත්~~


Monday 15 February 2016

දම්පාටින් ලා සද බැස යනවා

මම කියන්න යන්නේ දම්පාට සදක් ගැන, අහල තියෙනවද?
මේ ගීතයේ රචකයා දම්පාට සද උපමා කරල තියෙන්නේ තම පෙම්වතියගේ මුහුනට සහ විප්පයෝගයකට.. මෙහෙම කියද්දී මං කියන්න යන ගීතය මතක් වෙනවත් ඇති..
ලූෂන් බුලත්සිංහලයන් මෙය රචනා කිරීමට හේතු පාදක කොට ගෙනඇත්තේ ( නිධාන කතාව) ඔහුගේ මල්එල ගැන්වුනු පාසල් පෙමයි..
ඔවුන් දෙදෙනාම සරසවි වරම් ලැබ ඔහු පේරෙටත් ඇය කොළඹ ටත් යනවා, සති අග ඇය හමුවීමට ඔහු කොලඹ එනව, දවසක් දෙදෙනා ගේ හමුවක අවසන් මිනිත්තු කීපයේදී ඔහුට ඇතිවූ විප්පයෝගය මෙහි දී මෙසේ පබැදෙනවා..


දම්පාටින් ලා සද බැස යනවා ආකාසේ රන්වන් පාටයි...
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි...

සද දම් පාට ට පේන්නේ බැසගෙන යද්දි.. ආකාසෙ රන්වන් පාටට පේන්නෙ හිරැ නැග එද්දි.. දැන් ඉර පායන්න ලගයි ඒ කියන්නෙ වෙන්වෙන්න වෙලාව ඇවිත් ඉතින් ඇයි තවත් නොදොඩා ඉන්නේ... මේ දෙදෙනා හිරැ නැගෙන තුරා එකට සිටි බවක් මින් ගම්‍ය වෙන්නෙ..

දම්පාටින් සද මුහුන පෙනෙනවා වෙන්වී යන මොහොතක් නෑගෙයි...
දෑසට ලංව තවත් මේ මොහොතේ
ගොලුවී ඉන්නෙමි මං....

මෙහි පෙම්වතිගෙ මුහුන සදට උපමා වෙලා , ඒත් දම් පාටින් ඇගේ විප්පයෝගය ගම්‍ය වන්නේ.. වෙන් වෙන වෙලාව ආවත් දෙන්නටම වෙන් වෙන්න සිතක් නෑ..ඇස් දෙකට එබිලා ආදර සයුරේ තවත් කිමෙදෙනවා..
"පියේහි විප්පයෝගෝ දුක්කෝ " යන්න මින් මනාව ඉස්මතු කර තිබේ..

සෙවනැලි නොමැකේනම්..
එලිය කලුනොවේ නම්..
බිත්ති පුරා ඔබෙ සෙවනැලි ඇන්දේ තනිය මකා ගන්නයි...
එනතුරැ සොයා මගේ සෙනෙහස මතුදා...

මේ පෙම්වතිය රාත්රියේ බිත්ති මත ඇදෙන සෙවනැලි මගින් තම තනිකම මකා ගන්නවා, පෙම්වතා ගෙ රැව මවාගෙන එයත් එක්ක ජීවත් වෙනවා යලි ඔහු ඇය කරා එනතුරැ...

රෑ කල දිගු වේ නම් .. ලා සද නොමැකේ නම්...
නෙලුම් පතක රැදි පිනි බිදුවක් සේ ලමැද තලා යහනේ... ඉන්නම්...
පමාවෙලා හිරැ නැගෙන තුරා....

මොහු පතනවා ඉතා දිගු රැයක් ,ලාසද නොමැකෙන්න පතනවා.. එවිට ඇගේ තුරැලෙි ඉන්න පුලුවනි, ඇගෙ ලමැද ඔහුට සුව යහනක් මවනවා.. ඒත් ඔහු පතන රැය නෙලුම් කොලයක් මත ඇති පිනි බිදුව ,හිරැ අභිමුව වියැකී යන්නා සේ අවසන් වන බවත් ඔහු නොදන්නවා නොවේ... ඒ නිසා ඔහු පමාවෙලා හිරැ නැගෙන්න පතනවා..

මෙහි නිධාන කතාව නොදැන මැය රෑ සමනලියකට ආදේශ කරන්නට, හෝ අනියම් සබදතාවක් කියන්නට ද හැකියි...
ඒත් රචකයා පාදක කොටගෙන ඇත්තේ. ඔහුගේම පාසල් වියේ ඇරඹි පෙම බැවින් එය එසේ නොවිය හැකියි...

( සංවාදයට විවෘතයි... මෙය මා අසා ඇති පරිදි දක්වා ඇති බැවින් වරදක් වුවොත් සියල්ලෝම කමා කරත්වා...)

ගී පද : ලූෂන් බුලත්සිංහල
සංගීතය: ඔස්ටින් මුනසිංහ
යුග ගායනය: ගුණදාස කපුගේ/ මාලනී බුලත්සිංහල

~~ලහිරු විජේතුංග~~


ආලයේ නාමයෙන් නොහඬනා

ආලයේ නාමයෙන් නොහඬනා
ඔබට මං ආදරෙයි
ආලය්ව්න් අන්ධ වී නැති නිසා
ඔබට මං ආදරෙයි

සැම දිනම සුබ දිනක් සේ සිතනා
රස නුසුන් බස් සවන් හී රඳනා
සිය ගෙපැළ සුර විමන සේ දකිනා
අභරණින් මා සිරුර නොසරසනා
ඔබට මං ආදරෙයි

ලොව සියළු ගැහැණුන්ට ගරු කරනා
වරද දුටු තැන කිපී බැණ නැගෙනා
සිනාසෙන විට ඈත සිට බලනා
හඬන විට මා අසළ තනි රකිනා
ඔබට මං ආදරෙයි


ගායනය : නන්දා මලිනී මහත්මිය
පද : සුනිල් ආරියරත්න මහතා
තනු : ස්ටැන්ලි පීරිස් මහතා

අගහිඟකම් පිරි පුංචි කැදැල්ලක රැඳෙන අංග සම්පූර්ණ් ආදරයක වග මේ ගීයෙන් අපූරුවට කියැවෙනවා.
සැබෑ ආදරවන්තයින් විවාහයකින් බලාපොරොත්තු වන්නේ ආදරය,විශ්වාසය,රැකවරණය විනා මිළ මුදල්,කනකර බරණ,යාන වාහන නොවේ.පතිනියකට විවාහ දිවියෙ ඇති සතුට එයයි.

ආලයේ නාමයෙන් නොහඬනා......

තම ස්වාමියා ආලයෙන් අන්ධවී ආලය වෙනුවෙන් හඬා නොවැටී ජීවිත අරඟලය දිනන්න වෙහෙසෙන බුද්ධිමත් ස්වාමියකු බව මේ බිරිඳ පවසනවා.ඒ නිසාම ඇගේ සෙනෙහස වැඩි වන බවයි ඈ පවසන්නේ.

සැම දිනම සුබ දිනක්.......
බලන්න ඇය කෙතරම් වාසනවන්තද?ඔහු කෙතරම් ධනාත්මකද?
ඔහුට සෑම දිනයක්ම සුභයි.ඔහු කියන සෑම දේම රසවත් (රස නුසුන් බස්)
කොතරම් අඩු පාඩු තිබුනත් ඔවුන් දෙදෙනාගේ ගෙපැළ ඔහුට සුරවිමනක්.
මේ සියළු දේ නිසාවෙන් ඇය වෙනුවෙන් ඔහුට කරන්නට නොහැකි දේ ගැන ඇය තැවෙන්නේ නෑ.අභරණින් ඈව සැරසුවේ නැතත් ඈ ඔහුට ආදරෙයි.

ලොව සියළු ගැහැණුන්ට.......
තමන්ගේ බිරිඳ ගෙදර තබා රටේ ලෝකේ කාන්තාවන්ගේ හෙළුව සොයන පිරිමින් සමහරක් සිටින යුගයක මොහු සියළු ගැහැණුන්ට ගරු කරනවා.ඉතිං ඔවුන් දෙදෙනා අතර කෙතරම් විශ්වාසයක් ගොඩනැගෙනවා ඇතිද?ඒ වගේම වරද දුටු විට පියෙක් වගේ එය පෙන්වා දෙනවා.සතුටේදීට වඩා දුකේදී ඔහු ඈ ළඟ සිටිනවා.ඉතිං ඈ ඔහුට ආදරෙයි.

සෑම බිරිඳක්ම ස්වාමියෙකුගෙන් මේ සියල්ල නිතැතින් බලාපොරොත්තු වෙනවා.එයයී සාර්ථකත්වය.මේ ගීය සැමදාකටම ගැළපෙන ගීයක් බවයි මගෙ අදහස.

~~කාන්චනා රාජිකා~~


සත්මහලින් බැස එන්නම්

කොයි විදිහට ගත්තා වුනත් ආදරේ කියන්නේ හැම සමාජ තලයක්ම එකතු කරන්න පුලුවන් මහ අපූර්ව
හැඟීමක් කාලෙකට ඉස්සරල ගොඩාක් කැමැත්තක් දක්වපු සිංදුවක් මතක් වුනා.මගෙ ජීවිතෙත් ඇත්තම කතාව මෙහෙම තමයි ගෙවිල ගියේ ඉතින් මේ කතාවෙ ගැහැණු දැරිවි බොහොම පොහොසත් කෙනෙක් මහල් ප්‍රාසාදයක කල් ගෙවන ඇය ආදරේ කරන්නෙ පීඩිත පන්තියෙ කොල්ලෙක්ට ආදරේ නිසා හැම දෙයක්ම අතහැර එන්න සූදානම් වෙලා අහන්නෙ ආවොතින් පිලිගන්නවද කියලා ඉතින් මේ කොල්ලත් කැමති මෙයාට නිසා එයත් සූදානම් ඕනම දේකට හැමදේම නැතිවුනත් අවංක ආදරේ තියේනම් ඕනම අපහසූ කටයුත්තක් පහසු කරගන්න පුලුවන් කියලා ගායනය කරන්නෙ කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා එක්ක නිරෝෂා විරාජිනි මහත්මිය


සත්මහලින් බැස එන්නම් ඔබ මා පිළිගන්නවනම්..
ආදරයේ පියගැටපෙළ පාර කියාවී..
මහ පොළොවට පිළිගන්නම් සිටු සැප හැර එනවා නම් ..
ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳවේවී...

සිරියහනේ පොකුරු පිච්ච් මල් තනිවේවි..
දුකට කරුණු අහස අසාවී..
පන් පැදුරේ අලුත් පැතුම් දළු ලියලාවී..
ඒ පැදුරෙන් අප නොවැටේවී...

සත්මහලට පෑයූ සඳ පැලටත් ඒවී..
ඔබේ ලොවට එලිය වැටේවී...
සඳ නාවත් මගේ පැලේ එලිය ගලාවී
ඔබට පුරා හඳ පරදීවී....

~~සංජය ලක්මාල්~~


මේ ඇස් දිහා බලන්...

මෙය තම කුළුදුල් ආදරයට පිළිතුරක් බලාපොරොත්තුවෙන් දින ගනින තරුණයෙක් පිළිබද කතාවකි.


මේ ඇස් දිහා බලන්...
දැන්වත් කියන්න මගේ රත්තරන්...
ඔබ මගේද..මා ඔබේද..අපි අපේද කියලා...
දැන්වත් කියන්න මගේ රත්තරන්...

බොහෝවිට හැම ආදර කතාවක්ම ආර්ම්භය එක් මූලික සිද්ධාන්තයක් මත සිදුවෙයි. මුලදී ගැහැණු ළමයා විසින් තමන් කැමති පිරිමි ළමයාට විවිධ ඉගි මගින් (64 මායම්) ප්රථම ආරාධනය ලබාදෙයි. ඒ අනුව පිරිමි ළමයා ඇය වෙත ගොස් ඇගෙන් ආදරය බලාපොරොත්තුවෙන් ප්රතම වාචික ආරාධනය ලෙස කෙලින්ම මේ ගැන විමසයි. (පිරිමිකම)

පැහැදුල් නුවන් දල්වා...
මා දෙසට පා කරවා...
හදගැස්ම මගනවතා...
දෙහදක් ගොළුව උන්නා...

ඔබෙ සෙනෙහේ.. මගරැදුනේ.. ඇයි සන්සාරයේ...
මේ භවයේ.. මා වෙනුවෙන්.. ඔබ මැවූයේ...
දැන්වත් කියන්න මගේ රත්තරන්...

පැහැදිලි දීප්තිමත් දෑසින් තමා දෙස බලාසිටින ඇගේ රුව ඔහුගේ සිත වසග කරගනියි. එනමුත් මේ තරුණයා එක් වරම ඇය වෙත නොගොස් තවතවත් ඈගෙන්ම යම් දෙයක් බලපොරොත්තු වෙයි. ඇතම් විටෙක මේ ඔහුගෙ පළමු පෙම නිසා විය යුතුය. කිසි දිනෙක අත් නොවිදි මේ සෙනෙහස හමුවේ ඔහුගෙ සිත ගොළුවේ. සමාජයට බියෙන් ආදරය සිත තුල හන්ගාගෙන ඔහු තම මුණිවත රැකගැනීමට වෙර දරයි. "සන්සාරයේ" යන්නෙන් ඔවුන් ජීවත්වන සමාජය නිරූපනය කරයි.

කදුළැල් නෙතින් පළවා...
පැතුමන් සිතේ තනිබින්දා...
සිල්ගත්තු සිත සගවා...
ඔබෙ දෑත වෙත අතපෑවා...

ඔබෙ සෙනෙහේ.. මගරැදුනේ.. ඇයි සන්සාරයේ...
මේ භවයේ.. මා වෙනුවෙන්.. ඔබ මැවූයේ...
දැන්වත් කියන්න මගේ රත්තරන්...

එහෙත් වැඩි කාලයක් එසේ සිටින්නට ඔහුට නොහැකිය. පාළුවෙන් තනිකමින් සිත ඇතුලින් හඩමින් සිටි ඔහුගේ සිතට, ඇය පිළිබද ආදර පැතුමන් පැමිණීමත් සමග සියල්ල උඩු යටිකුරු වෙයි. මේ වන තුරු කිසිම ආදර සම්බන්දතවක් නොමැතිව තමන් මෙතරම් කලක් රැකගෙන සිටි ශීලය බිදදැමිමට තරුණයා පෙළබෙයි. වහාම ඇය වෙත පැමිණෙන ඔහු, තම කුළුදුල් ප්රෙමය වෙනුවෙන් ඔහුගේ දෑත ඈ වෙත යොමුකරගෙන බලාසිටියි.

එය ඔහුට හිමිවේවිද....?

ප.ලි.- ශිහාන් මිහිරoග නම් මේ ගායකයා, ලාoකීය සoගීතයේ යුගපෙරළියක් සිදුකළ නව පරපුරේ විශිෂ්ඨ ගායකයෙක් ලෙස කිව හැක. රූකාන්ත ගුණතිලකයන්ගෙන් පසු හොද පොප් ගායකයෙක් සිටියේ නම් ඒ ශිහාන්ය. ඒ ඔහුගේ ගායනයෙන් මෙන්ම, ආකර්ශණීය බාහිර පෙනුම, වේදිකාව හැසිරවීම, වාදන හා නර්ථන හැකියාවන් වැනි විවිධාකර වූ දක්ෂතා පෙන්නුම් කිරීම නිසාය. තවද තරුණ-තරුණියන්ගේ සිත් ඔහු කෙරේ බැදතබා ගැනීමට ඔහුතුල විශේෂ හැකියාවක් තිබින. මෙවැනි ගීත ඉදිරියටත් ඔහුගේ කටහඩින් අසන්නට ලැබේවි යයි පතමි.

ධනුෂ්ක ලක්ෂාන් ලොකුපිටිය


පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්........

අද ආදරය කරන්නන්ට විශේෂ දවසක්.ආදරවන්තයින්ගේ දිනය කියන්නා වූ දිනය හේතුවෙන්.ලෝකයේ
ප්‍රසිද්ද අදර කතා සියල්ල ගත්තත් ඒවගෙන් බොහෝ විට අදර කතව්ව නිම වෙන්නේ අදරවන්තයගේ ජීවිතයට නිම වීමෙන්.වැලන්ටයින් ගේ කතාවද එසේමය.මනමේ එසේමය.වැලන්ටයින් දිනය යනුවෙන් අද දවස යෙදීම හුදෙක් වාණිජ පරමාර්ථ මුදුන් පත් කරගත් ගැටයක් විතතරයි.හරියට ආදරේ කරන්නන්ට විශේෂ දිනයක් අවශ්‍ය වන්නේ නැ.

දැන් ගීතය දෙසට හැරුනොත් අද දිනයට ගැලපෙන හා හැම විටම ආදරය ඇතුලේ පිරිමියා විසින් ප්‍රශ්න කරන දෙයක් ගැන මේ ගීතයෙන් කියෙවෙන්ව.ගීතය පුන් පෝදා සඳ.මෙය ගායනය කරන්නේ මාලිනි බුලත්සිංහල මහත්මිය විසිනි.පද රචනය ලුෂන් බුලත්සිංහල ගෙන් හා සංගීතය H.M . ජයවර්ධන මහතා විසිනි‍.
ලාංකීය සමාජය තුල පිරිමියා විසින් තම ගැහැනියගෙන් ප්‍රශ්න කරන්නා වූ ප්‍රධාන භෞතික කාරනාවක් තියෙනව.එකී ගැහැනියගේ පාරිශුද්ධත්වය.ඔය මීට කලින් කී දෙනෙක් එක්ක යාලු වෙලා හිටියද,කී දෙනෙක් එක්ක හිටියද?,සමාජ ජාල වෙබ් අඩවි වල මොනවද තියෙන්නේ වගේ සීමිත එහෙත් ඉතාමත් ජීව විද්‍යාත්මක ප්‍රශ්න කිහිපයකින්.එත් මෙම ගීතය තුල කාන්තවක් විසින් ප්‍රශ්න කරනවා තම සහකරුවාව “මගේ පපිරිසිදුකම අහන ඔය පිරිසිදු ද”

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්-මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරුමල්-එයට නෙළා පිළිගන්වන්නම්

ඔය හඳ අරගෙන අවොත් මම තරු ටික ඔක්කොම කඩලා දේන්නම්,හැබැයි ඔය මුලින් හඳ අරන් එන්න ඕනේ..මේ ගීතයේ මේ කාන්තව අහන ප්‍රශ්නය හරියට “කොන්ද කෙලින් තියාගෙන ගැහැණියෙක් අහනව” වැනි ඉතාමත් රැඩිකල් ප්‍රශ්න කිරීමකි.මෙම ගීතය තුල තිබෙන්න වූ උපහාසත්මකම දේ වන්නේ මෙම ගීතය පිරිමියකු විසින්ම රචන කරන ලද්දක් වීමය. මෙය ඇත්තටම පිරිමියකු විසින් සලක බැලිය යුතු කාරණාවකි.අද ප්‍රශනය වී තිබෙන්නේ මෙවැනි ප්‍රේම ගීත සෑදෙන්නේ නැති එකී.අද ගීත වලින් අපට හැම විටම එකම ඕලාරික අත්දැකීමක් දෙන්නේ.සම්බන්දයක් නැතිවීම මාර දුකක් ,පිරිමි හොටු පෙර පෙර අඩනව වැනි fantacy ආදරයක් තියෙන්නා උ බොළඳ දේවල් පමණි.අද දවසේ සම්බන්දතා ස්වරුපය දෙස බලු විට ආදරයක් බිදී යාම කියන්නේ පුදුම විය යුතු මාර දෙයක් නෙමෙයි.දෙදෙනෙක් හරියට ආදරය කරනවා නම් ඔව්න්ගේ ආදරය කාලයත් සමග මුහුකුර යනවා නම් ඒ ආදරය උපරිම තත්ත්වයට ආ විට ඔව්න් වෙන් වී යාහැක.ඒ සම්බන්දය් දිගින්‍ දිගටම පවත්වා ගෙන ග්යොත් ජරා ජීර්ණ තත්වයටද පත් වෙනවා.ලංකාවේ ප්‍රදාන දරවේ ආදරයෙන් දුවන්නේ සැකය මත.ඒ ආදරය ආදරයක් වන්නේ රණ්ඩු මත.

මේක සමාජයක් හා තරුණ පරපුරක් විදිහට සීත බැලිය යුතුයි කාරණාවක්.ගැහැණියකගේ මමත්වය,සීමිත පරාසයන් විවුර්ත වීමට අවස්ථාව ලැබෙන්නේ ආදරයක් ඇතුලේ පමණි.අපි එක වැරදිකරුවන් විධිට ගන්නවා.එත් එක ගැහැණියට තමන්ගේ ආත්මයම වෙන්ව.මෙන්න මේ අතර සිදු වන දොලනයන් හේතුවෙන් අපිත් ගැහැණිය ප්‍රශ්න කරනවා.නමුත් අපිත් කොපමණ දුරට පිරිසිදුද යන්න ගැන අපි නැවත වරක් සිත බැලිය යුතුය.


පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරුමල්
එයට නෙළා පිළිගන්වන්නම්

දේදුන්නක් ඔබ මට ගෙන ආවොත්
විසිතුරු සළුවක් වියමි එයින්
පරසතු උයනේ සක්මන් කරනට
ඉන් සැරසී ඔබ හා එන්නම්

බිඟු තුඩු නොවැදුනු පියුම ගෙනාවොත්
මානස විල මත පිපුනු සැණින්
නැවුම් පෙමට කිම වෙහෙසෙනු පෙම්වත
යළි උපදිමි ඒ පියුමින් මම්

~~කූජන අවිශ්ක~~



මාලිනියේ.. ඉන්ද්‍රජාලය..

අපගේ උඩු සිත සහ යටි සිත නිතරම වාගේ වාද විවාද ඇති කර ගන්නවා. අපි යම් දෙයක් සිතන විට අපිට ඒ
කරන්න හෝ එපා කියල කියනව. සමහර වෙලාවට ඉතාමත් කාර්ණික ලෙස කියනවා. ඇතැම් වෙලාවට ඉතාමත්ම තදින් කියනව.අන්න ඒ වගේ උඩු සිත සහ යටි සිත අතර ඇති වන සංවාදයක් ගැන ඉතාමත් ලස්සනට පෙන්වා දෙන ගීතයක් තමයි වික්ටර් රත්නායක මහත්මය ගායනා කරන "මාලිනියේ" ගීතය. මෙහි පද රචකයා සහ සංගීතවත් කලේ වවුරුන්ද යන්න මම සොයා ගැනීමට මම බොහෝම උත්සාහ කලත් එය සොයා ගන්නට හැකි උනේ නැහැ.

එක්තරා තරුණයෙකුට තරුණියක් කෙරෙහි සිතක් පහල වෙනව. ඉතින් ඒ පිළිබඳව තමාටම පවසනව. ඔහු ඒ පිළිබඳව ඉතා කියන්නෙ තමන්ගේ සිතේ මෙතෙක් කල් ඇදී තිබූ සහ ඔහුගේ තමාට හමුවූ බවයි. නමුත් ඔහුගෙ යටි සිත ඔහුට පවසන්නෙ එය මායාවක් බවත් එයට නොරැවටෙන ලෙසත් ය. තවද ඔබගෙ ඇස් පෙනුනද මනසින් අන්දකාරයෙ සිටින බවද යටි සිත ඔහුට පවසයි.


මාලිනියේ.. ඉන්ද්‍රජාලය..
මා මනසේ.. අන්ධකාරය..
මා දෑස සොයනා.. ඔබ දෑස නැත..
රුව ඇදුනා.. නොරැවටෙන්..
මාලිනියේ..

ඉතින් මේ ආකාරයට ඔහු ඈ සමගින් පතිකුළයට පිවිස ඔවුන්ගේ අලුත් ලෝකයක් තැනීමට සිහින මවනව. එහෙත් එවිට යටි සිත පවසන්නෙ විවාහය යනු සිපිරි ගෙයක් බවත්, ඔබ එය නොදන්නා අමනයෙකු බවත්ය.

මංගල පෝරුව මස්තකයේ..
අමන තරුණය..
මම ඇය අත ගනිමි..
සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද..

යටි සිත සමග සංවාදයෙන් පරාජය වීමට ඔහුද සූදානම් නැත. ඔහු යටි සිතට පවසන්නේ ඇය පතිවත රකිනා කුළ කුමරියක් බවත් තමා ඇය සෑමදාම ආදරයෙන් රැක ගන්නා බවත්ය. නමුත් යටි සිතද සංවාදයෙන් පරාජය වීමට කැමත්තක් දක්වන්නේ නැත. යටි සිත පවසන්නේ වරදෙහි නොබැදෙන ළඳුන් ලොව නැති බවත්ය. එවැනි ළඳුන් සිටියහොත් එය එය අරුම පුදුමයක් බවත්ය.

පතිවත රකිනා කුළ කුමරී..
අරුම පුදුමය..
මම ඔබ රැක ගනිමී..
වරද නොබැදෙන ළදුන් ලොව නැත..

මීට බොහෝ කලකට පෙර නිර්මාණය වූ මෙම ගීතය, නිෂ්පාදනය කිරීම බොහෝ අපහසු දෙයක් බවට පත් වුනා. ඒ මන්ද යත් මෙම ගීතයේ කොටස් දෙකක් එකවර එකම ගායකයා විසින් ගායනා කිරීමයි. එකල ශ්‍රී ලංකාවේ තුල එතරම් උසස් තාක්ෂනයක් නොතිබුනද, තිබූ තාක්ෂනය උපරිම සාධාරනයක් ලබා දෙමින් අවසානයේ ශ්‍රාවකයා වෙත අපූරු නිර්මාණ්යල් ලබා දී ඇත. මෙම ගීතය නිර්මාණයට දායක වූ සෑම සියලු දෙනාටම මම හද පත්ලෙන්ම ස්තූතිවන්ත වන්නෙමි.

මේ තුල යම්කිසි අඩුපාඩුවක් ඇතිනම් එය පෙන්වා දෙන ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමි.

- වාසර පිනිපා රූපානන්ද -


කවදා හෝ සසර කතර අතරමගකදී

ආදරේ හැම හදවතකට දැනෙනවා.ඒත් ඉතින් අපේ සමාජයේ කට්ටිය හිතාන ඉන්නෙ ආදරේ ඉස්සරලම
ප්‍රකාශ කරන්න ඕන පිරිමි පාර්ශවයෙන් කියලනෙ.අනේ එහෙම එකක් නෑ.මට හිතෙන හැටියට නම් ආදරේ කරද්දී අපි හැමෝම වරද්දගන්න තැන එතැන.දැන් ගොඩක් වෙන්නෙ අපි කැමති කෙනෙකුගේ පස්සෙ ගිහින් ගිහින් බලෙන් වචනෙ ගන්න එකනෙ.ටිකක් හිතන්නකො ඇයි බැරි අපිට ආදරේ කරන කෙනෙකුට ආදරේ කරන්න.හොඳින් තේරුම් ගත්තොත් ගොඩාක් දුර යන්න පුලුවනි එහෙම ආදරේකට....
සමහරවිට මෙහෙමත් හිතෙනවා මේ සිංදුව අහද්දි දෙමව්පියෝ අකමැත්තක් දක්වලා ගැහැණු ලමයව හිර කරගෙන ඉන්නවා වෙන්නත් පුලුවනි. ඇයි එයා කියනව මගෙ මේ අඳුරු ජීවිතේ එළිය ඔයා කියලා හැම කරදරයක් ම දිනන්න හදන්නේ ඒකනේ

කොහොම උනත් ඉතින් ගැහැණු දැරිවියකගෙ හිතේ පිළිසිඳගත්තු මේ ආදරය ඇය හරි ලස්සනට කියනවා.මේ ජීවන ගමනෙදි ඔයාව දැකපු දවසෙ ඉදන් මම ඔයා එක්කමයි.මගෙ ආදරේ තරම කියන්න බෑ මට.හැම බාධාවක් ම ජය ගන්න මගෙ අත අරගෙන බලන්න.ඔයා මගෙ මේ ජීවිතයට ආලෝකයක්.මගෙ ඉස්සරහට ඇවිත් කියන්න බැරිනම් කොහොමහරි පණිවිඩයක් දෙන්න අඩුම තරමෙ කුරුල්ලෙකුටවත් කියලා එවන්න
අහන්න අපි මෙහෙම ඉන්නවාට වඩා ලස්සන ලෝකයක් අපිට හදාගන්න පුලුවනි මොන කරදරයක් ආවත්.........


කවදා හෝ සසර කතර අතරමගකදී
දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී...
එතැන් පටන් මම එමි සෙවනැල්ල නියවේ
කියන්න බෑ මහිමය මා බැන්ද දයාවේ....

මිදුලෙ හි ඇති ආලෝකය නිවසට එන්න..
සොඳුර ඔබේ දෑතට මගෙ දෑතම මෙන්න..
මිදී දුකින් රස බලන්න සිතමි ජීවිතේ..
රිදී ඉරකි ඔබ මාගේ අඳුරු ජීවිතේ...
අඳුරු ජීවිතේ...

පවසනු බැරිනම් ඉදිරියෙ කරුණු ඔබෙ හිතේ..
මට පණිවිඩ එවනු මැනවි කුරුල්ලෙකු අතේ..
දුකයි සැපයි ජයයි පරජය හැම මැද්දෙන්..
ඔබෙයි මගෙයි අඳුරු ලොවට සඳ පායද්දෙන්
සඳ පායද්දෙන්.....

~~සංජය ලක්මාල්~~



මිදුලට උඩින් එබිකම් කර බලන සඳ

සාමාන්යයෙන් යුවලක් විවාහයට පත් වුනාට පසුව ඒ යුවල වගේම ඒ හතර වරිගෙ නෑදෑ පිරිවර ඊලඟට කිරි
කැටියෙකුගෙ සිනා දකින්නයි ප්රර්තනා කරන්නෙ.. ඒත් හිතන්නෙවත් නැති විදිහට ඒ සිහිනය ඒ යුවලගෙන් බොඳ වුනොත්???
අද කියන්නට යන්නෙත් එතරම් ප්රසිද්ධියට පත් නොවුන උරේශා රවිහාරි මහත්මිය විසින් ගායනා කරන ඒ වගේ ගීතයක් ගැන...

මේ වගේ අවස්තාවකදි වරද කාගෙ වුනත් වැඩි වශයෙන් ගැරහීමට, ඇනුම් පද ඇසීමට ලක් වන්නේ කාන්තාවක් වීම සුලබ දෙයක්... ඒ වගේමයි ඉන්පසුව ඇයට නෑදෑ පිරිවර සලකන ආකාරයත් වෙනස් වන්නට පුළුවන්.. ඒ කව්රු මොනව කිවුවත් තමන්ගෙ ස්වාමියා වෙනසක් නොකර ම තමන්ව රැක බලා ගන්නව නම්?... එහෙම මිනිසුන් ඕන තරම් මේ ලෝකයේ සිටිනවා... නමුත් මෙවැනි සිදුවීම් අබියසදි මානසිකව වැටෙන කාන්තාව තවත් පීඩනයට ලක් කරන මිනිසුනුත් ඕන තරම් අද සමාජයේ දැක ගන්න පුළුවන්... මේ ගීතයෙන් කියන්නෙත් දරු සුරතල් බලන්නට නොහැකි වුන නිසා වෙනස් වුන ස්වාමියෙක් ගැනයි... බලන්න තමන්ගෙ පිට වරද පටව ගෙන තමන්ගෙ ස්වාමියගෙ සතුට වෙනුවෙන් කැප වෙන්න පුළුවන්, මෙතරම්ම ඉවසන්න පුළුවන් කාන්තාවන් සිටිනවද කියලා...

මිදුලට උඩින් එබිකම් කර බලන සඳ
පාතට ඇවිත් මට ඇත්තම කියනව ද
රෑ පැල් රකින්නට ආවත් ගෙදර ඉඳ
මගෙ එක්කෙනා රෑ හේනේ නෑ නේද?..

පැරණි කල ගැමි සමාජය තුල වැඩි වශයෙන් මිනිසුන් රැකියාව වශයෙන් කුඹුරු ආශ්රිතව, හේන් වගා ආශ්රිතවව රැකියා කල බව නොරහසක්... හේන් ගොවිතැනට මුල් තැන දුන් ගැමියන් එය ආරක්ෂා කලේ හේනෙ පැලක් තනා ගෙන ඒ මතට වෙලා සත්තුන්ගෙන් තම හේන ආරක්ෂා කර ගන්න රාත්රිය පුරා නිදිවරමින් කාලය ගත කිරීමෙනුයි...
මේ සිදුවීමට ලක් වුන කාන්තාවගෙ ස්වාමියත් රෑට පැල් රකින්නට හේනට යන්නෙ ඇයව ගෙදර තනි කරලා... ඔහු රෑට පැල් රකින්නට ගියත් ඔහුගෙ විශ්වාසය රැක ගෙන මේ කාන්තාව සිය ජීවිතය ගත කලත් ඇගේ නොලැබීම අබියසදි මේ සැමිය නම් වෙනස් වීමට ලක් වෙනවා... ඇයගෙන් දරු සුරතල් බලන්නට නොහැකි වුන ස්වාමියා වෙනත් ආදරයක නැති නම් අනියම් සබදතාවයක පැටලිලා... මේ ගැන දැනෙන කාන්තාවට ඒ පිලිබඳව අහන්නට හිටියෙ එකම එක කෙනයි... ඒ රෑ තතු ගැන හොඳින් දන්න සඳුගෙන් පමනයි...

එබිකම් කරමින් ලෝකය දිහාම බලන් ඉන්න සඳ? පාතට ඇවිත් මට ඇත්තටම දෙයක් කියන්න පුළුවන්ද? මගෙ එක්කෙනා හැමදාම රෑට පැල් රකින්න පැලට යනව, ඒක ඔබත් හොඳින් දන්නවනෙ... කියන්න, එයා පැල් රකින්න ගියාට රෑට හේනෙ ඉන්නෙ නෑ නේද?... ඔහුට ඒ පැල්පතට යන්න එෟය ලබා දෙන්නෙ, ඒ ආදරය ගෙනියන්න උදව් කරන්නෙ ඔබ නේද?... ඒකනෙ වෙනදට මගේ මිදුලට ඇවිත් මගේ තනිකම මකන ඔබත් අද එබිකම් කර කර හොරෙන් බලන්නෙ... වරදක් කල බව දන්න නිසා නේද?...

දරුවෙකු පිලිසිඳ ගන්නෙ නැති පලියට නොයෙක් නම් වලින් අමතන මූනවත් බලන්නවත් අකමැති මිනිසුන් ඇයට උපකාර නොවන බව ඇය දන්න නිසා වෙන්න ඇති ඇගේ දුක කියන්න, තතු දැන ගන්න සොබාදහම තෝර ගන්න
ඇත්තෙ...

සරුසාරෙට වැඩුන, නිල්වන් හේන් යායට එහා තිබුන සුන්දරකමින් අනූන වුන පුංචි කන්ද පාමුල තිබුන පුංචි ගෙදර රෑ පැල වෙනුවට ඇගේ ස්වාමියා තෝර ගෙන තිබුනා... ඒ ගෙදර රෑ මුළුල්ලෙ ලියලපු ආදරේට උදව් කලේ හඳපාන... බලන්න අවාසනාවක මහත, ඇයට සොබා දහමත් විරුද්ධ වෙලා...
ඇනුම්පද වලින් නොනැවතෙන කුරිරු මිනිසුන් වගේමයි සොබාදහමත් එතනින් නොනැවතී ඇයගෙ රිදුන සිත තවත් රිද්දන්නට වුනා... මේ මුළු විස්තරයම ඇයට කියන්නෙ ගිරවෙක්... ගිරවෙක් මේ තතු ඇයට පවසලා නිකන් හිටියෙත් නෑ.. ඔච්චම් කරන්න ගත්තා... මේ ගීතය අපි එක් වෙලා රසවිඳි අවස්තාවක මගෙ යාළුවෙක් හොඳටම සංවේදී වෙලා කල්පනා කර කර ඉඳලා “පුදුමාකාර ගිරවෙක්” කියලා කිව්ව මට අද ත් මතක් වෙනවා... ඔව් ඇත්තටම මහ පුදුමාකාර ගිරවෙක්, ඔච්චම් කලෙත් නිකම්ම ගහක් උඩ වහල එහෙමත් නෙමෙයි වඳ පීදුන කෙසෙල් ගහක වහල.. ඒ ඇයි??? ඒ ඇයගෙ නොලැබීම ගැන ඇයට නොකියාම ඒ ගිරවත් ඇයව ගැරහීමට ලක් කල විදිහ...

හේනට එහා කඳු පාමුල පුංචි පැලේ
ආදර බතට හඳපානලු උදව් කලේ
ගිරවෙක් වහල වඳ පීදුන කෙහෙල් ගහේ
ඒ වග කියා මට ඔච්චම් කෙරුව උදේ...

ඇයව සමාජයත් කුරිරු විදිහට ප්රතික්ෂේප කරනව නම්, ඇය පණ වගේ ආදරය කල ඇගේ ස්වාමියත් ඇයට සෙනෙහසක් නැති ලෙස වෙන අතක යනවනම්, සොබාදහමත් ඇයට විරුද්ධව නම් කටයුතු කරන්නෙ, ඇයට හිත හදා ගන්නව ඇරෙන්න වෙන කුමක්ද කරන්නට හැකි?...

ඇගේ මේ නොලැබීම ඇයත් තේරුම් අරගෙනයි ඉන්නෙ... කෙතරම් සිතට වේදනාවක් වුනත් ඇය සැමියාගෙ සතුට වෙනුවෙන් තම ආදරය පරිත්යාග කරනවා.. බලන්න ඒ සියල්ල කියන්න මේ ගීතය තුළ යොදා ගෙන තියන උපමාත් හරිම අනර්ඝයි... මේ උපමා ආශ්රිතව ඇගේ දුක, ඒ පරිත්යාගය සහ ඇයගේ එකම ප්රාර්තනාව ඔබටම තේරුම් ගන්න ආරාධනා කරනවා...

ලිඳ මොකට ද දිය නැති නම් වැහුනාවේ
තිබහට වතුර ඇති තැනකින් පෙවුනාවේ
කිරි දරු සුවඳ කොතැනින් හරි වින්දාවේ
අහවර නොවන දුක මා ලඟ තිබුනාවේ!!!

ජන ගී ආරක හැඩය ගනිමින් නිම වුන සංගීතය හා උපමා උපමේය වලින් සමන්විත වුන පද ගෙතීමක් හා ඒ කාන්තාවගේ දුක්ක විලාපය ඒ ආකාරයට ම සිත තුළ ජනිත කරවමින් කල විශිෂ්ඨ කටහඬ දායකත්වයකින් යුත් වර්තමානයේ බිහි වෙන අරුත් සුන් ගීත අතර අර්තවත් ගීයක් වුන මෙම ගීතය ප්රසිද්ධියට පත් නොවීම නම් කනගාටුවට කරුනක්..

මිදුලට උඩින් එබිකම් කර බලන සඳ
පාතට ඇවිත් මට ඇත්තම කියනව ද
රෑ පැල් රකින්නට ආවත් ගෙදර ඉඳ
මගෙ එක්කෙනා රෑ හේනේ නෑ නේද..

හේනට එහා කඳු පාමුල පුංචි පැලේ
ආදර බතට හඳපානලු උදව් කලේ
ගිරවෙක් වහල වඳ පීදුන කෙහෙල් ගහේ
ඒ වග කියා මට ඔච්චම් කෙරුව උදේ...

ලිඳ මොකට ද දිය නැති නම් වැහුනාවේ
තිබහට වතුර ඇති තැනකින් පෙවුනාවේ
කිරි දරු සුවඳ කොතැනින් හරි වින්දාවේ
අහවර නොවන දුක මා ලඟ තිබුනාවේ!..

ගායනය: උරේශා රවිහාරී

~~ඉශානි ප්‍රදීපිකා~~

Saturday 13 February 2016

ගෙඩි සියයක් බිම හෙළුවත්

මා බොහොම කැමති දෙයක් තමයි නොදන්නා කෙනෙක් සමග කතාවට වැටීම. මේක ඉතින් අපි ඉස්කෝලෙ
යන කාලෙ නම් හැම කොල්ලට වගේම තිබුන දෙයක්. කොහොම වුනත් මම නොදන්නා කෙනෙක් සමග කතා කර ඔහුගේ හෝ ඇයගේ කතාවට සවන්දීමට ප්‍රිය කරනවා.

මෙහිදී සෑහෙන අද්දැකීම සමුදායක් ලබාගැනීමට හැකියි. වරක් මට මුනගැහෙනවා අවුරුදු අටක පමන ගැහැණු දරුවෙක්. ඇයගේ බාහිර ස්වරූපය මගින් කිසිම දෙයක් උකහා ගන්නට මා සමත් වුයේනෑ. මා ඈ සමග කතාවට වැටුනා. ඇයගේ පාසල් විස්තර පවසා අවසන් වූ පසු පවුලේ විස්තර ගැන ඈ කියවන්නට වුනා. ඇය කිසිම කටකාරකමක් තිබූ තැනැත්තියක් නොවේ. නමුත් ඈගේ කතා විලාශයට අනුව වයසට වඩා පරිණත බවක් පෙන්නුම් කෙරුනා. ඈ පැවසූ ආකාරයට ඇයගේ පියාට ස්ථීර රැකියාවක් තිබුනේ නෑ. කුලී වැඩ මගින් තම දරු පවුල පෝෂණය කරන බවක් තමයි ඈ පැවසුවේ. ඒත් ඇය ඇඳ සිටි ඇඳුම් වලින් ඒ බවක් පෙන්නුම් කෙරුනේ නෑ.

ඉතින් මා විමසන්නට වුනා. ඇයගේ මව සහ පියා දෙදෙනාම කුලී වැඩ කරනා බවත් තම මව මීට අමතරව උදයට කඩවලට ඉඳිආප්ප සාදා විකුනන බවත් ඈ පැවසුවේ සුසුමක්ද පිට කරමින්.

මෙසේ ගොඩනැගුනු සංවාදය ඔස්සේ මාගේ ප්‍රශ්න වලට පිලිතුරු දුන් ඇය මා වෙත ප්‍රශ්නයක් යොමු කලා. 'ඔයා අහල තියෙනවද ගෙඩි සියයක් බිම හෙලුවත් කියන සිංදුව?' මා තරමක් විශ්මයට පත් වුනත් ඒ බව නොපෙන්වා මා එය අසා ඇති බව පැවසූවා. ඇය කතා කරන්නට වුනා. 'අපේ තාත්තත් කුලී වැඩ නැති වෙලාවට ගස්වල ගෙඩි කඩනවා. මමයි නංගියි සමහර වෙලාවට බලන්න යනවා. ඒ සිංදුවේ විදියටම මම නංගිට ඇස් වහගන්න කියනවා. එයා බයයි' මෙසේ ඈ ඒ සිදිධි දාමය පවසන්නට වුනා. ඇයගේ කතාවෙන් මට තේරුම් ගිය දෙයක් තමයි ඇගේ දෙමාපියන් එතරම් අමාරුවෙන් ජීවිතය ගැටගහ ගනිද්දී තම දරුවන්ට අග හිඟ කම් දැනෙන්නට දී නැතිබව. නමුත් ජීවිතයේ යතාර්ථය හොඳින් තේරුම් කර දී ඇති අයුරුද පෙන්නුම් කෙරෙනවා ඇයගේ වාග් විලාශය තුල.

මේ සිද්ධිය නිසා මට නන්දා මාලනියගේ 'ගෙඩි සියයක් බිම හෙලුවත්' ගීතය ඔබ වෙත රැගෙන එන්නට සිතුනා.

පවුලක පළමු දරුවා ගැහැණු දරුවෙකු නම් ඇය තමාගේ බාල සහෝදර සහෝදරියන් වගකීමකින් යුතුව රැක බලාගැනීමට පෙලඹෙන්නේ නිතැතින්. බොහෝ විට මවගේ අවවාද මගින් මෙය තීව්‍ර කෙරෙනවා. මේ ගීතයේ කතා නායිකාවත් එවැනි තැනැත්තියක්. තම බාල නැගණියට පියාගේ රක්ෂාව පිළිබඳ යම් අවබෝධයක් ලබාදීමට ඈ කටයුතු කරන්නීය.

මේ පොල් කැඩීමේ රක්ෂාව අමුතුම ගනයේ එකකි. එක් එක් පළාත්වල මෙය සිදුවන ආකාරය වෙනස්ය. කුලී මුදලද සමග ගස් ගනනට පොල් ගෙඩි ලබාගැනීමක් සමහර ප්‍රදේශ වල සිදු කරයි. නමුත් සමහර පැති වල කුලී මුදල ලැබ්න්නේ නැත. ඔහු ගෙඩි කඩනා ගස් වලට අනුව පොල් ගෙඩි පමනක් හිමිවේ. මේ අතර මා මතකයට නැගෙන්නේ ජංගම දුරකථනයක් පවා ලඟ තබාගෙන ගෙඩි කඩනා මිනිසෙක් පිලිබඳවය. ඉතින් මේ කොහොම වුනත් ගීතයට අනුව මේ දැරිවියගේ පියාට ගෙඩි කැඩීමෙන් කුලියක් ලැබෙන්නේ නැත. ලැබෙන්නේ ඉතාම සීමිත පොල් ගෙඩි ගනනකි. ඒ ගෙඩි හන්දියේ කඩයට විකුණා ඔහු මුදලක් උපයාගනී. මෙහිදී තමන් ගෙවන ජීවිතයේ දරිද්‍රතාවය පැවසීමට අපූරු යෙදුමක් යොදාගනී. 'පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ' මෙය ඉතාම ලස්සන මෙන්ම අර්ථවත් ව්යන්ගාර්තයකි.

තම අප්පච්චී ගසට නැගුන විට හමන සුලඟ මදනලක් නොවේ. මුරණ්ඩු වූ සුලඟකි. එයින් රචකයා ජීවිතය ගෙනයාමට ඇති දුෂ්කරතාවය මනාව ගෙනහැරපායි. එහිදී තම නංගී හට ඈ පවසන්නේ හයියෙන් හුස්ම ගන්න එපා යනුවෙනි. එයින් රචකයා අදහස් කරන්නේ මේ දරිද්‍රතාවය වෙනුවෙන් සටන් වදින අප්පච්චී හට දරුවන් දක්වන සෙනෙහස මෙන්ම ඔහුහේ දිරිය පහතට නොදැමීමට කටයුතු කරන්නට නංගී හට උපදෙස් දෙන ආකාරයයි.

අප්පච්චී කරනා සටන සුලුපටු නැත. පොල් ගස් ඉතා උසින් යුක්ත ඒවාය. පියෙන් පියට ඉහලට යනවිට ඇති අවදානමද වැඩිය. තමන් රැකුමට මේ අප්පච්චී කරනා දේ කෙතරම් අවදානම්ද යන්න ඈ නොදන්නවා නොවේ. ඈ බියවන්නේ ඒ නිසාවෙනි. තම නැගණියත් මෙසේ බියවීමට ඉඩ ඇති බව දන්නා ඇය තමාගේ අත්දැකීම් මගින් එය තරමකට හෝ සමනය කරගත හැකි මගක් පවසන්නීය.
'පුංචි දෑස තදින් පියාගන්න නංගියේ..
මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ...'

දුප්පත්කම උරුම කරගත් පවුලක් ගොඩගැනීමට තම අප්පච්චී හෙලනා දහඩිය කඳුලු වල වටිනාකම දන්නා දුවණියක් තම නැගණියට කෙමෙන් ඒ පිළිබඳව කියාදෙන අයුරු කෙතරම් අපූරුද? සමන් ප්‍රියදර්ශනගේ මේ පද පබැඳුම ඉතාම විශිෂ්ට ගනයේලා සැලකිය හැකිය. ඒ වගේම ආනන්ද ගමගේගේ සංගීතය මෙහි ගී අලංකාරය වැඩි කිරීමට සමත්වී ඇත.

තම දෙමාපියන් මහන්සියෙන් උපයනාදේ කාබාසිනියා කර දමනා දරුවන් අතර මේ දැරිවිය සම්පතකි.

~~තේජන අබේදීර~~


ගෙඩි සියයක් බිම හෙළුවත්
අපප්චිට එක ගෙඩියයි...//
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ..
පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ..//

ගස් සොලවා හමා ඇදෙන
සුළඟ තවත් මුරණ්ඩු වෙයි
හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ
අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ...

ගෙඩි සියයක්...//

පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියාගන්න නංගියේ..
මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ...

ගෙඩි සියයක්...//

ගායනය : නන්දා මාලිනී
පද රචනය : සමන් ප්‍රියදර්ශන
සංගීතය : ආනන්ද ගමගේ


Friday 12 February 2016

Britney Spears – Criminal

 Britney Spears ව ඔබ කවුරුත් දන්නවාට සැකයක් නෑ. නමුත් නොදන්නා අය සඳහා ඇය පිලිබඳව පොඩි
සටහනක් තබන්නම්. ඇය අමෙරිකානු ගායිකාවක් වගේම නිලියක්. ඇය වැඩිමනත් දක්නට ලැබෙන්නේ ගායිකාවක් විදියට. 1981 වර්ශයේ මෙලොව එලිය දුටු ඇය 1992 දී ගායන ලෝකයට පිවිසෙනවා. නමුත් ගායන ලොවට පැමිනෙන්නට මත්තෙන් ඇය ළමා නිලියක් ලෙස රංගනයට දායක වුනු බව සටහන්. 1999 දී එලි දැක්වෙන 'Baby One More Time' සහ 2000 දී එලි දැක්වෙන 'Oops!... I Did It Again' ගීත ඇල්බම ඉතාම සාර්තකත්වයට පත්වීමත් සමගම ජාත්යන්තරය පවා ඇය දෙස ඕනෑකමකින් බැලූ අයුරුමතකයට නැගේ.
මැයගේ ගායන දක්ෂතාවය මනාවට පිලිබිඹු වන්නේ අට වතාවක් 'Grammy Awards' සඳහා නිර්දේශ වීමත් ඉන් එක් වතාවක් (2005) එය දිනා ගැනීමත් යන කරුණු සමගය. මීට අමතරව ඇය American Music Awards, Bambi Awards, Billboard Music Awards, Glamour Awards ඇතුලු සම්මාන රාශියක් දිනාගෙන ඇත. 

ඉතින් මම ඔබ වෙත ගෙන එන්නේ ගේ අමුතුම ආකාරයේ ගීතයක්. ආදරය කියනදේ කොයි මොහොතේ කොතැනකදී ඇතිවෙයිද කියල කියන්න බෑ. මොකද ඒ තරමටම අමුතුම දෙයක් තමයි ආදරය කියන්නේ. තමා අනාගතයේ ආදරය කරන කෙනා බොහෝ දෙනා සිතෙන් මවාගෙන සිටියත් ඔහු හෝ ඇය කවරෙකු වෙයිද කියා තබන පෙරනිමිති බොහෝ වෙලාවට වරදින අවස්ථා වැඩියි. සමහර විටක ආදරය කියනදේ ක්ෂනිකව ඇති වෙන්නට පුලුවන්. පුද්ගලයාගේ පසුබිම ආදිය පිලිබඳවත් තැකීමක් නොකරන තරමට මේ ආදරය මුහුකුරා යන්නට ඕනෑ තරම් ඉඩ තිබෙනවා.

ඉතින් මේ ගීතයේදී Britney ටත් වෙන්නේ අන්න ඒ වගේ දෙයක්. ඇය ආලයෙන් බැඳෙන පුද්ගලයා දාමරිකයෙක්. ඇයගේ මව මේ සම්බන්දයට දැඩි ලෙස විරුද්ධයි. නමුත් ඈ ඇගේ සිතේ ඇතිදේ තම මවට කියාපාන අයුරු තමයි මේ ගීතයෙන් කියැවෙන්නේ.
අම්මේ ඔහු මංකොල්ලකරුවෙක්, ඔහුගේ කිසිම හොඳක් නෑ. ඔහු තුවක්කුව අතින් ගත් පරාජිතයෙක්. ඔහු බොරුකාරයෙක් ඒ වගේම මිනිසුන් රවටන්නෙක්, ඔහුව කිසිසේත්ම විශ්වාස කල නොහැකියි. ඔහු ගිනි අවිය අතගත්, මිනිසුන්ගේ සාරය උරාබොන්නෙක්. මම දන්නවා ඇයි ඔබ මට ඔහුගෙන් ඈත්වෙලා ඉන්න කිව්වේ කියලා. මම දන්නවා ඔබ ඔහු වැරදි මාර්ගයේ යන බල්ලෙක් ලෙස හැඳින්වුවේ ඇයි කියලා. අම්මේ ඔහු ඉතාම නරක ළමයෙක් දූෂණයවූ හදවතක් තිබෙන. ඉතින් අම්මේ මම හොඳාකාරවම දන්නවා මගේ මේ තීරණය බුද්ධිමත් එකක් නොවන වග.

ඒත් අම්මේ මම මේ දාමරිකයත් එක්ක පෙමින් බැඳිලා ඉවරයි. මේ වගේ ආදරයක කිසිම තාර්කික බවක් නෑ, එහි තිබෙන්නේ භෞතික එහෙම නැත්නම් ශාරීරික බැඳීමක් බැඳීමක්. අම්මේ ඔබ හඬන්නට එපා. ඔක්කොම හරියයි. මට වරදක් වෙන එකක් නෑ. ඔහු ගැන මේ නරක කතා සියල්ලම තිබුනත් මට ප්‍රතික්ෂේප කරන්නට බෑ මම ඔහුට ආදරේ කරන බව. ඇත්තෙන්ම මම ඔහුට ආදරෙයි....

යක්ෂයාගේ නීතියෙන් ඔහු තක්කඩියෙක්, දුෂ්ටයෙක්. ඔහු හුදෙක් විනෝදය සඳහා මිනී මරන්නෙක්. ඔහු සොරෙක් ඒ වගේම ඔහුගේ ඉදිරිය ගැන විශ්වාසයක් තැබිය නොහැකියි. ඔහුට හෘද සාක්ෂියක් ඇත්තේම නෑ. මම දන්නා විදියට ඔහුට යන්නට ඉඩ හැරිය යුතුයි. නමුත් ඒක කරන්න බෑ....මොකද මම ඔහු සමග ආලයෙන් වෙලිලා...

ඔහු මගෙ නම ඔහුගේ අතේ කොටාගෙන මාව වසඟයට පත්කරගෙන. ඉතින් මම හිතන්නේ ඔහු මට හොඳයි. මට ඔහු සමග ඉන්න පුලුවන්. මට ඇහෙනවා මිනිස්සු කියන සමහර දේවල්. ඔවුන් හදන්නේ ඔහුගේ වැරදි කියා අපව වෙන් කරන්න. මම ඒවා ඇහුනේ නැති ගානට ඉන්නවා. මම ඒවා සත පහකට ගනන් ගන්නෙත් නෑ.  මොකද අම්මේ, මම මේ දාමරිකයත් එක්ක පෙමින් බැඳිලා ඉවරයි. මේ වගේ ආදරයක කිසිම තාර්කික බවක් නෑ, එහි තිබෙන්නේ භෞතික එහෙම නැත්නම් ශාරීරික බැඳීමක් බැඳීමක්. අම්මේ ඔබ හඬන්නට එපා. ඔක්කොම හරියයි. මට වරදක් වෙන එකක් නෑ. ඔහු ගැන මේ නරක කතා සියල්ලම තිබුනත් මට ප්‍රතික්ෂේප කරන්නට බෑ මම ඔහුට ආදරේ කරන බව. ඇත්තෙන්ම මම ඔහුට ආදරෙයි....

බලන්න කොතරම් වෙනස් ආදර කතාවක්ද කියලා. මට මතක් වෙනවා වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයේ ලියලා තිබෙන වැකියක්. 'සිරකරුවෝ මනුෂ්යයෝය'
මේ වැකියේ කොතරම් ඇත්තක් තිබෙනවාද කියලා වැටහුනේ ස්වර්ණවාහිනියෙන් පෝදා බන්ධනාගාර තුල සිට කල වැඩසටහන් වලදී සහ සිරකරුවන්ගේ කතා ඔහුන්ගේ මුවින්ම අසන විටදී. 

ඉතින් මේ ගීතයේ කියැවෙන අන්දමට මේ ගැහැණු ළමයා තම ආදරවන්තයාගේ සියලුම නරක වැඩ හොඳාකාඅරවම දන්නා නමුත් ඔහුට ආලය කරන්නට පෙළබෙනවා. එය අන්ධ ආදරයක්දැයි කියන්නට මා අසමත්. නමුත් ඒ දාමරිකයා තුලින් වුවත් ඇය පතනා සුන්දර මිනිසා එලියට ගන්නට ඇය සමත් වී තිබෙනවා. ඔහු සුන්දර මිනිසෙකු වෙන්නේ ඇයට පමනක්මැයි. 

එය තමා ආදරයේ ඇති චමත්කාරය. ආදරය ඉදිරියේ කොපමන දේවල් අමතක කල හැකිද? කොපමන දේවල් මග හැරිය හැකිද? එසේනම් ආදරය යනු දෙදෙනෙකු බැඳීමෙන් ඇතිකර ගන්නා ආත්ම තෘප්තිය නොවේද?

මෙහිදී මට කතා කල යුතුව තිබුනේ ආදරය ගැන පමනක් බව සිහි එලවා ගනු මැනවි. එයින් සිදුවන සමාජ පරිහානිය හෝ වෙනයම් දෙයක් ගැන කතා කිරීමට මා බලාපොරොත්තු නොවෙමි. හුදෙක් ආදරයේ එක් පැතිකඩක් ඔබ හමුවේ ගෙනහැර පෑම පමනකි මම සිදු කලේ.....

~~තේජන අබේදීර~~

He is a hustler, he's no good at all
He is a loser, he's a bum, bum, bum, bum
He lies, he bluffs, he's unreliable
He is a sucker with a gun, gun, gun, gun
I know you told me I should stay away
I know you said he's just a dog astray
He is a bad boy with a tainted heart
And even I know this ain't smart

But mama I'm in love with a criminal
And this type of love isn't rational, it's physical
Mama please don't cry, I will be alright
All reason aside I just can't deny, I love the guy

He is a villain by the devil's law
He is a killer just for fun, fun, fun, fun
That man's a snitch and unpredictable
He's got no conscience, he got none, none, none, none
All I know, should've let go, but no
'Cause he's a bad boy with a tainted heart
And even I know this ain't smart

But mama I'm in love with a criminal
And this type of love isn't rational, it's physical
Mama please don't cry, I will be alright
All reason aside I just can't deny, I love that guy

And he's got my name,
Tattooed on his arm his lucky charm
So I guess it's okay he's with me
And I hear people talk
Trying to make remarks keep us apart
But I don't even hear
I don't care

'Cause mama I'm in love with a criminal
And this type of love isn't rational, it's physical
Mama please don't cry, I will be alright
All reason aside I just can't deny, I love the guy

Mama I'm in love with a criminal
And this type of love isn't rational, it's physical
Mama please don't cry, I will be alright
All reason aside I just can't deny, I love the guy

Britney Spears
written and produced by Max Martin and Shellback, with additional writing by Tiffany Amber




Thursday 11 February 2016

කළිඳු ගංගා දෙණියේ වන තීරේ

තරුණ සේවා සභාවෙන් බිහි වුන ගායක ගායිකාවන් අතරින් චන්ද්‍රලේකා පෙරේරාට හිමි වන්නේ සුවිශේෂී
ස්ථානයක්. ඇයටම ආවේණික වූ නාසික්‍ය හඬ එයට ප්‍රධානම හේතුවක් ලෙස සැලකිය හැකියි. ඇය ගායනා කරන ලද ගීත සියල්ලම වාගේ රසික සිත් ආමන්ත්‍රණය කරන ගීත. මේ ගීතයත් ඇයගේ අනෙක් ගීත වගේම ඉතාම ජනප්‍රිය ගීතයක්.

අමරණීය ප්‍රේම කතා අපි කොතෙකුත් අහලා ඇති. ඒ අතරින් රාමා - සීතා, රාධා - ක්‍රිෂ්ණා, සාලිය - අශෝකමාලා, දීඝගාමිණී - උන්මාද චිත්‍රා, රෝමියෝ - ජුලියට්, ලයිලා - මජ්නු වැනි කතා ඉතාම ජනප්‍රියයි. මේ ගීතයෙන් කියවෙන්නෙත් ඒ වගේ පෙම් යුවළක් ගැන. ඒ තමයි, රාධා - ක්‍රිෂ්ණා. පුරා වෘත්තයන්හි සඳහන් පරිදි ක්‍රිෂ්ණා යනු සෙල්ලක්කාර චරිතයක්. ගෝපිකාංගනාවන් සමඟ වෘන්දා වනයේ කෙළිදෙලෙන් ගත කරන්න තමයි ඔහු වඩාත්ම ප්‍රිය කරලා තියෙන්නේ. අපි මුළින් බලමු මේ ක්‍රිෂ්ණා කියන්නේ කවුද කියලා.

ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ දස අවතාරයන්ගෙන් අටවන අවතාරය ලෙස ක්‍රිෂ්ණා දෙවියන්ව හඳුන්වනවා. ක්‍රිෂ්ණා බිහිවන්නේ දේවකී සහ වාසුදේව යන දෙපළටයි. දේවකීගේ 8වන දරුවා වන ක්‍රිෂ්ණා මැරීමට දේවකීගේ සහෝදරයා වන කම්සා නම් රජු තීරණය කරන්නේ දෛවඥයන්ගේ කීමටයි. මෙයින් කලබල වන දේවකී සහ වාසුදේව ක්‍රිෂ්ණාව කැලයට පිටමං කරනු ලබනවා. එතැන් සිට ඔහු හැදී වැඩෙන්නේ නන්ද සහ යශෝධා යන ගොපළු දෙමව්පියන් යටතේයි. යශෝධා ක්‍රිෂ්ණාට බොහෝ සේ ප්‍රේම කරනවා. ක්‍රිෂ්ණාද වයසින් වැඩෙන විට ගොපල්ලෙක් බවට පත් වන අතරම ඔහුගේ දක්ෂකම නිසාම ඔහු වෘන්දාවනයේ මිනිසුන්ගේ ආරක්ෂකයා බවටද පත් වෙනවා. බටනලා වාදනයේ සමතෙකු වූ ක්‍රිෂ්ණා යමුනා නදිය අසබඩ බටනලා වාදනය කිරීම සිදු කර ඇත.

ඔහුගේ තරුණ වියේදී රාධා ඇතුළු ගෝපිකාංගනාවන් සමඟ නර්තනයේ වාදනයේ යෙදීම භගවත් පුරාණයේ සහ ගීත ගෝවින්දයේ "Rasa Lila" ලෙස හඳුන්වනු ලබනවා. එහි සඳහන් පරිදි ක්‍රිෂ්ණාගේ බටනලා වාදනය ඇසුනු සැනින් තමන්ගේ සියළු වැඩ නවතා පැමිණෙන්නට ගෝපිකාංගනාවන් පුරුදු වී තිබෙනවා. ලංකාවේ ගීත සඳහා මේ කොටස බොහෝ සේ යොදාගෙන ඇති බව දකින්නට තිබෙනවා.

මේ ගීතය තුළ කියවෙන්නේද ක්‍රිෂ්ණාගේ සෙල්ලක්කාර ක්‍රියාවන් පිළිබඳවයි. රාධා විසින් තමන්ගේ දුක ප්‍රකාශ කරා අවස්ථාවක් ලෙස ගත හැකි.

කළිඳු ගංගා දෙණියේ වන තීරේ
ගෝවින්ද කොතැන සැඟවුනිද මට නොතේරේ
පියතුමනි නන්ද හා කොහෙද ඔබේ පුතනු
මා ඔහුගේ ප්‍රියාවය සැඟවුණු තැන කියනු

කළිඳු ගංගාව ලෙස හඳුනවන්නේද යමුනා ගඟ බවයි මගේ මතකය නම්. (හරියටම මතක කෙනෙක් ඉන්නවනම් කියන්න) රාධා ක්‍රිෂ්ණාව සොයනවා. ඇය ගඟ අසබඩත්, වෘන්දා වනයේත් හැම තැනම් හොයනවා ඒත් ඇයට ඔහු හොයා ගන්න බැහැ. ඔහු කොහේ සැඟවී සිටිනවද කියලා ඇයට තේරෙන්නේ නැහැ. ඇය අවසානයේ නන්ද පියතුමාගෙන් අහනවා. මට ඔයාගෙ පුතා සැඟවුන තැන කියන්න. මොකද මමයි ඔහුගේ ආදරවන්තිය.මමයි ඔහුගේ ප්‍රේමය. මට කියන්න ඔහු සැඟවුන තැන. අවසානයේ ඇය නන්දටත් අණ කරන ආකාරයක් ගීතයේ දැක්වෙනවා.

පළුපත් යහනකි මේ ඔහු සැතපුන
ඔහුගේ සිරුරේ සුවඳයි මේ
ළඳකගේ මිණි කොඬොලේ සුන්බුන් මේ
හා හා බැඳුණිද කාමිනියක හා

ඇය මෙසේ ඔහුව සොයාගෙන යනවා. වනය තුළට යද්දි ඇයට හමුවෙනවා යහනාවක් ලෙස සැදුව තැනක්. ඇයට එයින් එන්නේ ක්‍රිෂ්ණාගේ සුගන්ධය. කොළ වලින් සැදූ මේ යහනාවේ එන්නේ ඔහුගේ සුවඳයි. ඔහු මෙතනට සැතපිලා තියනවා. ටිකක් ප්‍රවේසමෙන් බලනකොට ඇයට දකින්නට ලැබෙනවා ආභරණයක සුන් බුන්. ඇය තේරුම් ගන්නවා තවත් ගෝපිකාංගනාවක් සමඟ ඔහු මෙහි යහන් ගත වී ඇති බව. නමුත් සිතෙහි තිබෙන කෝපය නිසාම ඇය ගෝපිකාංගනාව කාමිනිය ලෙස නම් කරනවා. කාමිනිය වෛශ්‍යාව හා සමාන ස්ත්‍රියක්. රාධා ක්‍රිෂ්ණාට බොහෝ සේ ප්‍රේමකරන්නියක්. ඒ නිසාම ඔහුට වෙන කාන්තාවන් ලං වෙනවට ඇයගේ සිතෙහි කැමැත්තක් නැහැ. නමුත් නිරන්තරයෙන්ම ඇයගේ උත්සහයම ව්‍යර්ථ වනවා.

නිල් දිය පොකුණකි මේ ඔහු කිමිදුනු
ඔහුගේ සිරුරේ සිහිලයි මේ
ළඳකගේ මිණි මෙවුලේ මුතු කැට මේ
හා හා බැඳුණිද කාමිනියක හා

මේ විදියට ඇය වනයේ තවත් ඉදිරියට යනවා ඔහුව සොයාගෙන. ඒ යනවිට ඇය පොකුණක් අසල දක්නට ලැබෙනවා තවත් ආභරණයකින් ගිලිහුනු මුතු කැට. පොකුණට බැස බැලූ විට එයින් එන සිසිල ක්‍රිෂ්ණාගේ ශරීරයේ සිසිලට සමාන බව ඇයට දැනෙනවා. ඇය තේරුම් ගන්නවා ඔහු මේ පොකුණ අසලදි තවත් කාන්තාවක් සමඟ ස්නානය කර ඇති බව. එතනදිත් ඇය අහනවා ඔබ තවත් කාමිනියක් හා මෙතන්දි එකතු වුනාද.

රාධාගේ ආදරය, දුක තරහ හොඳින් පිළිඹිබු කල ගීතයක් ලෙස මෙය හැඳින්විය හැකියි. මූලාශ්‍රයන්හි සඳහන් වන පරිදි රාධා ක්‍රිෂ්ණාගේ සෑම ඉරියව්වක්ම හොඳින් තේරුම් ගත් තැනත්තියක්. උත්‍තර භාරතීය සංගීතය ආභාෂ කරගනිමින් ඉතා අලංකාර ලෙස මෙම ගීතයේ සංගීතය නිර්මාණය කර තිබෙන්නේ රෝහණ වීරසිංහයන් විසින්. ගේය පද මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙන්. මේ ගීතය ශ්‍රවණය කරන වාරයක් පාසා චිත්ත රූප මැවෙන ලෙස ගායනය, පබැඳුම, සංගීත නිර්මාණය සිදු වී තිබීම විශේෂත්වයක්.

~ අකූ ~


රුක් අත්තන මල මුදුනේ

රුක් අත්තන මල මුදුනේ - බඹරු නටන හැන්දෑවේ
සැඳෑ අඳුර පියමං කර
කවුරුද එන්නේ - පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ.............


මුතු පිනි දැල් සැලෙන උදේ - උදා දිමුතු හිරු එළියේ
පුතු සවනට රහස් කියා - පියමං කරලා..................
අප වෙනුවෙන් දවස ගෙවා
වෙහෙසී එන්නේ..................

පතොක් වැටිය උඩින් වැටී - දිවයුරු මියයන මොහොතේ
පුරා හඳක් සේ ඈතින් - කවුරුද එන්නේ.........................
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ.............

ගායනය හ සංගීතය: විශාරද නන්දා මාලනී
පද රචනය: මහින්ද අල්ගම

රුක් අත්තන මල මුදුනේ සින්දුව සිනමා සිත්තමක් වගේ අපූරු රූප පෙලක් අපේ හිතේ මවනවා. මේ සින්දුව ගැන අපේ විචාරකයින්ගෙ කියවීම මදි කියලත් මට දැනෙනව.
පොඩි දරුවන්ට මේක පිය සෙනෙහස ගැන කියාදෙන සින්දුවක් උනාට වැඩිහිටියන්ට මේක වෙනත් ආරක සින්දුවක් වෙනවා.

හවසට පාර දිහා බලාගෙන, දරුවත් උකුලෙ රඳවගෙන, මේ අම්ම වචනවලට පෙරලන්නෙ දරුවගේ උවමනාව නෙමේ කියල හොඳින් පද කියෙව්වොත් වැටහේවි.
මේ බිරිඳගේ, සතුටින් පොපියමින් නටන හිත අපුරුවට පද වලින් සිත්තමක් වගේ මවල තියනව.ඒකට හරියන්නම සංගීතයත් අපුරුවට සපයල තියනව.
රුක් අත්තන මලේ සුවඳ විහිදෙන්නෙ හවසට.ඈතක ගිහින් හිටිය බඹරු ඔන්න දැන් මල වටා රඟ දෙනවා.මේ රුක්අත්තන මල තමන් නම්, අර ඈතින් ඔහු එන්නෙ මලේ සුවඳ හොයාගෙන නේද කියල ඇයට හිතෙනව.
පලවෙනි අන්තරා කොටසින් අපූරු සැඟවුන කතාවක් කියනව.

"මුතු පිනි දැල් සැලෙන උදේ - උදා දිමුතු හිරු එළියේ" කියල මෙයා වර්ණනා කරන්නෙ බොහොම ප්‍රබෝධමත් උදෑසනක් ගැන.මේ උදෑසන මෙහෙම ප්‍රබෝධයෙන් තියෙන්නෙ කලින් රාත්‍රිය සතුටින් ගෙවුන හින්ද.ඒ සතුට තමන්ට විතරක් නෙමේ ඔහුටත් ඒ වගේම දැනෙනව.ඒක නිසා තමයි නින්දෙ ඉන්න දරුව ඇහැරවන්නෙ නැතුවම මොනවද මුමුනල හාදුවක් දිල පිටවෙන්නෙ.
පතොක් කියන්නෙ වතුර ගොඩක් රඳවගත්ත ශුෂ්ක තැන්වල උනත් හැදෙන රළු ශාකයක්.මේ පවුලෙ අග හිඟකම් තමයි ඒ පද වලින් කියල තියෙන්නෙ.හැබැයි දවස අවසානයෙ ස්වාමියගෙ දර්ශනය මේ ඔක්කොම දේවල් අමතක කරනව.හරියට සිසිල ගෙනෙන හඳ වගේ.

ආදරය,සෙනෙහස කියල කියන්නෙ නැතිබැරිකම් එක්ක සමාන්තර ගමනකට එකතු නොවන දෙයක් බව අල්ගම මහත්තය කියල තියනව.
අපේ රටේ සදාකාලික නිර්මාණ අතලොස්ස අතරෙ මේ සින්දුවත් හැමදාම තියේවි.

~~දුල්ෂාන් චමින්~~



ඔසරි පොටින් අදින්නෙපා වලාකුළයි ඉරෙන්නේ..

ඔසරි පොටින් අදින්නෙපා වලාකුළයි ඉරෙන්නේ..
රිදී පොටින් අදින්නෙපා තරු දෙපොටයි කැඩෙන්නේ..
මුණට මගෙ එබෙන්නෙපා සඳ එළියයි නිමෙන්නේ..
හැමදාමත් ඔච්චම් නෑ ඕලු විලට පනින්නේ..


ඔසරිය ගෙදරටත් ඇඳගෙන ඉන්නෙ ගමේ යමක් කමක් තියන පවුල්වල උදවිය.මේ සින්දුවෙ ඉන්නෙත් එහෙම කෙනෙක්.
හුඟක් ප්‍රේමවන්තයො වගේ මේ ප්‍රේමවන්තයත් කරන්නෙ තමන්ගෙ ප්‍රෙමවන්තිට එහෙන් මෙහෙන් ඇදල උසුළු විසුළු කරන එක. හැබැයි මේ ප්‍රෙමවන්ති කියන්නෙ ඒවට එන්න එපා කියල. ඇත්තටම කියනවනම් එයා කියන්නෙ පොඩි පොඩි දේවල් කරන්න එන්න එපා, මම මෙච්චර කල් ඉවසුව ඇති ලොකු ලොකු දේවල් වෙන්න පුළුවන් කියලයි. මෙයා කියනව වැඩිය මූණට කිට්ටු වෙන්න එපා මට කිසිම දෙයක් පේන්නෙ නැතුව යයි ඊට පස්සෙ මොනව වෙයිද දන්නෙ නෑ කියල.ඒකයි "මුණට මගෙ එබෙන්නෙපා සඳ එළියයි නිමෙන්නේ" කියල කිව්වෙ.
හැමදාම ඔච්චම් කරල තේරුමක් නැහැ කියලත් කියනව.එහෙම උනොත් අවසාන කාරණය දක්වා යන්න සිද්ද වෙයි කියල අනතුරු ඇඟවිමකුත් කරනව ඒ මෙහෙමයි.
"හැමදාමත් ඔච්චම් නෑ ඕලු විලට පනින්නේ"
හැබැයි ඕලු විලට මේ ප්‍රෙමවන්තය එක්කම පනිනව කියල කියන්නෙ නෑ. සමහරවිට වෙන කෙනෙක් එක්ක වෙන්නත් පුළුවන්.

පෙතං කැලේ වලි කුකුලෝ මට පෙනි පෙනී නටනවා..
අත්තන මල මං දැකලා බඹර තුඩේ වෙලෙනවා..
බිනර මහට කළුවර දී මේ පෝයත් ගෙවෙනවා..
උසුළු විසුළු කලා නොවේ අපි වෙනතක් බලනවා..

වලි කුකුළා කියන්නෙ සෝබනේට උජාරුවට ඉන්න සතෙක්.වලි කුකුල්ලු කිකිලියො වෙනුවෙන් මරණය දක්වාම සටන් කරනව.මේ ප්‍රේමවන්ති කියනව වලි කුකුලො වගේ ඉලන්දාරි රෑනක්ම එයාගෙ හිත ගන්න කැරකෙනව කියල.
ඊළඟ පද පේලියෙන් ලූෂන් බුලත්සිංහලයන් අපූරු කතාවක් කියනව.
"අත්තන මල මං දැකලා බඹර තුඩේ වෙලෙනවා"
අත්තන කැවුනොත් උමතු වෙනව. මේ ප්‍රේමවන්ති කියනව බඹරෙක් අත්තන මලක රොන් ගන්නව දැක්කලු.මේකෙන් කියන්නෙ මෙයාගෙ හිතේ කැකෑරෙන ආසාව.ප්‍රේමවන්තය එක්ක බැඳෙන්න තියන උමතුව.හැබැයි මේ ප්‍රෙමවන්තය එච්චර දුර යන්නෙ නෑ.මේ ප්‍රේමවන්තයට බහ දුන්න දා ඉඳන් කළුවරක් වගේ දැනෙන්නෙ ඒකයි.මෙයාව අවුස්සල නිකන් ඉන්නව.ටිකෙන් ටික කාලෙ යනව.කැන්දගෙන යන්නෙ නැතුන වටෙන් ගොඩෙන් දැවටෙන එක එපා වෙලා.ඒක කෙරෙන්නෙ නැත්නම් වෙන අතක් බලන බව මෙයා කියනව.

පට සළු පිළි කසී රටේ වෙල පෙති දිගේ වඩිනවා..
මාල වලලු අපට ගෙනා තරු අතර දිලෙනවා..
ගමේ කොමට බහ දීලා ගමේ කතා හැදෙනවා..
උසුළු විසුළු කලා නොවේ අපි වෙනතක් බලනවා..

රටේ තොටේ ඕන තරම් සල්ලිකාර ඈයො,කුලවන්තයො මෙයාගෙ අත පතාගෙන වඩින බව මෙයා කියනව.සැප සම්පත් ඕනැනම් ඒ කෙනෙක්ට බහ දෙන එක විතරයි මෙයාට තියෙන්නෙ.
ඒ හින්ද මාව බලන්න එනකොට මාල,වලලු ගේන්න එපා තේරුමක් නැහැ කියල කියනව.උඹ ගෙනාපුව මම අන්න විසිකරල දැම්ම අන්න ඒව අනිත්ව එක්කම ඔහේ ඇති කියල කියනව.ඒ මෙහෙමයි
"මාල වලලු අපට ගෙනා තරු අතර දිලෙනවා"
වචනෙ දීල කතා හදාගත්ත එක විතරයි මට ඕන දේ කෙරුනෙ නෑ කියලත් කියනව.තවත් ඉවසන්න නම් බැහැ කියල අන්තිමට මේ ප්‍රේමවන්ති කියනව.
ලූෂන් බුලත්සිංහලයන් පෙළහර පාපු සින්දුවක් මේක.
මේ ප්‍රේමවන්තිගෙ "සංවර නොඉවසිල්ල " අපූරුවට කපුගේ ශූරීන් නාද සිත්තම් කරල තියනව.
ඒක අපූරුවට නන්දා මාලනියන් ගායනයෙන් සිත්තම් කරල තියනව.

~~දුල්ෂාන් චමින්~~


දර මිටි බැඳගෙන නියඟය අවුලා

දර මිටි බැඳගෙන නියඟය අවුලා
සූරිය දෙවියෝ වැඩ ඉන්නේ
වැවට දිරා ගිය කඳ උඩ හිටගෙන
කොකුනේ කාටද හිනැහෙන්නේ

දෝතින් බොන්නට දියට නැමී
කෙකටිය ගාලෙන් ඉගිලෙනවා
හඳපානට නිකිණි මලේ
වැව් ඉස්මත්තේ හැංඟෙනවා

අහස පිහින්නට ඉපල තනා
ගහකොළ දළු මල් දන් දෙනවා
කුරහන් අහුරක සුවඳ අගේ
සිඟිති පැටව් දැක සිහිවෙනවා

ගායනය: සුනිල් එදිරිසිංහ

නියඟයක් ආවම මොකද වෙන්නේ.මේ ගීතය මගින් කියවෙන්නේ එවැනි වටපිටාවක් ගැන..
සූරිය දෙවියන් ඔහුගේ ආදිපත්‍යය හැම තැනම පතුරුවාගෙන..දෙරණ ගිනියම් වෙලා..පරිසරය උණුසුම් වෙලා..හිරුගේ අණසකට හැමදේම යටත් වෙලා..වැව්, පොකුණු වල වතුර අඩු වෙන්න පටන් අරන්..වතුර හිදෙන්නට පටන් ගත්තම මාළුන් තම ආහාරය කර ගන්නා කොකුන් වැනි සියොතුන්ට නම් සතුටු ඇති..මේ ගීතයේ රචකයා දකින්නේ කොකුන් වැව දෙස බලාන හිනාවෙනවා වගේ.

ලොව සුන්දකර කරනා නෙක වර්ණයන්ගේ පුෂ්පයන්ට වෙනදා වගේ තම කාර්යය ඉටු කරන්නට අවස්ථාවක් නෑ.හිරු රශ්මියට බියේ ඔවුන් හැoගිලා..තුරුලතාවෝ ඉපල් බවට පත් වෙලා..රචකයා දකින්නේ තුරුලතාවන් තම දළු මල් දන් දී ඇති ලෙසටයි.. සෞභාග්‍යය පළා ගිහින්..අස්වැන්න පාලු වෙලා..ඒ කියන්නේ මේ වගේ කාලෙට මිනිසුන්ගේ අතමිට ඒ තරම් සරු නෑ.ජීවිතය දුෂ්කරයි..පොඩි දරුවන් කුසගින්නෙන් හඩනවා..රචකයා කියනවා කුරහන් අහුරක සුවඳ අගේ සිගිති පැටව් දැක සිහිවෙනවා කියලා.

දෙයක් නැති වුණාම එහි අගය වැඩියෙන් දැනෙනවා කියනවානෙ.ඉතින් මේ වගේ වෙලාවට තමයි කුරහන් අහුරක අගය දැනෙන්නේ කියලා රචකයා කියනවා..

~~යෝජිකා සංජීවනී~~


බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා

බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා
බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා

මගෙ ජීවිතේ මං ගොඩාරියක් හැඟුම්බර වෙච්ච ගීතයක් මේ... මේ ගීතය
ගැන කියන්න කලින් මට සිදු වුන පුංචි කතාවක් තියනව කියන්න... මං නේවාසිකාගාරෙ ඉන්න කාලෙ අපේ කාමරේ හිටපු යාළුවො හය දෙනාගෙන් හතර දෙනෙක්ටම මාත් ඇතුළුව පුරුද්දක් තිබුනා... ඒ තමයි පාඩම් වැඩ ඉවර වෙලා නින්දට යද්දි ෆෝන් එකෙන් ඉයර් ෆෝන් එකක් භාවිතා කරලා කාටවත් කරදරයක් නොවෙන්න රේඩියෝ එක අහන එක... සිකුරාදා දවසට මේ ඇහිල්ල ටිකක් රෑ වෙනකන්ම වෙනවා පහුවදාට නිවාඩු දවසක් නිසාවෙන්.... එහෙම දවසක අපි රේඩියෝ එක අහන වෙලාවෙ ගීතයක් නිසාමගෙ ඇස් වලට කඳුළු ආවෙ නවත්ත ගන්න බැරි විදිහට... තව දුරටත් ඉයර් ෆෝන් එක දා ගෙන ඉන්න අමාරු වුන මං ඒක ගලවලා අයින් කරද්දිම මගේ ඇදේ අනිත් පැත්තෙ හිටපු යාළුවගෙත් ඉකිගැහීමක් මට ඇහුනා... මොනව කරන්නද ඉතින්? යාළුවා ප්රශ්නෙකවත් වෙන්න ඇති කියල හිතා ගෙන මගෙ ඇඬීම පාලනය කර ගෙන මං යාළුවගෙන් හේතුව ඇහුව... හරිම පුදුමයක්! දෙන්නම එකම වෙලාවෙ, එකම සේවයෙ, මේ ගීතය අහල, දෙන්නගෙම ඇස් වල කඳුළු...
හොඳටම නිදා ගත්ත දෙදෙනෙක් ඇරුනහම ඉතුරු ඔක්කමලා ඉතින් වෙච්ච දේත් අහගෙන ඔන්න ගීත විචාරයට බැස්සා... විචාරෙදි ආව නිගමනය අන්තිමට කියන්නම්කෝ... දැන් ගීතය ගැන කතා කරමු...

අම්ම කෙනෙක් දස මාසයක් දරුවෙක්ව කුසේ තියා ගෙන දුක් විඳලා මෙලොවට බිහි කරන්නෙ කොච්චර බලාපොරොත්තු පොදි බැඳ ගෙන ද? ඒ හැම වෙලාවකම ප්රාර්තනා කරන්නෙ මගෙ පුතා, දුව ලොකු මහත්තයෙක් නොනා කෙනෙක් වෙන්න ඕනමයි කියලා... හැබැයි ඒ කොයිම වෙලාවකවත් අම්ම කෙනෙක් මගෙ දරුවා පන්සලට බාර දෙන්න ඕන, මහණදම් පුරවන්න ඕන කියලා හිතන්නෙ නෑ නේද?...
නමුත් හිතුවෙ නැති විදිහට අගහිඟකම් නිසා හරි, නැත්තම් දරුවගෙම කැමැත්තෙන් හරි, නැත්තම් කේන්දර වල තියන දෙයකට හරි දරුවා පුංචි කාලෙදිම මහණ කරන්න වුනොත්??? අම්මා කෙනෙකුට ඒක දරා ගන්න පුළුවන් කාරණයක් වෙයිද?...

මේ ගීතයට පාදක වෙලා තියෙන්නෙත් එහෙම කතාවක්... දරුව දැන් හුරතල් විදිහට බණ කියන, තාම සෙල්ලම් වයසවත් පහු කරලා නැති පුංචි හාමුදුරු නමක්... අද බුදු බණක් කියන්න මුලින් ම ගෙදරට වැඩි දවස... තමන්ගෙ දරුවට සෙනෙහස පෙන්නන්නෙ නැතිව, උකුලට අරන් තුරුළු කර ගන්නෙ නැතිව ඉන්න අම්මා කෙනෙකුට පුළුවන් වෙයිද?... තමන්ගෙ බිරිඳගේ දරු සෙනෙහසේ තරම දන්න ස්වාමියා ඒ නිසාම බිරිඳට ඔවදන් දෙනවා... ඒ වචන ඔවදන් වගේම ඇගේ සිත කොහොම හරි සසලෙන් නැතිව තියා ගන්න දරන උත්සහයක් විදිහටයි මට නම් දැනෙන්නෙ... හැබැයි ඒ එපා කියන හැමදෙයක්ම මවකට දරා ගන්න පුළුවන් දේවල් නම් නෙමෙයි... හේතුව මවක් නොවුන මටත් මගෙ යාළුවටත් ඒ වචන ටික එච්චරටම දැනුනනම් ඒ අත්දැකීම වින්ද, විඳින මවකට නම් කොහොමටවත් දරා ගන්න බැරි වෙයි නේද?... බලන්න මේ තාත්තාගෙ වචන කොච්චර හැගීම්බර වේවිද කියලා...

මැනිකෙ, අද පුතා ගෙදර ඇවිත් බුදු බණක් කියන්න, බලන්න හැම තැනම බුදු එලිය විහිදිලා හරිම සිරියාවයි. ඒ වගේමයි ඒ සිල් සුවද... මතකද මැනිකෙ බුදුහාමුදුරුවන්ටත් මුලින්ම මවක් බුදු වෙන්න විවරන දුන්න හැටි... ඉතින් මැණිකෙ ඒ වගේ අපිත් අපේ පුතා කවද හරි බුදු වෙන්න කියලා ගිහින් අපි දෙන්නම නියත විවරන ලබා දෙමු?... අඬ අඬා ඉන්නෙ නැතිව යමු මැනිකෙ...

හැබැයි මැනිකෙ දැන් අපේ පුතා බුදු පුතෙක්... ඉතින් ඉස්සර වගේ තුරුල් කර ගෙන සිප ගන්න නම් හදන්න එපා... ඒ වගේමයි ඉස්සර බත් අනලා කටින් කට අමාරුවෙන් කැව්වා වගේ කවන්න යන්නත් එපා.. අනේ මැනිකෙ එහෙම වුනොත් පුතාට අම්මගෙ ආදරේ දැනිලා පැවදි බිමෙන් ආයෙමත් එන්න හිතේවි... ඒක පුතාටත් හොඳ දෙයක් නෙමෙයිනෙ... එයා ගිහින් තියෙන්න ගොඩක් උසස් තැනකට උසස් දෙයක් ලබා ගන්න... අපේ ආදරේ නිසා ඒ වගේ උසස් දෙයක් අපේ පුතාට නැති කරන්න ඕන නෑ නේද?...

බලන්න මැණිකෙ තාම ගොඩක් පුංචි අපෙ පුතා හුරතලෙන් බණ කියයි අපේ සිත් නිවෙන්න... ඒ පුංචි කටින් හුරතල් වෙවි බණ කියද්දි අහන් ඉන්න අමාරුයි තමා මැණිකෙ... ඒත් ඒ කියන්නෙ අපේ හිත නිවෙන බුදු බණ නෙ... ඉතින් බලන්න අපේ පුතා කොච්චර උසස් තැනකද දැන් ඉන්නෙ?... ඉස්සර හුරතල් වෙවි අමාරුවෙන් වචන දෙක තුන පටලව ගෙන කතා කරපු හැටි මතකද මැණිකෙ.. අද එයා ගොඩක් පුංචි වෙලත් අපේ හිත නිවෙන්න බුදු බණ කියන්න හදන්නෙ... ඉතින් අපි කඳුළු වට්ටන්නෙ නැතිව ඇස් වහ ගෙන, කොහොම හරි ඉවසමු... අපේ පුංචි හාමුදුරුවො අපිවත් මේ දුක් සසරින් එතෙර කරන්නයි මැණිකෙ හදන්නෙ... ඉතින් ඔය කඳුළු පිහිදා ගන්න... අවසානෙදි අපිත් අපේ පුතාගෙ දෙපා ලඟ වැටිලා පුතා මේ සසර දුකින් එතෙර වෙන්න යන ගමනට එක් වෙමු... එතකොට මේ හැම දුකක්ම නිවෙයි මැණිකෙ... ඉතින් දැන් ඔය කඳුළු පිහදාගෙන යමු මැනිකෙ... ඔයා ඇඬුවොත් ඔය විදිහට පුතාටත් ගොඩක් දුක හිතේවි... පැවිදි වුනාට ඒ පුංචි හිත තාම එක්තැන් කර ගෙන ඉන්න, හිත සැලෙන්නෙ නැතිව තියා ගන්න එයාට තාම බෑනෙ මැණිකෙ... අපේ පුංචි හාමුදුරුවො තාම පුංචිනෙ...

මවක් පියෙක් මේ අත්දැකීමට ඇත්තටම මුහුණ දුන්නොත් ඇත්තටම හැගීම කොහොම වෙයිද? අපි හැමෝම එදා ආව නිගමනය තමයි නොකා නොබී හරි උගන්නවලා සතුටින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් බවට පුතාව පත් කරනවා කියලා... ඒ අවුරුද්දකට ඉස්සර.. ඒත් දැන් මට නම් හිතෙන්නෙ එහෙම කරනවා කියන්නෙ දරුවව ලෞකික පැත්තට බර කරලා, සැප සම්පත් වලට හුරු කරලා, සසරගමන දික් කිරීමක් නේද කියලා... සෙනෙහස වැඩිකමටම ගොඩක් මව්වරු පියවරු අතින් සිදු වෙන්නෙ තමන්ගෙ දරුවට නිවන් දොරටු වැසීමක් නේද?... නිවන් දකින්න මහණදම් පිරිය යුතුම නෑ... ඒත් ලෞකික සැප වැඩි කරන්න තමන්ගෙ පුතාට දුවට තරඟකාරීත්වය හුරු කරනවා විතරක්ම නෙමෙයි... සමහර දරුවන් තමන්ට ළැබෙන කරුණක්වත් තවත් කෙනෙකුට දෙන්න අකමැති තරමටම දැන් කාලෙ තරඟකාරීත්වය වැඩි... ඒ හැමදේකින්ම ආත්මාර්තකාමී මිනිසුන් බිහි වෙන එක විතරයි නේද වෙන්නෙ?... දහම්පාසල්වත් යවන්නෙ නැතිව එදාට ටිවුශන් පන්තියකට යවන එක නේද මේ කාලෙ මවක් හෝ පියෙක් නම් ගොඩක් විට සිදු කරන්නෙ?...

එහෙම බලද්දි දරා ගන්න අමාරු වුනත් තමන්ගෙ පුතාට මේ මවත් පියත් එකතු වෙලා ලබා දීල තියෙන්නෙ පරාර්තකාමී වෙන්න පුළුවන්, ජීවිතය හරියටම තේරුම් ගන්න පුළුවන් ලෝකයක් නේද?... මේ වචන ටිකටත් වඩා හැඟීමක් මේ ගීතය ඇහුවොත් හදවතටම දැනේවි... ඒ තරමටම එඩ්වඩ් ජයකොඩි මහතාගෙ කට හඬත්, රෝහන වීරසිංහයන්ගෙ සංගීතයත්, ආනන්ද හේවා රංහිඳ මහතාගෙ හැඟීම්බර හදවතට දැනෙන පද ගෙතීමත් එක් වෙලා හිතට දැනෙන, ඇස් වලට කඳුළු උනන තරමට විශිෂ්ඨ ගීත නිමවුමක් වෙලා තියෙනවා... සංගීතය, පද රචනය, ගායනය යන ත්රිත්වයම එක වගේ ම හැඟුම්බරයි මේ ගීතය තුළ... මේ විචාරය පමණකින් නොනැවතී ගීතය රස විඳින්නට ආරාධනා කරනවා... මගෙ වචන වලටත් වඩා ඒ හැඟීම හොඳටම දැනේවි එතකොට...

බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා
බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා

හැබැයි ඉස්සර වගේ මගෙ පුතේ කියාලා
තුරුළු කරගන්නනම් එපා ඉක්මන් වෙලා
බත් කටක් කවන්නට හිත ගියත් ළං වෙලා
එපා සිල් ඇවැත්වෙයි මවු සෙනෙහෙ සිහි වෙලා

බණ කතා කියන කොට හුරතලෙන් මුව විදා
කඳුළු පිස දුක නිවෙන බණ අසමු නෙතු පියා
හැඬුම් නැති සිතින් පුතු දකින්නට දිරි පතා
අපිත් විවරණ ලබමු වැටී වැඳ පුතු දෙපා

ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - ආනන්ද හේවා රංහිඳ

~~ඉශානි ප්‍රදීපිකා~~


Tuesday 2 February 2016

පිතු සෙනේ පිදු පියෙකු නොමැති

පිතු සෙනේ පිදු පියෙකු නොමැති ලොව
දූ දරුවන් හිනැහී ඇතිදෝ
උන්ගේ සිත රැදි තනිය මකන්නට
මව්නට කවදා හැකි වේදෝ

හිරු මඩලක් සේ කිරණ බෙදා දී
නුග සෙවණක් සේ සිසිල සදා දී
ජීවිතයේ පරපුරෙන් දරා
පියවරුමයි ලොව මහ සයුරක් වී

පොළොව නිවාලන්නේ
මෙත් මුදිතා ගුණ සිතෙහි දරා
පෙරුම් පුරා එන සසර පුරා
අම්මාවරු මතු බුදු වන්නේ

පියවරුමයි ලොව බුදු වන මව්නට
නිති විවරණ දෙන්නේ

පියා නොමැති ලොව දරුවන්ට සිනහව නම් ඉතා දුරය.. පියානොමැති අඩුව දූ දරුවන්ට නොදැනෙන්නට මව කෙතරම් වෙහෙස දැරුවද ඔවුන්ගේ සිතේ ඇති හුදකලාව නම් සදහටම පවතිනු ඇත.පියා නොමැතිව හුදකලාවෙන් පෙලෙනා, රහසේ කදුලු සලනා දරුවන්ගේ සිත් ඒ වේදනාවෙන් මුදවාලන්නට සමත් කිසිවෙකුත් ලොව නොමැත.

පියා දරුවන්ට හිරු මඩලකි.දරුවන්ගේ ලොවම ආලෝකමත් කරන්නා වූ හිරු කිරණ පියතුමායි.ඔහු නුග සෙවණක් මෙන් දරුවන්ට සිසිලස සදයි.මහ සයුරක් වි පොළොව නිවාලන්නේ උතුම් පියවරුමය.ඉතින්..මේ හිරු කිරණ,නුග සෙවණ අහිමි වූ දරුවන්ට හිනාවක් කොහෙන්ද..

මතු බුදු වෙන්නට පෙරුම් පුරනා අම්මාවරුන් පසුපස හිද පියවරුන් දරුවන් වෙනුවෙන් තම ජීවිතයම කැප කර වෙහෙසෙන්නෝය.සෙනෙහස ඒ තරම්ම නොපෙන්වුවත් ඔවුන්ගේ සිත් දරුවන් කෙරෙහි වූ සාගරයක් වන් වූ මහත් සෙනෙහසක් ගැබ්ව පවතී.මේ මහා සෙනෙහස අහිමි වූ දරුවන්ට කාගේ නම් සරණක්ද..


~~යෝජිකා සංජීවනී~~


පාන්දරින් ස්කෝලෙට ටැන්ටු කරත්තෙන්..

ගැමි ජිවිතයේ සුන්දර අතීතයකට ගෙන යන මෙම ගීතයෙන් අප ජීවිතයට ගත හැකි දේ බොහෝය. අද
කාලයේ වස්සා (ගොනා) දැකගත හැකි උවත් කරත්තයක් නම් දකින්නට ලැබෙන්නේ කලාතුරකින් . ඒ තරම් දුලබ දසුනක් වෙලා..

ගීතයේ මුල් පද පේලියට යමු..

පාන්දරින් ස්කෝලෙට ටැන්ටු කරත්තෙන්
තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන්
හනිහනිකට නුඹ යනකොට ..
පාර කියන්නෑ තෝනෙන්.....
පාර තියන්නෑ කෙවිටෙන්..

අපේ අම්මලා තාත්තලා ගේ කාලේ නම් කරත්තෙන් පාසල් ගිය අය ඇති උවත් වර්තමානයේ මේ අත්දැකීම් අැති අය නම් නැතිව ඇති. ඉස්සර කරත්තයක් පවා තිබුණේ සාමාන්‍යයෙන් ගමෙහි සල්ලි බාගේ ඇති කෙනෙකුට. ගීතයේ පරිදි මේ ලමයා සෑම දිනකම පාසල් යන්නෙ කරත්තයෙන්. ඉතින් පාන්දරින් නැගිට ඇඳපැලද ලේස්ති වී ගුරු පාරෙන් වෙල් මැද්දෙන් කරත්තයෙන් යන විදිහ මතක් වෙනකොට නම් ආයෙත් පාසල් යන්න නොහිතෙන්නේ කාටද නේද. .. උදෙන්ම කම්මැලි ගතිය අපට වගේම සතුන්ටත් තියෙනවා... ඒ වෙලාවට පරක්කු වෙන නිසා කෝටු පාර දෙක තුනක් නොතියත් බැහැ ..

පුංචි කාලේ උඔට බොන්න
එරිච්ච කිරි බිව්වලු මම
වත්ත පහළ උබේ පිනුම්
දැක්කම හිනහුනාලු මම..
ලාඩම් නැති උ‍බේ පා කුර
ගල් කන්දෙදි රිදෙන තරම්
උ‍ඔ‍‍ෙි කදුලු මට කියද්දි
නුඹට හොරෙන් අඬනවා මං...

පාර තියන්නෑ තෝනෙන්
පාර තියන්නෑ කෙවිටෙන් .........

මේකෙන් කියවෙන පරිදි මේ ලමයා සහ ගොනා අතර ලොකු වයස් පරතරයක් නැහැ. ලමයා කිරි බොන අවදියේදී ගොනා ද පැටියා අවදියේ සිටි බවක් පෙනෙනවා. ලමයා මෙම පැටියාගේ සෙල්ලම් දැක සතුටු වු ආකාරයද පෙනී යනවා. කාලය ගෙවිලා දෙදෙනාම ලොකු වෙනවා. ඉස්සර කාලේ බර අදින ගොන්නුන්ගේ කුර වලට ලාඩම් ගහනවා. මොකද කුර ගෙවෙන එක වලක්වා ගන්න .මේක හරිම වේදනාව ගෙන දෙන්නක්. ඉතින් මේ ගොනාගේ නම් ලාඩම් ගහලා නැහැ. පාසල් යන මාර්ගය ඉතා දුෂ්කර බව "ගල් කන්දෙදි රිදෙන තරම්" මනාව පැහැදිලි වෙනවා . මේ ලමයා පුදුම විදිහට මේ සතාට ආදරය කරනවා. ඔබලා දැක ඇති සතුන් අඬනවා . විසේශයෙන් ගවයන්.. ඔවුන්ගේ ඇස් වලින් කදුලු බේරෙනවා. ඉතින් මේ ලමයා මෙය දකිනවා..ලමයා හිතින් ගොඩක් දුක් වෙනවා..

ස්කෝලෙන් ශිල්ප අරන්
මම ලොකු මිනිහෙක් වෙන්නම්
බිව්ව කිරට ඇද්ද බරට
කලගුණ මම සලකන්නම්
බැරි බර දෙන මේ වියකර
උ‍ඔ‍‍ෙ කරෙන් ගලවන්නම්
උජාරුවට දුව පනින්න
ගෙජ්ජි වැලක් පලදන්නම්......

පාන්දරින් ස්කෝලෙට ටැන්ටු කරත්තෙන් ..

මේ ගෙවන දුෂ්කර ජිවිතයේන් නුබ ගොඩ ගන්න මම හොදට ඉගෙන ගන්නම්.... මම ලොකු මිනිහෙක් වෙලා මට කල උදව් වලට මම කලගුණ සලකන්නම් ... උඔ‍ෙ කරේ තියෙන ඔය වියගහ ගලවන්නම් ... මොකද දැන් මට පුලුවන් උඔට සලකන්න ... මට මිල මුදල් තියෙනවා .. උඔට හොද ගෙජ්ජි වැලක් කරේ බදින්නම්..

මිනිස් ලෝකයේ පිරිහෙමින් පවතින "කලගුණ" සැලකීම ගැන මෙම ලමයා අපිට කියා දෙනවා. ගවයාගෙන් ලබාගන්නා ප්‍රයෝජන බොහෝය. එය කොපමණද කීවොත් අවසාන අවදියේ මිනිසා විසින්ම ගවයා මස් කඩයට දක්වයි. තමා හදාවඩා ගත් දෙමාපියන් බලු කූඩු වල කුකුළු කූඩු වල දමන තරමට අද සමාජය පිරිහෙමින් පවතී. තමන් කුඩා කලසිට මේ දක්වා ඔබව කවා පොවා උගන්වා සමාජයේ ඉහළ තැනකට ගෙනෙන්න ඔබගේ දෙමාපියන් කොච්චර නම් වෙසෙන්න ඇතිද.. සතෙකුට දක්වන මේ සෙනෙහස ආදරය දයාව කරැණාව ඔබට උදව් කල කෙනෙකුට ද දක්වන්න පුලුවන්නම් කොච්චර නම් අගනේද.

"වැඩිහිටි නිවාස මහළු නිවාස ඉදිවෙන්නෙ අනාගතයේ ඔබ වෙනුවෙන්" බව සිහියට ගන්න.

ගීතයේන්ද බොහෝ දේ ලබාගනී යැයි මම සිතමි.


~~බණ්ඩාර කුලතුංග~~