Wednesday 9 December 2015

සඳ සාවී මා...

 Image result for වසන්තා මධුරාංගනී
බඹර ගී පිළිබඳව සිහිකරන විට නෙතට කඳුලු නංවමින් නිතැතින්ම සිහි වන ගීයකි...
සඳ සාවී මා.

විසල් ගල්කුළුවල බඳෙහි බැඳි
බඹර වද කපන්නට යන බඹර කපන්නා
සවිමත් කඹයක එල්ලී පහත බසින්නේ
සිය ජීවිතය කඹය අල්ලාගෙන සිටින්නාගේ
දෝතට භාර දෙමිනි.


බඹර කපන්නට
ගල්කුළු බඳෙහි පහත බසින විට
බඹර කපන්නා කඹය දෙන්නේ
බිරිඳගේ සොහොයුරා අතට බව
අප අසා ඇත.

හේතු දෙකක් අපට සිතා ගත හැක.

එකක් නම්
සිය නැගණිය අනාථ කරන්නට අකමැති
මස්සිනා ලණුව අත නොහරින බව සහතික නිසාය.

ඔහුගේ වරදින් හෝ අත්වරදින්
බඹර කපන්නා මියගියහොත්
ඔහුගේ බිරිඳ හා දරුවන් රැකීම
මස්සිනා විසින් කරනු ඇතැයි යන
නියත බලාපොරොත්තුවෙන් බව
අනෙක් හේතුව බව
වඩාත් විශ්වාස කළ හැකිය.

බඹර ගලින් රූටාලා...
සඳ නිවුනිද කියපන් මයෙ මලයා.
බඹර කපන්නට ගොස්
ගලපල්ලේ වැටී නැහුණු සැමියා පිළිබඳ
මලයාගෙන් විමසන අසරණියකගේ ශෝකාලාපයයි මේ.

සඳ සාවී මා...
සඳ මඩලේ පාළුවේ මෙදා...
බඹර ගලින් රූටාලා..
සඳ නිවුනිද කියපන් මයෙ මලයා.....
සඳ නිවුනිද කියපන් මයෙ මලයා.....

දෙමස්සිනාලා....
මල් පැණි බීවා දෝ....
බඹර කපන්ටා..බඹර කපන්ටා..
බමන මතින් කරණම් ගැසුවාදෝ..
තනිවූයේ මාවයි මගෙ මලයා...
තනිවූයේ මාවයි මගෙ මලයා...

සිත පෑරීලා...
බඹරුන් ඇන්නා දෝ...
අම්මා පල්ලා...අම්මා පල්ලා...
තනිවූයේ මාවයි මගෙ මලයා...
තනිවූයේ මාවයි මගෙ මලයා...


මෙහි විලාපයක ස්වභාවයෙන්
හිත කීරි ගැහෙන අඳෝනාවෙන්
ඇය සිය සොහොයුරාට
ඉඳුරාම නොපවසන
දෝෂාරෝපණයක් අපට ඇසෙයි.

සිසිර දිසානායක ලියූ රන්වල ජන සංගීත කණ්ඩායම සමග
වසන්තා මධුරාංගනී ගැයූ
සඳ සාවී මා ගීතයට
ලයනල් රන්වලයන් තනුව මුසු කර ඇත්තේ
ජන සංගීතය ඇසුරු කරගෙන වෙස්සන්තර විරිතට අනුවයි.


~~අතුල සිරිවර්ධන~~



No comments: