Saturday 23 January 2016

කණකර සැරසූ මාල අරුංගල්....

ශාලිත අබේවික්‍රම කියල කියන්නේ ලයාන්විත කටහඬක් උරුම කරගත් ගායකයෙක්. සමහරු ඉතා
ආයාසයකින් කටහඬ ලයාන්විත, ගැඹුරු හෝ වෙනයම් ආකාරයකට සකසා ගායනා කරන්නට තනද්දී මොහු කිසිම ආයාසයකින් තොරව ගීත ගයන්නේ මනා සංයමයකින්. 'සුළඟේ ලෙලෙනා, පිපුනු මලක හැඩ දෑස සලා' යන ගීතම බලන්න. 

අප දැහැන්ගත කලහැකි ගීත අතරට වැටෙන ඔහුගේ ගීතයක් ගැන අද මම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ ගීතය අසා සිටින ඕනෑම අයෙකුට මෙය සංවේදී මනසකින් යුක්තව රසවිඳිය හැක. ගීතය නම් වෙන්නේ 'කණකර සැරසූ මාල අරුන්ගල්' ලෙස. 

අප සමාජයේ දරිද්‍රතාවයෙන් පෙලෙන පවුල් බොහොමයකි. සමාජයේ සම්පත් බෙදීයාමේ විශමතාව නිසාවෙන්ද එසේ නොමැතිනම් ඔවුනගේ පෙර කල කර්මයන් නිසාවෙන්ද නැතහොත් වෙනයම් හේතුවක් නිසාවෙන් ඔවුන් මේ තත්වයට පත්වී ඇත. ඒ පවුල්වල අම්මා තාත්තා තම දරුවන් වෙනුවෙන් කරනා කැප කිරීම් අති මහත්ය. සමහර දෙමව්පියෝ තම දරුවන්ට එආකාරයෙන් නොසලකන අවස්ථාද නැත්තේ නොවේ. කෙසේ වෙතත් මේ දුප්පත්කම නිසා වැඩි පීඩාවකට පත්වන්නේ දුවා දරුවන්ය. සමහර දූ පුතුන්ගේ පාසල් ගමන පවා නතර කිරීම මේ දුප්පත්කමට ඉතා සුලු දෙයකි. 

මේ ගීතයෙන් කියැවෙන දූ පොඩිත්තත් දුප්පත්කම නමැති මාලය ගෙල පැලඳගත් තැනැත්තියකි. නමුත් ඒ ඇයගේ ආසාවට නොවේ. දුවණියකගේ කණකර ආයිත්තම් යනු තිබිය යුතුම දෙයකි. නමුත් අවාසනාවක මහත. ජිවිතය හා හැප්පීමට නම් ඒවා උකස් නොකරම බැරිය. ගමේ හන්දියේ ඇති උකස් කඩයට ඇයගේ කණකර උගස් කර ඇත. ඇය පාසල් යාම නම් තවම නවතා නොමැත. ඒත් ඇයට ඇත්තේ ඉතාම පරණවී ඇති ඇඳුම්ය. රචකයා එය ගෙනහැර පාන අපූරුව බලන්න. 'දහස් වරක් සේදූ සුදු ගවුමේ හැඩ රැලි දැන් හොඳටම මැකිලා' දහස් වරක් සේදූ යන්නේන් වැටහෙනවා නේද ඇය මේ ගවුම කොපමන කල් පාවිච්චි කර ඇත්ද කියා. එත් රචකයාට ඇය දැක සතුටු වීමට කාරනයක් ඇත. ඇය මේ කිසිම දුකක් පිටතට නොපෙන්වා මුහුනේ සිනා ගවසාගෙන සිටී. නමුත් එවිටම රචකයා ඇයගේ යතාර්ථය දකී. සමහර විටක ඇයට හැම වෙලාවකම මේ කඳුලු සඟවාගෙන සිටීමට නොහැකි වන්නට ඇත. මෙහිදී සංවේදී මනැසකින් දකින රචකයා ඇයට පවසන්නේ නොහඬා සිටිනා ලෙසටයි. 

පුන්ච් සිත් මල් වගේ කියලා කියනවනේ. ඇත්ත තමයි. ඒ සිත් වලින් කොයි තරම් ලස්සන දේවල් අපි මවාගන්නවාද? මදකට ඔබගේ කුඩා අවදිය සිහියට නගා ගන්න. අපිට කොච්චර ලස්සන හීන තිබුනාද. ඒ හීන අපිට සැබෑ කරගන්න බැරි අවස්ථා තිබුනානම් ඔබට මතක ඇති අපි කෙතරම් දුක් වුනාද කියලා. ඉතින් අපිට වගේම මේ පොඩිත්තිටත් හීන තිබුනා. නමුත් මේ හීන කවමදාවත් සැබෑ නොවන ඒවා. සම වයසේ අනෙක් ළමෝ සෙල්ලම් කරනා විට ඇයත් පැතුවා පැතුම්, මැවුවා සිහින. ඒ හැම එකක්ම සුනු විසුනු කරන්නට සමත් වුනේ ඇගේ දෙපා. නෑ අහිමි දෙපා. දුප්පත්කමින් මිරිකී සිටින ඈහට සරණක් වන්නට, සෙල්ලම මහින් හෝ අහින්සක සතුටක් ලැබීමට ඇයට නොහැකියි. කොතරම් අවාසනාවක්ද? රචකයා මේ පිලිබඳව බොහෝ කම්පා වෙනවා. ඔහු කියනවා ඒ වුනත් ඔබට හැමෝම ආදරෙයි, ඔබගේ සෙනෙහස තනිවෙලා නෑ. එත් නැවතත් මෙතැනදී පවා රචකයාට යතාර්ථය යටගසන්නට නොහැකියි. ඔහු නැවතත් ඇයට පවසනවා නොහඬා සිටින ලෙස. 

රචකයා පොඩිත්තිට හඬන්නට එපා කිව්වත් ඔහු යතාර්ථය දන්නවා. ඉතින් ඔහු දැන් එය කියන්නට පසුබට වෙන්නේ නෑ. ඇත්තෙන්ම ඇයගේ දුබලතා සහ දුප්පත්කම නිසා ඇයට නිරන්තරයෙන් සමාජයේ උසුලු විසුලු වලට මුහුන පාන්නට සිදුවෙනවා. සමහරු ඇයව පහත් කොට සලකනවා. මේ සිද්දි දාමය ඔහු පවසන ආකාරය බලන්න. 'ගැරහුම් ඔච්චම් මිස අද ඔබ වට නැත ගරු පූජා මල් මාලා' 
ඇයට ගරුත්වයක් ලබාදෙන කෙනෙක් නොමැති තරම්. ඉතින් මේ රචකයා මේ විඳවීම කර්මයට බාර දෙනවා. පෙර කල අකුසල කර්ම වල බලපෑම නිසා ඇයට මේ දුක් කම්කටොලු වලට මුහුන දීමට සිදුවී ඇති බව ඔහු පසක් කරනවා. නමුත් ඇයව පහලට ඇද දැමීමට ඔහුට වුවමනාවක් නෑ.
ඔහු ඇයව දිරිමත් කරනවා. 
කිසිම විටක ඔබ පැරදී ඇති බව නොසිතන්න.කඳුලු අතරින් සිනාසෙන්න. ඔබට සිනාසෙන්නන්ට ඔබ සිනාසෙන්න. සිනාවෙන් ජවය ලබාගන්න. 
මේ ඔබේ දුවණියගේ කතාව නොවනු ඇත. නමුත් සමාජයේ සිටිනා එක් දුවණියකගේ සත්‍ය කතාවක් වනු නොවනුමානය. ඇයට ඔබගේ ආදරය, කරුණාව සහ දිරිය අවැසි වීමට ඉඩ ඇත.

~~තේජන අබේදීර~~

කණකර සැරසූ මාල අරුංගල් හංදියෙ කඩයට උගස් වෙලා
දහස් වරක් සේදූ සුදු ගවුමේ හැඩ රැලි දැන් හොඳටම මැකිලා
ඒත් අනේ නැහැ නංගියෙ ඔබගේ වත මල මැලවීලා
නොහඬන් කඳුලු සලා නොහඬන් කඳුලූ සලා

පුංචි හිතින් නිති දකින සිහින වැල්
හැමදාමත් ඇත සිහින වෙලා
සෙල්ලම වෙත නිති පෙමින් ඇදෙන හිත
මඟ වලකයී නුබේ අහිමි දෙපා
ඒත් අනේ නැහැ නංගියෙ ඔබගේ
සෙනෙහස තනිවීලා
නොහඬන් කඳුලු සලා නොහඬන් කඳුලූ සලා

ගැරහුම් ඔච්චම් මිස අද ඔබ වට
නැත ගරු පූජා මල් මාලා
පිනති ආත්මය අපට නොලැබි පව
ඔහේ ගෙවා ගමු එකතු වෙලා
ඒත් අනේ නැහැ නංගියෙ ඔබ නම්
කිසි දින පැරදීලා
දිරිගන් කඳුලු මකා දිරිගන් කඳුලු මකා

ශාලිත අබේවික්‍රම


No comments: