Sunday 17 January 2016

සුදු රෝසමල අතේ අරන්

ප්රථම ප්රේමයේ වෙලී සිටින සිය දියණියකගේ සිතැඟි මනාව අවබෝධ කරගත් මවක විසින් ඇයට කරන
ආදරණීය ආමන්ත්රණයක ස්වරූපයෙන් නයනසේන වන්නිනායකයන් අතින් ලියැවී ඇති අපූරු ගීතයකි,ශානිකා සුමනසේකර ගායනා කරන "සුදු රෝසමල"කියන ගීතය.

සුදු රෝසමල අතේ අරන්
රෝස කම්මුලේ තියන්
වැටගාව වැටෙන මේ කඳුලැළි
ඇයිද දෝණියේ...
මට දරාගන්න බෑ දෝණියේ..

සුදු රෝසමලින් සංකේත වනුයේ ඇයගේ ප්රේම වන්තයා විය හැකිය.සිය දියණිය සිටිනුයේ සුදු රෝසමල ඇයගේ කම්මුලේ තබාගෙනය.සිය පෙම්වතිය,පෙම්වතා ගෙන් ලද සිහිවටනයක් ලඟ තබාගැනීමට සිඹීමට ඔව්නොවුන් මහත්සේ කැමැත්තක් දක්වයි.සුදු රෝසමලද ඇය ඇයගේ පෙම්වතායැයි සිතා කම්මුල මත තබා සිටිනවා වියහැක.ඇය එසේ සිටිනුයේ "වැට ලඟ" කඳුළු සලමින්ය.වැට යන්න මා දකිණුයේ සංකේතයක් ලෙසටය.සිය ප්රේමය රහසිගතව විඳගෙන යෑම සහ එය දෙමව්පියන්ගෙන් සඟවා සිටීම ප්රථම ප්රේමය අත්විඳින බොහෝ දෙනාගේ ලක්ෂණයකි.තම ප්රේමය දෙමව්පියන්ට කියවාද නැද්ද යන්න සංකේතවත් කිරීමට "වැට"යොදා ගැනීම කතුවරයා දැන හෝ නොදැන අපූරුවට ගැලපී තිබේ.සිය දුකින් සිටින විට එය සංවේදී මවකට දරාගත නොහැක.

සත් පියුම් පිපුනෙ නැතුවට
පිය මැනපු මාවතේ
සත් රුවන් පහළ නොවුවත්
කැළඹුනත් සාගරේ
නුඹ තමයි රෝස කුමරිය
අපෙ පුංචි මේ පැලේ...

දුෂ්කරතා හමුවේ දිවි ගෙවූවත්,වත් පොහොසත්කම් නොතිබුණ ද ඇය ඔවුන්ගේ පැලට උපන් කුමාරිකාවක් යන්න, ගීතයේ ඉහත කොටසින් මා උකහා ගත් සරලම අර්ථයයි.
වන්දනාවක් වගේ පිවිතුරු
පළමු ආදරේ..
මංමුලා වෙන්නෙ ඇයි
අපි ඉන්නවා ලඟ දුවේ.
ලංවෙලා රහස පවසන්
රත්තරන් දෝණියේ....

නයනසේනයන් පළමු ආදරය උපමා කර ඇත්තේ වන්දනාවකටය.එය මනා ගැලපීමකි.මෙය ඇසූ සැනින් මා මතකයට ආවේ "දැන ගියොත් කතරගම-නොදැන ගියොත් අතරමග" කියන කියමනයි.යමෙකු වන්දනාවේ යෑමේදී සෞන්දර්යාත්මක වින්දනය ලබන අතරම ආධ්යාත්මික සහනයද ලබයි.හැබැයි ඒ අවබෝධයකින් ගිය හොත් පමණි.එමනිසා ප්රථම ප්රේමය වන්දනාවකට මොනතරම්නම් උචිතද?.
සිය දියණිය මවකට මිතුරියක් සේය.එනිසා ලංවෙලා රහස කියන ලෙස මව දියණියගෙන් ඉල්ලයි.කාරණය කුමක්ද යන්න මව දන්නවාය.මා හිතන්නෙ නොදන්නවා ඇත්තේ පෙම්වතා කවුද යන්න පමණක් විය හැකිය.
ශානිකා සුමනසේකරගේ මධුර හඬින් හා දර්ශණ වික්රමතුංගයන්ගේ අද්විතීය සංගීතයෙන් ගීතයට ලැබී ඇති ආලෝකය අපමණය.

(උසපෙළ පන්තියේදී කල ගීත රසාස්වාද වලින් අනතුරුව කල පළමු ගීත විචාරයයි,දුර්වලතා වලට සමාව අයදිමි)

බුද්ධ්ක ප්රදීප්
2016.01.11.


No comments: