Thursday, 7 January 2016

කුඩා ළමෝ කැළෑ වැදීලා ...

'දඟත් ටිකත් ඕනා ළමා වියේ පානා

නමුත් පුතේ පරිස්සමින් හා...'

අපේ බ්‍රදර් කෙනෙක්ගේ දේශනාවක බ්‍රදර් මතක් කරලා දුන්න ගීතයක්. දැන් කාලේ නම් මේ වගේ ගීත ඇහෙන්නෙම නෑ. ඒත් ඒක අහනකොට මට මගේ පුංචි කාලේ මතක් උනා. ඉස්සර අක්කගෙයි මගෙයි කේන්දර බලපු හාමුදුරුවෝ කිව්වා අපිට වතුරෙන් අපලයි කියලා. ඒක දැනගත්ත දවසේ ඉඳන් අපේ අම්මයි අප්පච්චියි අපිව සතියකට දවස් දෙක තුනක් මහවැලි ගඟට ගෙනිච්චා. අප්පච්චි ගඟ මැද්දට ගිහින් අතහැරලා එනවා පීනගෙන එන්න කියලා. ඉතින් අපේ අත්තම්මලා එහෙම ඔය වැඩේට අප්පච්චිට පලු යන්න බනිනවා "ඔය දරුවන්ගේ කේන්දරෙත් තියනවා නේද වතුර අගුණයි කියලා. දෙයක් උනොත් එහෙම ඊට පස්සේ ඉඳලා වැඩක් තියනවද?" කියලා. අප්පච්චි කිව්වේ "දෙයක් වෙන්න කලින් තමයි මේ දේවල් පුරුදු කරලා තියෙන්න ඕනේ, ළමයි රොබෝලා වගේ හැදිලා බැහැ. පොළොවේ පය ගහලා ඉන්න ළමයි හදන්න ඕනේ" කියලා.

කුඩා ළමෝ කැළෑ වැදීලා
කැලේ කොලේ ගෙවල් හදාලා
කුඩා පුතා මගේ බලා හිඳී මේ ගේ
අකීකරු නොවී රැඳීලා

දඬු මුගුරු කැට කැබලි රැඳෙනා අතේ
වන සියොතුන් යාලු නොවේ
බණ අසනා සිල් රකිනා දරුවන් සිතේ
සිහ රජිඳුන් හිලෑ වෙතේ
දඟත් ටිකත් ඕනා ළමා වියේ පානා
නමුත් පුතේ පරිස්සමින් හා...

හිරු අවරේ ගෙයි දිලෙනා පහනේ නුඹේ
නෙත පොත හා තිබෙනා තුරු
දඟ කරන දඟ ළමයින් මතුදා මගේ
පුතු දැකලා කරලා කරතී ගරු
දඟත් ටිකත් ඕනා ළමා වියේ පානා
නමුත් පුතේ පරිස්සමින් හා...

අපි පුංචි කාලේ අපිට හරිම ලස්සන ළමා කාලයක් තිබුණා. ඉස්සර අපි නිවාඩු කාලෙට අම්පාරේ අප්පච්චිගේ නැන්දලගේ ගෙදර යනවා. එහෙ අපේ වයසේ දරුවෝ ගොඩක් හිටියා. අපි උදේට කාලා බයිසිකල් වල නැගලා ගෙදරින් ගිහාම ආයිමත් එන්නේ බඩගිනි වෙනකොට. සමහර වෙලාවට ඒ හවස් වෙද්දී. කැලේදී අපි දිවුල්, අඹ, දම්,පේර තව නම් දන්නේ නැති පළතුරු ජාතිත් ඇතිවෙන්න කඩාගෙන කනවා. ගෙදර ඇවිත් හවසට නාන්න යනවා සේනානායක සමුද්‍රයේ ඉඳන් ගලාගෙන එන ගඟට. වතුරට බහිනකොට තමයි දන්නේ තුවාල සීරීම් කොච්චර වෙලාද කියලා. අපිම කෝපි දළු ටිකක් කටින් හපලා තුවාලෙට තියා ගත්තු කාලෙකුත් තිබුණා. ඒත් අපි වැඩිහිටියන්ට හරි බයයි. හරියට ගරු කළා. එයාල හරි ආදරෙයි වගේම හරි සැරයි. එයාල දෙයක් කරන්න එපා කිව්වොත් අපි එතනින් එහාට අපේ සිතුවිල්ලක්වත් යවන්නේ නැහැ. ඒ බය සහ ගෞරවය නිසාම අපි දඟ උනාට වැරදි කරේ නැහැ. මොකද අහු උනොත් ඉවරයි කියලා දන්න නිසා.

අපි පොලු වලින් ගහලා අඹ කඩනකොට ඒ ගහපු පොල්ල හරි අඹ ගෙඩිය හරි ඔලු ගෙඩියට වැටුනම ඉගෙන ගත්තා පොල්ලකින් ගහලා ගහකින් ගෙඩියක් පරිස්සමට කඩා ගන්න හැටි. දුවලා ගිහින් වතුරට පැනලා වතුර පෙවිලා හුස්ම ගන්න බැරි උනාම ඉගෙන ගත්තා මට සෙල්ලම් දාන්න වැඩ පෙන්නන්න පුළුවන් සීමාව මොකක්ද කියලා. කඩියෝ තෙල් කූඹි එහෙම කෑවම ඉගෙන ගත්තා කොහේ හරි ගිහින් හිටගන්න වාඩිවෙන්න කලින් වට පිට බලලා සම්මා සතියෙන් ඉන්න. එපා කියන දෙයක් කරලා අඬු කඩා ගත්තම ඉගෙන ගත්තා අපිට වඩා දැනුම් තේරුම් තියන අයට සවන් නොදීමේ විපාක. අපේ වැඩිහිටියෝ කවදාවත් අපට අරක එපා මේක එපා කිව්වේ නැහැ. ගහකට නගින්න ගියත් කිව්වේ "කටු තියනවා පුතේ පරිස්සමින්. හීරුණොත් විසයි" "ලොකුවට පෙනුනට ඔය ගහ හරි ලපටියි. එච්චර හයිය නැහැ. ගොඩක් උඩට යන්නේ බලාගෙන" වගේ situation එක, හොඳ නරක කියලා දුන්නා මිසක් කරන දඟ වැඩ මොකුත්ම නැවැත්තුවේ නැහැ.

ඒත් දැන් මම දකිනවා ගොඩක් දෙමව්පියෝ තමන්ගේ දරුවන්ව කොටු කරගෙන ඉන්නේ. එහෙම සමහර දරුවෝ ඉන්නවා දැන් අවුරුදු තුනත් පහුවෙලා. ඒත් තවම හරියට ඇවිදගන්න බැහැ. දරුවාගේ අබාධයක් නෙවෙයි. දරුවාගේ ඔළුව වදිනවා කියලා කේන්දරේ තියන නිසා හරි දරුවා වැටෙයි කියලා හරි අම්මා දරුවට තනියම ඇවිදින්න දෙන්නේ නැහැ. හැම වෙලාවේම අම්මා කොන්ද නමාගෙන දරුවාගේ දෙපැත්තෙන් අත් දෙක තියාගෙන යන්නේ. දරුවා ඇවිදින්නේ බීපු මනුස්සයෙක් වගේ. තවත් දරුවෝ ඉන්නවා අවුරුදු හත අටක් ලොකුයි. හැම වෙලාවේම හැමෝටම ගහනවා. රිදවනවා. රණ්ඩු වෙනවා. ඒ අම්මලා කියන්නේ "තවම පොඩියි අනේ. තේරෙන්නේ නැහැ එපා කිව්වට" කියලා. තවත් අම්මලා දරුවෝ කියන බොරු වලට, කරන නසරානි වැඩ වලට ඒ අම්මලට හරියට හිනා යනවා. අනේ මේ දරුවෝ ඉන්න අම්මා කෙනෙක් තවත් ඒ වගේම දරුවන්ව විවේචනය කරනවා නෙවෙයි. ඔබ අතරින් මෙහෙම කෙනෙක් ඉන්නවා නම්, ඔබ ඔබේ දරුවට කරන හානිය ඔබට තවමත් පෙනෙන්නේ නැති නම්, ඒක පෙන්නන්නයි මට ඕනේ. දරුවන්ට තේරෙන්නේ නැත්තේ නැහැ. අවුල තියෙන්නේ අපේ. අපි දරුවන්ට තේරුම් කරන්න දන්නේ නෑ. අපිටයි තේරෙන්නේ නැත්තේ. දරුවෝ කරන දේවල් වලට දෙමව්පියෝ විදිහට අපි සතුටු වෙන්න ඕනේ. ඒත් කරන නරක වැඩ වලට හිනාවෙනවා කියන්නේ අනුබල දෙනවා කියන එක.

මගේ දරුවොත් හරියට දඟ වැඩ කරනවා. ඒත් මම මගේ දරුවන්ට හැම වෙලාවේම කියන්නේ "ඔහේ නටපු දෙන්. පස් අතගාපු දෙන්. බිම වැටුන දේවල් කාපු දෙන්. වැටිච්ච දෙන්. තුවාල වෙච්ච දෙන්. තුවාල උනොත් බෙහෙත් ටිකක් දාන්න පුළුවන්. තුවාල වෙන්න ඕනේ. වේදනාවල් විඳින්න ඒවා දරාගන්න පුරුදු වෙන්න ඕනේ. ඔය වයසේ දඟලන්නේ නැතුව අපේ වයසට ආවහම දඟලන්නද?" කියලා. මම දන්නවා එහෙම හැදෙන දරුවෝ අනුන්ට රිද්දන්නේ නැහැ කියලා.

ගින්දරට පිච්චෙන බව පිහියට කැපෙන බව ළමයි ඉගෙන ගන්න ඕනේ. අධ්‍යාපනය කියන්නේ චක්කරේ පාඩම් කරවන එකයි ඒ 10යි, ඒ 3යි ගන්න එක නෙවෙයි කියලා අද ගොඩාක් දෙමව්පියෝ අමතක කරලා. පුළුවන් හැම වෙලාවකම දරුවන්ට හොඳ නරක සහ ඇත්ත කියලා දෙන්න ඕනේ. දරුවන්ට ඕනේ දෙයක් තේරෙනවා. අපිට තමයි තේරෙන්නේ නැත්තේ දරුවන්ට තේරෙන බව සහ දරුවන්ට තේරෙන විදිහට ඒ දේවල් කියා ගන්න විදිය.

~~නිසංසලා රත්නායක~~


No comments: