ලාංකීය ගැමි කාන්තාවකට මුහුණදීමට සිදුව ඇති ලිංගික හින්සනය සහ නීතිය ඉදිරියේ ඇය කෙතරම් අසරණ වනවාද යන්න සංකේතාත්මකව ඉදිරිපත් කරන යථාර්ථවාදී විග්රහයක් ලෙස නන්දා මාලනිය විසින් ගායනා කරන බලා එන්ට මහ පෙරහැර,ගීතය හඳුන්වා දීමට පිළිවන.
බලා එන්ට මහ පෙරහැර සිදාදියට මං ගියකල
පෙරලා එන්නට නොහැකිව පාර වැරදුනී
සෙයිලමේ බමර පිරිවර උදව්වට ඇවිත් කල වින
කියන්නට ගියේ දෙවොලට ගයා යාදිනී..
පෙරහැර යනු සියලු සංස්කෘතික අංගයන්ගෙන් පරිපූර්ණ ක්රියාවලියකි.බොහෝවිට එය පැවත්වෙනුයේ නගරාශ්රිතවය.දුප්පත් ගැමි කාන්තාවක නගරයට යන්නේ රැකියාවක් බලාපොරොත්තුවෙන් විය හැකිය.ඇය එසේ යෑම "පෙරහැර" බැලීමට යැයි සංකේතාත්මකව ඉදිරිපත් කල ඇතැයි කිව හැකිය.විවිධ බලාපොරොත්තු තබාගෙන නගරයට යන කාන්තාවට ඇය බලාපොරොත්තු වූ දේ නොලැබෙනවා මෙන්ම ඇය අතරමං ද වන්නේය.එවන් කතකගෙන් අවස්ථාවෙන් ප්රයෝජනය ගැනීම සඳහා නගරය තුල සිටින සලෙලෝ බලාගෙන සිටිති.
රචිකාවිය ඔවුන්ව හඳුන්වා දී ඇත්තේ ඹමර පිරිවර ලෙසටය.මල කුමක් උවද ඉන් රොන් ගැනීම ඹමරාගේ ලක්ෂණයයි.නගරය තුල මංමුළා වූ තරුණියට උදව් කිරීමටයැයි කියා පැමිනෙණ මෙම සලෙල ඹමරුන් ඇයගෙන් අයුතු ප්රයෝජන ලැබ ගනී.එලෙස අසරණ වන තරුණිය නීතියේ පිළිසරණ පතයි.දේවාලයට ගොස් යැදීම යනුවෙන් එය සංකේතවත් කර ඇත.දෙවොල යනු පොලීසිය විය නොහැකිද?
ගොසින් මව්පියන් සමගින් වැටී අඩදණින් බැතියෙන්
වඳින කල දෙවොල හිසමත කඩා පෙරළුණී
දෙව් වරම් පතා ලසොවින තිරෙන් මුවාවට ගියකල
අනේ දෙවිඳු පාමුල ඉන සළුව ගිලිහුනී...
නාගරික සමාජයේ සලෙලුන් හට ලිංගික ගොදුරක් වූ කාන්තාව සිය දෙමව්පියන්වත් සමගින් පොලීසිය වෙත යයි.ලංකාවේ පොලීසියට පැමිණිල්ලක් දැමීමටවත් අභිමානයකින් නොයා හැකි වග වැටී අඩදණින් බැතියෙන් යන්න යොදා ගැනීමෙන් පැහැදිලි වේ.එලෙස පොලීසිය හමුවට ගිය කාන්තාවට සිදුවන දෙය පිළිබඳ යථාර්ථවාදී විග්රහයක්,දෙවොල හිසමත කඩා පෙරළුණි යන්නෙන් සංකේතාත්මකය.එලෙස පැමිණිලි කිරීම සඳහා පොලීසියට එන කාන්තාවට එතනදීම විවිධ ආමන්ත්රණ යොදාගනිමින් පොලිස් නිලධාරින් කරන අවමානය මැනවින් විද්යමාන වන ආකාරයට ඉහත යෙදුම යොදාගෙන ඇත.
පොලීසිය හමුවේ අසාධාරණයට ලක්වන කාන්තාව ඊලඟට කරණුයේ අධිකරණ හමුවේ තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීමයි.දෙව්වරම් පතා යනුවෙන් අදහසක් කර ඇත්තේ අධිකරණයේ සහාය පැතීම නොවන්නේද?අහෝ!! අධිකරණය හමුවට ගිය ඇයට සිදුවන්නේ කුමක්ද?අනේ දෙවිඳු පාමුල ඉන සළුව ගිලිහුනී.අධිකරණය නැමැති දෙවියන් සාධාරණයක් ඉටුකරනු ඇතැයි විශ්වාස කලද සිදුවනුයේ අධිකරණය ඉදිරියේද දූෂණයට ලක්වීමයි.
පිලේ කඩපිලේ අගුවල දොලේ තොටුපලේ බැදිවල
පැලේ වැඩපලේ ඇවිලී රාග ලැව් ගිනී
කඩා තන මඬල සරොසින දවා ගිනි ගැනුණ පුරවර
දවාලනු මෙපුර සැනෙකින සිද්ධ පත්තිනී..
පිළිසරණක් පැතූ සියල්ලගෙන් නිසි පිළිසරණක් නොලද ඇය සමාජයට වෛර කරන්නට පටන්ගනී.පිලේ කඩපිලේ...,ආදී වශයෙන් කොහේ බැලුවත් රාගයෙන් ඇවිලී ගිය වගක් පෙනෙන්නට තිබේ.රචිකාවිය රාගය හඳුන්වා දී ඇත්තේ ලැව්ගිනි ලෙසටය.එය කොයිතරම්නම් යෝග්යදැයි දැක්වීමේදී මෙලෙස කිව හැක.
ලැව්ගින්න යනු කවරෙකුවත් අව්ලන්නක් නොව ස්භාවයෙන්ම ඇවිලෙන්නකි.රාග ගින්න ද තමන් තුලින්ම උපදින ධර්මතාවක්ය යන්න එමගින් මොනවට පැහැදිලිය.
සිද්ධ පත්තිනි යනුවෙන් හඳුන්වා ඇත්තේ නීතියේ දෙව්දුව විය නොහැකිද?මෙම නීති ක්රමය ඉඳුරාම විනාශ කල යුතුයැයි ඇයගේ මතය නොවන්නේද?එය මිනිසාගේ රාගික සිතිවිලි විනාශ කිරීමක් යැයිද අර්ථ ගැන්විය හැක.නැත්නම් ලාංකීය නීති පද්ධතියේ උඩුයටිකුරු වෙනස්වීමක් බලාපොරොත්තු වූවාද යන්න කිව හැක.
සුහර්ෂනී ධර්මරත්න රචනා කරන ලද මෙම ගීතයේ සංගීතය එම්.ආර්.චූලසිංහයන්ගේය.සුමියුරු ගායනය නන්දා මාලනිය ගේය.
බුද්ධ්ක ප්රදීප්
2016/01/16.
No comments:
Post a Comment