Thursday 28 January 2016

සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ...

අවාසනාවට වර්තමානය විට මේ ගීතය අපට හුදෙක්ම ඇසෙනුයේ බොහෝවිට රාත්‍රී එළිමහන් සංගීත
සන්දර්ශන වල ගායනා වන නොනවතින ගී වැල් නැතහොත් "නන්ස්ටොප්"වලදීය.ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතා ගායනා කරන මේ අපුර්ව ගීතයේ ගී පද රචනය කේ.ඩී.කේ ධර්මවර්ධන මහතා විසින් සිදු කර තිබෙනවා.එම ගීතය නම් "සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ ..."
වේග රිද්මයක් දැනෙන මෙම ගීතය අසන තරුණ පරපුරේ බොහොමයක් දෙනා මෙම ගීතයේ තාලයට පාද තබනවා හැර මෙහි ඇති පද පේලි වල අරුත කෙරෙහි යම් හෝ උනන්දුවක් දක්වුවදැයි කියන්නට මා හරිහැටි නොදනිමි.මන්ද මෑතක් වනතුරු මාද මේ ගීතයේ පද පේලි අතර සැගවී ඇති අරුත සෙවීමට උනන්දුවක් නොදැක්වූ නිසාය.
දිනක් පිටකොටුවෙන් මා 138 බසයකට ගොඩවූයේ තිබිරිගස්යායට යාමටයි.ඒ බස් රථය තුළ ඒ වනවිට වාදනය වෙමින් තිබුනේ මෙම ගීතයේ මැද කොටසකි.

කලක මෙහෙන් චුත වෙනවා
එලව ගිහින් වැජබෙනවා
පෙළපත නම වෙනස් වෙලා
ආයෙත් මෙලොවට එනවා
එහෙම මිසක් කිසිම දිනක
අපි මැරෙන්නේ නෑ ..

මා මේ ගීතය ඇසෙන විට සිටියේද තරමක් නොසන්සුන් මනසකිනි.ඒ නිසාමදෝ මින් පෙර නොවූ ලෙස මා මේ ගීතයේ ඇසුනු පද පේලි කිහිපය පිලිබඳ වැඩිපුර සිතුවෙමි.
මා ඇත්තෙන්ම මේ ගීතය කොතරම් පැරණි දැයි හරියාකාරවම නොදනිමි.එය හෝ නොදැන මෙය පලකිරීම එක් පසකින් මාගේ දුර්වලතාවයකි.නමුත් මාහට හුදෙක් අවශ්‍ය වුයේ අපගේ තාරුණ්‍යට ඇස් ඉදිරිපිටම මග හැරි යන අප රටෙහි අර්ථවත් ගීත ගොන්නක වටිනාකම මතක් කොට දීමයි.
මේ ගීතය තුල බහුලවම භාවිත වන වචනය වන "මරණය" ලෙස මෙහිදී ගීත රචකයා හඳුන්වා ඇත්තේ අප දැන් මේ ගෙවන ආත්මයේදී අපට අත්වන මරණය නොව මේ සංසර මගින් එතෙර වී සසර ගමන මරණය කිරීම නෙත්හොත් අවසන් කිරීම දැයි මට අරුත විමසීමේදී සිතිනි.

සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ
අපි මැරෙන්නේ නෑ
අනඟ තරුණ බඹරු අපි
අමර වරම අපිට හිමි
අපි මැරෙන්නේ නෑ
අපි මැරෙන්නේ නෑ..

සඳ,හිරු,තරු මේ ත්‍රිත්වය පවතින තුරාවට මිනිසාට මිහිපිට ජීවය ඇති බව බුදුදහම තුලද සඳහන්වී ඇත.එමෙන්ම මිනිසුන් වසසින් වයසට ගියද,වර්තමානයේ සිටින බොහොමයක් දෙනා නොමැරෙන මිනිසුන් සේ සිතා තාරුණ්‍ය සදාකාලිකව රැකගැනීමට නිෂ්පල උත්සාහයන්හි යෙදන අයුරු අද සමාජය තුල පැහැදිලිවම දක්නට ඇත.නොමැරී සදාකාලිකවම ජීවත්වීමට කවුරුන් හෝ කෙනෙකු විශේෂ වරපප්‍රසාදයක් ලබා දී ඇතියි සිතා සමහරුන් සමාජය තුල ජීවත් වෙයි.එවෙනි පුද්ගලයින්හට විශේෂයෙන්ම සිතන්නට කරුණු කරනා බොහොමයක් මෙම ගීය තුළින් ගේ පද රචකයා මතුකොට දැක්වීමට උත්සහ ගෙන ඇත.

කලක මෙහෙන් චුත වෙනවා
එලොව ගිහින් වැජබෙනවා
පෙළපත නම වෙනස් වෙලා
අයෙත් මෙලොවට එනවා
එහෙම මිසක් කිසිම දිනක
අපි මැරෙන්නේ නෑ..

මේ ආත්ම භවය තුල ජීවත් විය හැකි කාලය ඉක්මවූ පසු මිනිසා මියයන බවත් එසේ මියගොස් කොහේ හෝ කවර අයුරකින් හෝ සිට නැවතත් පෙර භාවයේ තිබු නම්,ගම,පරම්පරා වලින් පමණක් වෙනස් වී නැවතත් මෙලොව උපත ලබයි.එය ගී පද රචකයා අර්ථ ගන්වා තිබෙනුයේ සසර භවය නම් දිගු ගමනේ අපට හමුවන පුංචි පුංචි වෙනස්කම් වලින් යුත් නවතුම්පල්වලදී අප කෙටි විවේකයක් ගෙන නැවතත් පෙර අයුරින්ම අප සසර මගෙහි ගමන් කරන බවයි.

හැරමිටියෙන් ඇවිදින්නේ
අපට එරෙහි වී එන්නේ
සීමා මායිම් වැටකොටු
මේ කිසිවක් අපට නැතේ
වැරදීමෙන් හුස්ම ගියත්
අපි හඬන්නේ නෑ.. 

ගීතයේ අවසන් පද පේලි කිහිපය තුලින් ගී පද රචකයා නොමැරෙන මිනිසුන් ලෙස සිතා සිටින්නව ඉලක්කකර ඇති අයුරක් මට දැනිණි.මන්ද "හැරමිටියෙන් ඇවිදින්නේ අපට එරෙහි වී එන්නේ"මේ පද දෙක තුලින් වර්තමාන සමාජය කරන කියන බොහොමයක් කරුණු කාරණා කරෙහි වැඩිහිටියන් ආච්චි අම්මා,සීයා වැනි අය (වර්තමානයේ සිටින කලිසම් අදින ආච්චි අම්මලා නොවේ)ප්‍රතිචාර දක්වනුයේ අවවාදයෙනි.මක් නිසාද ඔවුන්ගේ වයස හා අත්දැකීම් අනුව ඔවුන් ඉහල මට්ටමක සිටිනු නිසාවෙන්."සීමා මායිම් වැටකොටු මේ කිසිවක් අපට නැතේ'වර්තමානය තුල සිටින නොමැරේ යැයි සිතන පුද්ගලයින් වැඩිහිටියන් පෙන්වා දෙන නිවැරදි මග,නිවැරදි කරුණු කාරණා කල යුතු නොයුතු දේ අතර සීමාවන් මේ කිසිවක් කරේ අවදානයක් යොමු කිරීමට,ගණනකට ගන්නට අවශ්‍ය නොවන බවක් හගවයි."වැරදීමෙන් හුස්ම ගියත් අපි හඬන්නේ නෑ"නොමැරෙනවා යැයි සිතා සිටින මිනිසුන් මරණය පවා වැරදීමෙන් සිදු වූ දෙයක් ගණනට දමා ඇති වගක් රචකයා මෙතුලින් අපට පසක් කරවයි.
කුමන කාරණාවක් කෙසේ වුවද,අවසාන වශයෙන් මා හට ඇත්තේ ඇත්තෙන්ම දුක පිරි වේදනාවකි.මෙවන් පුළුල් පරාසයකට,ගැඹුරකට විහිදී ජීවිතය පිලිබඳ පෙන්වා දෙන මෙවන් විශිෂ්ට ගීත නිර්මාණ වර්තමානය වන විට හුදෙක් සංගීත සන්දර්ශන වල සංගීතයේ තාලයට පාද තැබීමට පමණක් භාවිතා කිරීම පිළිබඳව දෙතුන් වරක් නොව දහස් වරක් සිතා බැලිය යුතුය.

~~අරෝෂ් ජනරංජන~~


No comments: