මාල මල් ලතා මාලතියක ලියා එවා
දෑල සිත් විලේ සසැලි රැලි සරැලි නගා
ඔබ ආදරේ කියා දුන්නේ සඳක් සේ මවා.......
ලන්ඳ මත පිපී මාලති පරවෙලා ගියා
පින්න පිණි වැටී පුර හඳ බොඳෙවලා ගියා
ඔබ සෞමය සඳ කියූ ප්රේමය කෝ කොහෙද ගියා.
ගායනය: මංගලිකා තෙන්නකෝන්
ගේය පද: දේවිකා ජයසුන්දර
සංගීතය: විමල් දයානන්ද
මා සඳක්, නිකම්ම නෙමේ පුර සඳක්. මාව පුර සඳක් කලේ ඔබම තමයි. කොහොම නම් අමතක කරන්නද ඒ අතීතය. ආදරය මා ඔබෙන් ඉගෙන ගත්තාද නැතිනම් ඔබ මට ආදරය ඉගැන්නුවාද කියල හරියටම තේරෙන්නේ නැති වුනත් ඔබේ ආදරය මාව සඳක් කල බැව් නොකියා ඉන්නේ කෙසේද?
ඒත් ඒ පුර සඳ ගාව කඳුලු බිංදු. මම මුලින් හිතුවෙ ඒ ඔයා තියල ගියපු කඳුලු කියලා. ඒත් පසුව තමයි මට පසක් වුනේ ඒ මමම හෙලූ කඳුලුයි කියා. වෙනදා තරු එලිය අතරින් ඔබව සොයාගැනීම හරිම පහසුයි. අද ඒ තරු එලියටත් හොරෙන් ඔබ යන්නට ගිහින්. ළඟ පාතක නම් වෙන්න බෑ. ඔබ හුඟක් දුර ගිහින්. ඇයි මා වෙතින් ඉවතට යන්නට ඔයහැටිම පෙලඹුනේ, මට කියන්න.
ඉතින් ඔබ මැවූ සඳ තනිකිරීම ඒ තරම්ම පහසුද? ඔයත් එක්ක හිටපු කාලේ තමයි මම ආදරයේ සියුම්ම තැන් පවා දැනගත්තේ. ආදරය කියන්නේ මුලු ලෝකයක් බව කියල දුන්නේ ඔයා. මම ඔයාගේ ආදර කතා අහන්න කොච්චරනම් ආසද? ඒ බව ඔයා නොදන්නවා නොවේනේ. ඔයාගේ මේ සඳවතිය අහසෙ ආඩම්බරව බැබලුනේ හිරු කිරණක් වු ඔබේ එලිය නිසාවෙන්.
ලන්ද දිගට ලස්සනට පිපිලා තිබුන මාලතී ඔක්කොම පරවෙලා ගිහින්. පිනි බිංදුද එහෙමත් නැත්නම් කඳුලු බිංදුද කියලා තේරුමක් නෑ. ඒවා නිසා මේ පුර සඳ බොඳවෙලා. ඔයා නැතුව මේ ලෝකයේ ලස්සන නෑ වගෙයි. ඒ ඔබ තැනූ මිරිඟුද? නැතිනම් ඔබ නැති නිසාවෙන් ඒවා සියල්ල විනාශ වෙලාද? මට තේරෙන්නේ නෑ.. ඔයා මට විඳින්න දුන්න ඒ සෞම්‍ය ආදරය කොහෙද ගියේ, කොහිද සැඟවුනේ.
තාමත් මම සොයනවා, ඉදිරියටත් මා සොයාවි. යලිත් එය දකින තුරා, සැමතැනම මා සොයාවි. පුරසඳ නැවත තරු එලිය තුලින් දකින්නට හැකිවේවි.
~~තේජන අබේදීර~~
No comments:
Post a Comment