.
නන්දා මාලනියගේ තුන්වෙනි ගීත ප්‍රසංගය තමයි පවන කියන්නේ. ඊට කලින් තිබුණු ශ්‍රවණ ආරාධනා සහ සත්‍යයේ ගීතය යන ප්‍රසංග දෙකම ඇය නවත්වන්නේ ගීත ප්‍රසංග වාර 500 සීමාව ඉක්මවා යවමින්. එයින් වසර කීපයකට පසු පවන නන්දා මාලනිය පටන් ගන්නේ එවකට සමාජයේ භීෂණ යුගයක් තිබියදී 1987 ජුනි මාසයේදී. ආරම්භක දවස් තුනක් එක දිගට ප්‍රසංග වාර පවත්වනවා ඇය. මේ ප්‍රසංගයේ තිබුණු විශේෂත්වය තමයි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ ප්‍රසංගය වෙනුවෙන්ම ගීත රචනා කිරීම සහ සියලුම ගීත ඔහු විසින් රචනා කර තිබීම. සියලුම ගීත, ප්‍රේමය, විරහව වගේ මාතෘකා වලින් ඈතට ගිහින් දේශපාලනය, තරුණ අසහනය, රටේ තත්වය, රටේ තිබුණු පීඩාකාරී සමාජය පිළිබඳව තමයි රචනා වුණේ. එසේ පටන්ගත් මේ ප්‍රසංගයේ ‘වහින්නට හැකිනම් ගිගුම් දී’ කියන ගීතය හැරෙන්න අනිකුත් ගීත සියල්ලම තහනම් වෙනවා. ඊට පසු නන්දා මාලනියට, සුනිල් ආරියරත්නයන්ට ජිවිත තර්ජන පවා එනවා. පවන පටන් අරන් අවුරුද්දක් ගිය තැන 1988 දී 250 වෙනි වාරය දිවා දර්ශනයක් පවත්වා එය නවත්වා දමන්නේ රාත්‍රී දර්ශනයවත් තියන්නේ නැතිවයි. එසේ කරන්න සිද්ධ වෙන්නේ තිබුණු ජිවිත තර්ජන නිසාම බව වරක් නන්දා මාලනිය පවසලා තිබුණ මම කියවල තිබෙනවා. ප්‍රසංගය නැවැත්වීමෙන් පසු නන්දා මාලනියට සහ සුනිල් ආරියරත්නයන්ට තාවකාලිකව රට හැර යන්න පවා සිද්ධ වෙනවා.
.
ඉතින් ඒ පවන ප්‍රසංගය ගැන. මම පෞද්ගලිකව ඉතාමත් කැමති ප්‍රසංගයක් පවන කියන්නේ. සියලුම ගීත මගේ ප්‍රියතම ගීත. එයිනුත් ‘සිතල පොළොවම සිරියහනක් වේවා’ කියන ගීතයට මගේ දැඩි කැමැත්තක් තියෙනවා. ගීතය මහචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කර නන්දා මාලනිය ගායනා කරනවා සංගීතය සපයා ඇත්තේ ඔස්ටින් මුනසිංහයන්.
.
දැන් ගීතයට ආවොත්.....
.
සීතල පොළොවම සිරි යහනක් වේවා
ගෝනි පඩංගුව මුදු පලසක් වේවා
ජේලර් මහතුන් නෑදෑයෝ වේවා
තැටියේ බත්පත දිව බොජුනක් වේවා
.
මේ පද ටික දැකපු ගමන් තේරෙනවා මේක කියන්නේ හිරබත් කන කෙනෙක්ටයි කියල. කවුරුහරි කරන්නේ ප්‍රාර්ථනාවක්. තමන්ගේ ගෙදර-දොර, නෑදෑ හිතමිතුරන්ගෙන් ඈත් වෙලා තමන්ට තිබෙන මුලික සම්පත්වත් නැතිව ගෙවන ජීවිතය පිලිබඳ දුක නොදැනේන්න කියා ප්‍රාර්ථනා කරනවා.
.
මා මුර ගෑවේ පිහිටක් අයදින්ටයි
දන වද්දෙකුගෙන් බඹ සර රැක ගන්නයි
ඔබ දිව ආවේ මා දිවි ගලවන්නයි
අවි එසවූයේ යුක්තිය විසඳන්නයි
.
මෙතනින් හොඳටම පැහැදිලියි මේ ගීතය කියන්නේ තරුණියක් විසින් තරුණයෙකුට කියල. ඇයගේ කුමාරි බඹසර නැති කරන්න යන සල්ලාලයෙක්ගෙන් ඇයව බේර ගන්න ආපු මේ තරුණයා ආයුධයක් පාවිච්චි කරලා. සමහර විට මේක නිසාම මේ කාමතුරයා මිය යන්න ඇති.
.
දිළිඳු ළඳුන්ගේ කුමරි දිවිය උන්ගේ
කාසිය උන්ගේ ලොකු ලොකු උන් උන්ගේ
පොලිසිය උන්ගේ කුදුව අපෙ උන්ගේ
නිතිය උන්ගේ සිරබත අපෙ උන්ගේ
.
ඉතින් එක් තරුණියක් ගැන මුල් කොටස් දෙකෙන් කතා කලත් මෙතැනදී ගීතය කතා කරන්නේ මුළු සමාජය ගැනම. සමාජයේ තිබෙන අසාධාරණය, අයුක්තිය ගැන තමයි මේ කොටසින් කතා කරන්නේ. දුප්පත් කාන්තාවන් දුෂනය වීම, මුදල් ඇති අය වැරදි කරලා බේරී සිටීම, පොලිසිය පොඩි මිනිහා වෙනුවෙන් නොව බලවතා වෙනුවෙන් පෙනී හිටීම, නීතිය සාධාරණ ලෙස සැමට එක සමානව ක්‍රියා නොකිරීම, ගැන තමයි ගීතයේ මේ ඛණ්ඩය කියන්නේ. හැමදෙයකම වරප්‍රසාද ලොකු මිනිහටත් කරදර පොඩි මිනිහටත් ලැබෙන සමාජයක් ගැන තමයි මේ කොටස පැහැදිලිව කියන්නේ කියල මට හිතෙනවා.
.
තුලාව ගෙන නෙත් යුග බැන්ද රෙදි කඩකින්
නීතියේ යුවතිය වැජඹෙයි ඇද යහතින්
ඔබ වන් මිනිසුන් වෙනුවෙන් ඇන සැතෙකින්
මරා දමමි ඇය මරා දමමි සැනෙකින්
.
මේකනම් ඉතින් අපි හැමෝම දන්නා තත්වයක්. අපි දන්නවනේ අර උසාවියේ ඉන්න නීතියේ යුවතිය ඇස් බැඳගෙන ඉන්නේ. ඉතින් නීතිය ඉස්සරහ සමහර වෙලාවට නිවැරදි මිනිස්සු වැරදි කරුවෝ වෙනවා වැරදි කරුවෝ නිවැරදි කරුවෝ වෙනවා. බොහෝ වෙලාවට මෙහෙම වෙන්නේ අසරණ පිඩාවට පත් වෙලා ඇති මිනිසාටමයි. ඉතින් මේ යුවතියව ආරක්ෂා කරන්න ආපු මේ තරුණයා වගේ මිනිසුන් වෙනුවෙන්, සැතකින් (සැත්කම් වලට ගන්නා පිහියක්) ඇන මරාදමන්න සුදානම් බවයි ඇය පවසන්නේ.
.
කෙටියෙන් කියනවනම්, මෙතනදී කියන්නේ අනුන් වෙනුවෙන් ක්‍රියාකරන මිනිසුන් වෙනුවෙන් කතා කරන්න ක්‍රියා කරන්න දෙවරක් නොසිතා ඉදිරිපත් විය යුතු බව නොවේද?
.
ගීතය පොදුවේ ගත්තම සමාජයේ ඇති එක්තරා හිඩැසක් ගැන තමයි පෙන්නන්නේ.... කලිනුත් කිව්වා වගේ සමාජ අසාධාරණය, පීඩනය, අයුක්තිය පිළිබඳව....
.
ඉතින් ඔබ මේ ගීතය ගැන සිතන දේත් පවසන්න....
~~නිල් ගුණවර්ධණ~~
No comments:
Post a Comment