පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනිවී එනවා
ගහකොළ සෙළවී ඔහු දෙස බැලුවා
බිම් මල් හිනැහී හිස වැනුවා
ඒ දඬුමංකඩ තිත්ත පැටවු රැළ
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එක තැන රැඳුනා
ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැළ පේලි සැදී හිඳ
මුතු ඇහිඳියි මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුසගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ
පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුලක් නැගුවා
ඔහුට මුවාවී පාසැල් යන්නේ
මා දැයි නිකමට මට සිතුනා
ගායනය : විශාරද සුනිල් එදිරිසිංහ
සංගීතය : එච්.එම්.ජයවර්ධන
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී
මගේ දෑසට කඳුළු එක් කරන්නට සමත් වුනු ගීත අතලොස්සකින් එකක් ඔබ හා බෙදාගන්නට මම සිතුවා. ඇත්තම කියනවනම් මට මේ ගීතය දවසකට එකවරක් පමනයි අසන්නට පුලුවන්. සමහට ගීත දවසට දෙතුන්පාර නෙමෙයි ඊටත් වැඩියෙන් අසන වෙලාවන් තිබෙනවා. අහිමිවී ගිය පාසල් කාලය මතක් වෙනකොට පුදුමාකාර දුකක් දැනෙනවා. ඒ කාලේ හිටපු අය සමග ඒ කාලය නැවතත් ඒ අයුරින්ම ගත කරන්න හැකිනම් කියල හැඟෙන වාර අනන්තයි. දැනටත් මගේ මුහුනු පොතේ ඒ යාළුවන්ගෙන් අතලොස්සක් ඉන්නවා. නමුත් දුකට කාරනාව ඔවුන් හැමෝම වගේ ඉතා දුරින් ජීවත්වීම. සමහරු වෙනත් රටවල් වල. තවත් සමහරු බොහොම ඈතක.
පාසල් කාලය ගැන කියැවෙන සිංදු කිහිපයක්ම නිරායාසයෙන්ම අප තොල් අගට පැමිනේවි. 'සුළගේ ලෙලෙනා, සුදුපාට මල් පිපුනු, පියමං කෙරුවෙමු, මාගේ පාසල් කාලය, ආයේ ආයේ එන්නේ නෑ, සුදු පරවි රෑන සේ....' මේ අකාරයට තව බොහෝ ගීත ගනනාවක් මතකයට නැගේවි. නමුත් මටනම් මේ ගීතය අති විශේෂයි.
ගම්බද පරිසරයක හැදී වැඩුනු රචකයා පාසල් නිමවී පැමිනෙන ළමා කැල අතර එක් විශේෂිත චරිතයක් දකිනවා. ඉතින් හොඳම දෙය කියන්නේ රචකයා ගිහිල්ලා තිබෙන්නේ මේ පාසලටමයි. පාසල නිමවී ඔහු පැමින ඇත්තේත් මේ මාවතේමයි. ඉතින් පාසල නිමාවීමෙන් පසු සියලුම දරුවන් ආසා කරන්නේ හැකි ඉක්මනට නිවෙස බලා යාමටයි.
"ඉස්සර මං ගිය පාසැල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා"
රචකයා දකිනා විශේෂිත චරිතය අනෙක් ළමුන්ගෙන් මිදී තනිවම වටපිට සිරි නරඹමින් ගමන් කරනවා. ඒ පුංචි ළමයා පරිසරය හා ලෙන්ගතු අයෙක් බව රචකයා ඉදිරිපත් කරනා සැටි බලන්න.
"ගහකොළ සෙළවී ඔහු දෙස බැලුවා
බිම් මල් හිනැහී හිස වැනුවා
ඒ දඬුමංකඩ තිත්ත පැටවු රැළ
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එක තැන රැඳුනා"
මේ සිරියාව නරඹන ඔහුට කුසගිනි දැනෙන්නේ නෑ. අනික මේ පාසල නිමවී යන මොහොත ගිනි මද්දහනක්. මේ කිසිවක් නොසලකන ඔහු තමාගේ පාඩුවෙ සොබාදහම සමග ගැලෙනවා.
ඉතින් මේ කුඩා ළමයාගේ හැසිරීම රචකයා නෙත කඳුලු දනවනවා. මොකද රචකයා මේ පුංචි ළමයාව තමාටම ආරූඩ කර ගන්නවා. ඔහුගේ පාසල් කාලය ගෙවුනු හැටි මතක දාමයක් පරිද්දෙන් ඔහු ඉදිරියේ. හරිම සංවේදීයි. මමත් කුඩා කාලයේ ගියේ ගම්බදම නොවුනට නගරබදව ආශ්‍රිතව පැවති ගම යයි සැලකිය හැකි පෙදෙසක. මා නිවස බලා යන අතරමගත් මේ ආකාරයේම වටපිටාවක් පැවතියා. මමත් ඔය ආකාරයටම තමා පාසල් නිමවී ගෙදර ගියේ. එකම වෙනස අපේ කණ්ඩායමේ යහලුවන් කිහිප දෙනෙක් සිටියා මා වාගේම හිතන පතන. අද අපි මේ කොන්ක්‍රීට් වනාන්තර වලට මැදිවී ජීවිත සටන ගෙනයන විට ඔවුන් හා ඒ ගෙවූ අතීතය සිහියට නැගෙද්දී අද දවස ජීවිතයේ යම් හිස් බවක් නොදැනුනාම නොවේ.
~~තේජන අබේදීර~~
No comments:
Post a Comment