අන්න ගොරබිරම් රකුසෝ
අමු කැලෑ බිඳන් එනවෝ…
.
දිව සවනින් අසා මිනිස් කන්නලව්ව පුරාණයේ
රුක් විමනින් පොළොවට වැඩි ස්වර්ණමාලි කුමාරියේ
නිල්ල නිලන තුරුලිය වූ අප පාමුල බැතින් ළයේ
පූජා කළ මිනිසත්බව රකුසු වෙසින් ඒවි ලියේ
.
ළපලු නටන අප සියොලඟ විලිකුන් පල හටගන්නේ
සිව් සිය ගව් කෝටි වරුස අප යහතින් වැඩ උන්නේ
තණ්හාවේ වියරු වෙසින් අද උන් අප වෙත එන්නේ
දිවි රැක ගන්නට නුඹ රුක් විමානයෙන් බැසපන්නේ
.
අගිල් කපුරු සුවඳ තෙලින් අප පැදකුණු කළ වැසියෝ
නිරුදක කතරක් හෙට මෙහි මවනා දුර්ගුණ ගැතියෝ
පොරෝ කියත් අවි බලයට සිරස නමන වන දෙවියෝ
අපට පිහිට වනු කෙලෙසද ඒ තෙද බල අද නැතියෝ
ගායනය: අයිවෝ ඩෙනිස්
ගේය පද: අජන්තා රණසිංහ
සංගීතය: ප්‍රේමසිරි කේමදාස
මෙම ගීතය අයිවෝ ඩෙනිස් මහතා ගායනා කරන ල්ද්දේ අප කුඩා කාලයේදීය. මෙහි ගී පද අජන්තා රණසිංහ ශූරීන්ගෙනි. එතුමා ඉතාමත් හරවත් කතාවක් අප ඉදිරියේ තබයි. මේ කතාවට පන පොවන්නට ඉදිරිපත්වන තවත් අයෙකි ප්‍රේමසිරි කේමදාසයන්. ඔහුගේ සංගීතයෙන් හැඩවුනු එකම ගීතය මෙය නොවුනත්, මෙහි පද පෙලට වටිනා ජවයක් ලබාදීමට මේ සංගීතය සමත්ය.
ස්වර්ණමාලී කුමාරිය යනු වෘක්ෂලතාවන් විමානයක් සාදාගෙන වැඩසිටි අයෙකි. ඉතින් ගීය ආරම්භයේදිම ඇයට බිමට බසින ලෙස රචකයා පවසනවා. ඇයි මේ ඇයට මෙසේ කියන්නේ. රකුසන් රැසක් කැලෑව බිඳගෙන පැමිනෙනවා. කවුද මේ රකුසො? මේ රකුසන් එදාත් සිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉඳීවි. වන විනාසයට වග කිවයුතු වෙන කවුරුත් නොවේ. මේ රකුසන්මැයි. අද බොහෝ දෙනා කතා කරන විල්පත්තු වන විනාශය මෑත කාලයේ අපට දක්නට ලැබුන විශාලතම වන විනාශයක්. මේ හේතුව නිසාමයි අද මා ඔබට මේ ගීතය ගෙනගැර පාන්නේ. වනාන්තර අමු අමුවේ කපා විනාශ කොට එක එක ජඩයන්ගේ ඕනෑ එපාකම් පිරිමහ ගන්නට දීපු අපේ පාලකයන්ට මුලින්ම දඬුවම් කල යුතුයි. හදිසි අවස්ථා සඳහා විකල්පය කැලෑ කැපීමද? අනෙක් අතට එය හදිසි අවස්ථාවකුත් නොවෙයි. මේ පරයන් ගජබින්න දෙසාබාමින් ගොදුරු කර ගන්නේ අපේම මිහිලිය නොවේද? අද අපේ රටේ නීතියට අනුව මිනිස් ජීවිතයක් උදුරා ගත්තෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කල හැකිය. එසේනම් මේ මිහිලිය වනසන එවුන් යැවිය යුත්තේ කොතැනටද? මෙවැනි විනාශයක් බල බලා වෙනත් කිසිම වැඩකට නැති දේශපාලනයක් අල්ලාගෙන දඟලන අවස්ථාවාදී දේශපාලුවන් පෝරකයට යැවිය යුතුය. මිනිස් ජීවිත රැඳී පවතින්නේ මේ තුරුලිය මතය. අප හෙලනා හුස්ම පොදක් පාසා අප මේ ගහ කොලට නයගැතිය. මා ආවේගශීලී වැඩිවුනායැයි සිතේ. නමුත් මේවා නොකියා බැරිය. සතුටට කරුන නම් මේ වන විනාශය වෙනුවෙන් කතාකරන පමනක් නොව ක්‍රියාවෙන් දායක වන බොහෝ දෙනෙක් සිටිති. ඒ සැබෑ ලක් මවගේ පුතුන්ය. මව් හඳුනන්නෝය. ඔවුනට මාගේ අචාරය.....
ඉතින් අපි ගීයට යමුකෝ...
ස්වර්ණමාලී කුමරිය පෙර පැවසුවාක්මෙන් වෘකෂලතා විමානය කොට ගෙන සිටි අයෙකි. ඇය මේ ගහ කොල සමග කෙතරම් ලෙන්ගතුද යන්න නොකිවමනාය. මිනිසාගේ මිනිසත්බව කෙමෙන් ක්ෂයවී රකුසු වෙස් ගෙන ඇත. මේ ගීතයට අනුව කතා කරන්නේ ගහ කොලයි. ගහ කොල පවසන අන්දමට ඉතා පුරාණයේ සිට අවුරුදු කෝටි ගනනක් ඔවුන් යහතින් කල්ගත කොට ඇත. ගව් ගනනක් දුරට ඔවුන් පැතිරී ව්‍යාප්ති වී කිසිම අපල උපද්‍රවයකින් තොරව වාසය කොට ඇත. නමුත් තණ්හාව නමැති විශඝෝර සර්පයා විසින් මිනිසා වෙලාගෙන ඇත. මුදලට, බලයට ලොබින් ඔවුහු අප වනසා දමන්නට පැමින ඇත. අපට පිහිටක් නැත. ස්වර්ණමාලි කුමරියේ ඔබද අසරණය. විමානයෙන් බිමට වඩිනු මැනවි.
පුරාණයේ වෘකෂ වන්දනාව සිදුකල හැටි ගහකොල අපට මතක් කර දේ. අගිල් කපුරු සුවඳ තෙලින් වෘක්ෂයන් පුදා නමස්කාර කලහැටි. නමුත් ඒ හැම එකක්ම අමතක කොට මහපොළොවම නිරුදක කතරක් කරන්නට වෙර දමනා දුර්ගුණ මිනිසුන් අද කාලයේ බිහිවී ඇත. වනයට අධිපති අයියනායක දෙවියන්ට වත් ගහකොල වලට පිහිටක් වන්නට නොහැකි අයුරකි. පොරෝ කියත් අවි බලය හමුවේ දෙවියන්ද සැලී ඇත.
ඉතින් අවසානයේ අපට හිමි වන්නේ නිරුදක කතරක් හෙවත් කාන්තාරයක් පමනද? මෙයට ඔබ අප සියල්ලෝම වගකිව යුතය. කැලෑ පාළුවන් හමුවුනොතින් උන්ට නම් මඩු වලිගයෙන් තැලුවාට කම් නැත. මන්ද මෙය රටේ දැවෙන ප්‍රශ්නයක් වන නිසාවෙනි.
රතු ඉන්දීය නායක සියැටෙල් පැවසූ රුවන් වැකියකින් මම නවතිමි.
"මිහි මවට හිමිවන ඉරණම ම මිහි දරුවාට ද හිමි වේ . මිනිසා ජීවය නම් වියමනහි මැවුම්කරු නොව , හේ එහි රැදෙන්නෙකු පමණි . ඔහු එම වියමනට කුමක් කළ ද එය තමාට ම කරගත්තා සරිය"
~~තේජන අබේදීර~~
No comments:
Post a Comment