Saturday 23 January 2016

සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ

සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ

මාමණ්ඩි මට ඇයි මඟහැරියේ
හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ

වෙනදා ඉඳිකඩ අද මට හරස් වෙලා
වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා
රිදී පොටක් හංගාගෙන ආවා
හීන් නගේ නුඹ නෑ දන්නේ

තටු පොරවාගෙන සැළයා කූඩුවෙලා
කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා
පහන් පැළට අද පරමල් වැඩලා
ගලේ විහාරෙත් ගොලුවීලා

තමා ආදරය කල නෑනණිඩියගෙන් ඔහුව වෙන් කරවීම නිවස ආශ්‍රිත පරිසරයට දැනුණු ආකාරයට නිර්මාණය වී ඇති අපූරු ගීතයකි,ගුණදාස කපුගේයන් සංගීතවත් කර ගායනා කල ලූෂන් බුලත්සිංහලයන් අතින් රචිත "සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ...කියන ගීතය.

සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
මාමණ්ඩි මට ඇයි මඟහැරියේ
හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ.

වෙනදා ගෙදරට පැමිණිවිට පිළිගන්නා නැන්දම්මා අද ඔහුව දැක දොර වසයි.එය ඔහු බලාපොරොත්තු නොවූ දෙයක් නිසා ඔහුගෙන්ම ප්‍රශ්න කර ගනී.මාමණ්ඩිය ද ඔහුව මඟහරී.මාමා සහ බෑණා අතර සම්බන්ධය අතිශය ලෙන්ගතුය.ඒ නිසාම දෝ ලෙන්ගතු දෙදෙනකු හැඳින්වීමට"මාමයි බෑණායි වගේ"යන කියමන යොදා ගනී.එහෙව් මාමාගේ මඟහැරයෑම ඔහු කෙසේනම් දරාගන්නද?
හීන් නගා ගෙය තුල හීනියට අඬන බවක් ඔහුට ඇසේ.මෙම සම්බන්ධය නතරවීම ඇයගේ උවමනාවට නොවූ බවත් දෙමව්පියන්ගේ උවමනාවට වූවක් බවත් එනිසා ඔහුට මූණ දිය නොහැකි බැවින් ගෙයි මුල්ලට වී සිටින වගක් පෙනේ.

වෙනදා ඉඳිකඩ අද මට හරස් වෙලා
වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා
රිදී පොටක් හංගාගෙන ආවා
හීන් නගේ නුඹ නෑ දන්නේ

ඉඳිකඩ යනු ආදරවන්‍තයිනට අපූරු ස්ථානයකි.බොහෝවිට ඉඳිකඩ අසල ඔව්නොවුන් හමුවන අවස්ථා එමටය.නමුත් අද ඔහුට ඉඳිකඩ පෙනෙනුයේ ඔවුන්ගේ සම්බන්ධයට වූ බාධකයක් ලෙසටය.

කෙනෙකු නිවසක් තුල මිනිසුනට පමණක් නොව සතුන්ට ද සමිප වේ.එබැවින් සමීපතමයෙකු ගෙදරකට එනවිට මුලින්ම පිළිගනු ලබනුයේ එම ගෙදර සුරතල් සතුන්ය.එම නිසා බල්ලා,බළලා,ගවයා..ආදී සතුන් ඔව්නොවුනට ආවේණික ක්‍රම මගින් නිවසට එන සමීපතමයා පිළිගනු ලබයි.නමුත් ඔහු එනවිට වෙනදා ඉව අල්ලන වෛරා අද වෙනතක් බලාගෙන සිටී.

අද ඔහු හීන් නඟාව බැලීම සඳහා පැමිනෙණේ රිදී මාලයක් ද අතැතිවය.එමගින් රචකයා පැහැදිලි කිරීමට උත්සාහ කර ඇත්තේ,අග හිඟකම් තිබුනද ඇයව නඩත්තු කිරීමට තරම් හැකියාවක් ඔහුට තියනවාය යන්න විය නොහැකිද?රිදී පොටක් හංගාගෙන ආවා හීන් නඟේ නුඹ නෑ දන්නේ..යන ප්‍රකාශයෙන් තමා හට ඇය රැකබලා ගැනීමට තරම් ආර්ථික ශක්තියක් තිබෙන බවත්,එය නැන්දා,මාමා දන්නවනම් මෙමෙ සම්බන්ධයට අකමැති නොවන වගක් නොහැඟෙන්නේද?

තටු පොරවාගෙන සැළයා කූඩුවෙලා
කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා
පහන් පැළට අද පරමල් වැඩලා
ගලේ විහාරෙත් ගොලුවීලා

සැළයා යනු කථාවට දක්ෂ පක්ෂියෙකි.නමුත් ඌ අද තටු පොරවාගෙන නිහඬව සිටී.ගෙදර අයගේ බුම්මාගෙන සිටීම පෙන්වීමට මෙයිට වඩා උචිත සංකේතයක් තිබේද? ගැමි ගෙදරක පිල මත කනප්පුවක් තිබීම හා ඒ මත බුලත් හෙප්පුවක් තිබීම දැකිය හැක.නමුත් එය අද පිළිවෙළකට නැත."කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා"නිවැසියන්ගේ වියවුල් සහගත ස්වරූපය මෙමගින් මොනවට පැහැදිලිය.

පහන් පැල ද ගැමි ගෙදරක අනිවාර්ය අංගයකි.වෙනදා සුවඳ මලින් පිදෙන මෙම ස්ථානයේ අද ඇත්තේ පරව ගිය මල්‍ වේ.කුමන කාරණාවක් නිසා හෝ සිදුවූ අජීවී බවක් හැඟවීමට මෙය කෙතරම්නම් යෝග්‍යද? වෙනදා දෙදෙනාට ආශිර්වාද කරන ගලේ විහාරය අද එලෙස ආශිර්වාද නොකරන වගක් ඔහුට පෙනේ.එනිසා එය ගොළු වී ඇති වගක් ඔහුට දැනේ.

මෙම ගීතය අංග සම්පූර්ණ ගැමි ගෙදරක ස්වරූපය මැනවින් චිත්තරූප වන ආකාරයට නිර්මාණය කිරීමට ලූෂන් බුලත්සිංහලයන් සමත් වී ඇත.ගුණදාස කපුගේයන් අපූරු ස්වර නිර්මාණයෙන් හා ගායනයෙන් පොහොසත් මෙම ගීතය අතිසාර්ථක ගීතයක් ලෙස හැඳින්විය හැක.

බුද්ධ්ක ප්‍රදීප්
2016.01.20.


1 comment:

Unknown said...

මීට වඩා හැන්ගුණු අරතයක් තියනවා මේකේ