Saturday, 16 January 2016

පෙනුන සුව දසුන් දස අත මිලින වී ගියා...

පෙනුන සුව දසුන් දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවී හිතකට දෙවනව ද ඔයා
යහන මත වඩී හිරු දෙවි දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා...

සෙල්ලම් ගෙවල් තනා ගෙන වැලි බත් උයා කවා
වල් කොල කොටා දියේ මුසු කර තේ හදා පොවා
සැලැකූ ළමා වියේ සැලැකිලි නොමැත මඟ හැරී
මට ආදරෙයි කියන්නකෝ මුවඟින් අමා පිරී...

ඇංද රතු වළා සිතුවම් හකුළුවා තියා
සිතරු පෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා
සීත සඳ නැගෙයි පෙරඹර කෞළු දොර අයා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා…

හමු වුනි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරී
ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී
පාළුව ළැගුම් ගනී හද තුළ පතුල එරි එරී
මට ආදරෙයි කියන්නකො මුවඟින් අමා පිරී...

ගායනය: හෙන්රි කල්දේරා

පුංචි කාලෙදි ලඟට ම වෙලා සෙල්ලම් කරපු යෙහෙලිය කවද හරි දවසක තමන්ගෙම බිරිඳ කර ගන්න පෙරුම්පුරන මිතුරොත් ඕන තරම් ඉන්නවා නේද?. ඒ වගේ හිතන පිරිමි ළමයෙකුගෙ සිතුවිලි ගීතයකට මුසු වුන වෙලාවක් ගැනයි මං මේ කියන්න යන්නෙ. හෙන්ඩ්රික කල්දේරා කියන්නෙ ළයාන්විත හඬක් තියන කාලයක් ඔහුගෙ එක කැසට් පටයක් හැම නිවසකම වගේ රැව් පිෟ රැව් දුන්න, සීමිත ගීත ප්රමාණයක් ගායනා කල විශිෂ්ඨ ගායකයෙක්...
ඔහුගෙ ගීත අතරින් මගෙ හිත මේ ගීතයට වැඩියෙන්ම ඇදුන හේතු කීපයක්ම තිබුනා. එකක් තමයි මේ ගීතයේ තියන සාහිත්යමය වචන වලට ඒ වගේම තනුවට වගේම විශේෂයෙන් ගීතයට පාදක කර ගෙන තියන සිද්ධි මාලාවට...

පෙනුන සුව දසුන් දස අත මිලින වී ගියා,
දකිනු රිසි නොවී හිතකට දෙවනව ද ඔයා,
යහන මත වඩී හිරු දෙවි දෙ ඇස පිය පියා,
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා...

තමන් බලාපොරොත්තු වෙන ආදරය ළැබෙයිද නොලැබෙයිද කියන තැන ඉන්න කොට දැනෙන වේදනාව විරහ වේදනාවටම සමානයි කියලයි මට නම් හිතෙන්නෙ. වෙලාවකට සුන්දර මතකයන් එක්ක වෙනම ලෝකෙක, තවත් වෙලාවක ඒ ආදරය නොළැබෙන බව විතරක්ම හිතෙන මනසට එන වේදනාත්මක හැඟීම්. මේ ගීතය තුලත් ඒ සුන්දර මතක වගේම වේදනාවට පත් වෙන ආකාරය පද රචකයා මනාවට ඉස්මතු කරලා තියනවා...මෙච්චර කාලයක් හීන මවපු ඒ ලෝකෙ ඉවර වෙලා ද කියන ගැටළුව ඔහුගෙ හිතට හැම වෙලාවකම එන ප්රශ්නයක්... ඒ විතරක්ම නෙමෙය්. ප්රේමය කියන්නෙ වෙලාවකට ආත්මාර්තකාමී හැඟීමක්... හේතුව තමන්ගෙම කර ගන්න උත්සාහ කරන නිසා... ඉතින් තමන්ගෙමයි කියලා හිතෙන මේ යුවතිය වෙන කෙනෙක්ගෙ වෙලාද කියන වේදනාත්මක සිතුවිල්ල හැම වෙලාවකම මොහුගෙ හිත පාරවනවා. කුඩා කාලය තුල මැවුන සිතුවම්, ඒ දසුන් සැරෙන් සැරේ තමන්ගෙ හිතට එන බව පවසන්න පුදුම උපමාවක් යොදා ගෙන තියෙන්නෙ.
“යහන මත වඩී හිරු දෙවි දෙ ඇස පිය පියා”
ඒ කොහොම වුනත් “ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා”

ඔහුගෙ කුඩා කාලය ගැන හිතමින් ඒ සැලකිලි ආදර ලොවේදි බලාපොරොත්තු වෙන හැටි කියන්නෙ නම් හරිම අපූරු විදිහට... සෙල්ලම් ගෙවල් හැදුව වගේ ඇත්තම මාලිගාවක් හදලා කැන්දන් එන්න, ඒ සෙල්ලම් ගෙදර ඉඳන් වැලි බත් උයලා කන්න දුන්න වගේ රස මසවුලු හදලා ඇත්තටම කවල පොවලසැලකුම් ලබන්න, ඒ නොතේරෙන පුංචි වයසෙදි වල් කොල කොටලා වතුරත් එක්ක මුසු කරලා තේ විදිහට බොන්න දීපු ඒ යුවතිය ඇත්තටම කාන්සිය මහන්සිය දැනෙන වෙලාවක තේකක් අතින් අරන් එන හැටි බලන්න ඒ ඔහුගේ සිතුවිලි.. ඒ ළමා වියේ සැලකුව සැලකිලි ඔහු දැනුත් බලාපොරොත්තු වෙන හැටි හරිම අපූරු විදිහට පද රචකයා ගීතයට ගෙනත් තියනව...

සෙල්ලම් ගෙවල් තනා ගෙන වැලි බත් උයා කවා,
වල් කොල කොටා දියේ මුසු කර තේ හදා පොවා,
සැලැකූ ළමා වියේ සැලැකිලි නොමැත මඟ හැරී,
මට ආදරෙයි කියන්නකෝ මුවඟින් අමා පිරී...

මුළු දවස පුරාම හිරු නමැති සිත්තරා කරන්නෙ ලස්සන සිතුවම් අඳින එක... ලස්සන මල් පුබුදන එක, හිරුත් එක්කම ඇහෙන කුරුළු ගී හඬ, පිබිදෙන සතුන්, මිනිසුන් ඒ හැමදෙයකින්ම සුන්දර ලෝකෙක සුන්දර සිතුවමක් අඳින්න හිරු එලිය සමත් වෙනවා... හැබැයි සැන්දෑ කාලය වෙන කොට ඒ හැම සිතුවමක්ම හකුලලා හිරු නමැති සිත්තරා අඳුරට ඉඩ දීල යන්න යනවා... ඇයත් එක්ක ගෙවුන මොහුගෙ කුඩා කාලයත් ඒ වගේම ලස්සන සිතුවම් වලින් පිරුන සුන්දර ලෝකයක්... ඔහුගෙ ලෝකෙට හිරු වගේම එෟය ගෙනාව ඇය දැන් ඒ හැම සිතුවමක්ම හකුලලා තියලා කඳුල ඉතිරි කරලා වෙන හිතක් හොයා ගෙන යන්න ගිහින් ද? ඔහුට පැනයක්.. ඒ වගේම සුන්දර මතකයන් අතරට පැමිණුන නොලැබෙයි කියල හිත පාරන වේදනාත්මක හැඟීමක්...

ඇංද රතු වළා සිතුවම් හකුළුවා තියා,
සිතරු පෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා,
සීත සඳ නැගෙයි පෙරඹර කෞළු දොර අයා,
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා...

රුවට වශී වෙනවට වඩා කෙනෙකුගෙ ගති ගුණ වලට ආදරේ කරන්න පුළුවන් නම් ඇත්තටම ඒක තමයි සැබෑම ආදරේ... හේතුව කවද හරි ජීවත් වෙන්න වෙන්නෙ නැති වෙන රූපෙට වඩා හැමදාම ලඟ තියන ගුණ සුවඳට... මේ ප්රේමවන්තයත් ආදරේ කරන්නෙ ඒ යුවතියගෙ ගති ගුණ වලටයි... ඔහුට කෙතරම් මල් වැනි රුවැති ලඳුන් මුණගැහුනත් ඒ හිත වෙනස් නොවී ඇය ගැනම හිතන්නෙ ඒ නිසාම වෙන්න ඇති...

හමු වුනි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරී,
ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී,
පාළුව ළැගුම් ගනී හද තුළ පතුල එරි එරී,
මට ආදරෙයි කියන්නකො මුවඟින් අමා පිරී...

කිසිම තර්ජනයකින් තොරව හරිම ආදරනීය විදිහට, ආයාචනාවක් කරනවා ඒ ආදරේ ඔහුට දෙන්න කියල...
“මට ආදරෙයි කියන්නකො මුවඟින් අමා පිරී”
ඔහු කොතරම් වේදනාවට පත් වුනත් ඒ ආයාචනය හරිම ආදරනීය ඇරයුමක් නේද? මේ ගීතය එක වරක් හරි රසවිඳින්න මං ආරාධනා කරනවා... වචන ටිකකට වඩා සංගීතය සමඟ ඇහුම් කන් දෙන කොට දැනේවි කොච්චර ලස්සන ද කියලා...

~~ඉශානි ප්‍රදීපිකා~~


No comments: