මිදුලේ දුවපැන නටනා
පුතුගේ අතේ ගල් අහුරක්…
කුරුමානම වැරදුනාට
කමක් නෑ පුතේ…
සතුනට හිංසා වද දී
නොවෙන් පුතේ දඟ ළමයෙක් …
පුංචි කමට නොදැන කරන
වැරදි වලට සමානොවී
කෝටු පාර ඉඳ හිටලා
නුඹට තලද්දී ...
නෙත කඳුලින් නුඹ හඬද්දි
හිත කඳුලින් මම හැඬුවෙමි
නිල් කටරොළු...
කිරිකළ හත පෙවී නුඹට
පා පොඩි එසවුනු දා සිට
සුරතල් සිහිනයකි මගේ
ළය මුළුගැන්වී රැඳුනේ
නුඹ හොඳ මිනිහෙක් වන දා
මල් පිපියන් මගේ සිහිනේ
ගායනය: සුනිල් එදිරිසිංහ
ගේය පද: සුනිර් ආර් ගමගේ
සංගීතය: රෝහන වීරසිංහ
පුතා මිදුලේ සෙල්ලම් කර කර ඉන්නවා දැකලා මාත් ඒ පැත්තට ගියා බලන්න. ඔහුගේ අතේ නම් තිබුනේ සෙල්ලම් කාරයක්. නමුත් ඔහුගේ අවධානය තිබුනේ වෙන තැනක. සමනළයෙක් මලකට වහලා පැනි බොනවා. ඔහු ඒ දෙස නෙත් නොහෙලා බලා සිටිනවා. ඔහු ඉතා සීරුවෙන් සෙල්ලම් කාරය බිම තබලා යලිත් ඒ දෙස ඕනෑ කමින් බලා සිටිනවා. ඒ එක්කම ඔහුගේ දෑස මිදුලේ ඇති බොරලු ගල් වලට යොමු වුනෙන් මා තරමක් කලබල වුනා. නමුත් මට එකවරම සිහියට නැගුනේ ඔහු සතුන් කෙරේ දක්වන දැඩි ආශාව හා ලෙන්ගතුකම. ඒනිසා මම ක්ෂනික කලබලය නවතා නැවත ඔහු දෙස බලා සිටියා. ඔහුගේ මුවින් සිනා නැගෙනවා, බලන් ඉන්න ආසයි. ඔහු මා දෙසට හැරී එය නරඹන ලෙස මටත් පැවසුවා.
ඉතින් මෙහෙම බලා ඉද්දී මට මතක් වුනා සුනිල් ආර් ගමගේ රචනා කල ඉතාමත්ම ලස්සන ගීතයක්. මෙය ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහයන්. සංගීතය රෝහන වීරසිංහයන්ගෙන්. ගේය පද දිහා බැලුවම එය ඉතා ඉහල ගනයේලා සැලකිය හැකියි. මොකද තම ගෙවත්තේ තම ඇස් පනාපිට සිදුවන දේකින් අරඹා ඉතා ඈතකට අප ගෙනයාමට සමත් වන පද පෙලක්.
පුංචි ළමයි හරියට මල් වගේ කියලා කියනවා. ඔව් ඉතින් ඒ කතාව ඇත්ත තමයි. වෙලාවකට මේ මල් බාඳුරා බවට පත්වෙන වෙලාවනුත් තියනවා. ඒ ඉතින් ගොඩක් වෙලාවට ඔවුනගේ නොදැනුවත්කම නිසාවෙන්. මම ලබපු අද්දැකීමෙදිනම් සමනළයාට හින්සාවක් නොවුනත් මේ කියැවෙන දේ සමහරවිට ඔබ අත්දැකලා ඇති. මේ පුංචි පැටවි සමනළයාට ගලකින් ගසන්නේ තරහකට නොවේ. ඌට ඇති ආසාව නිසාවෙන්මයි. ඉතින් බලන්න මේ ගීතයේ පියා ඒකේ තිබෙන වැරැද්ද ළමයාට පෙන්වා දෙනවා. මෙතැනදී සුනිල් ආර් ගමගේ පද හසුරවන ආකාරය බලන්න.
'කුරුමානම වැරදුනාට කමක් නෑ පුතේ…සතුනට හිංසා වද දී නොවෙන් පුතේ දඟ ළමයෙක්'
පොඩි ළමයින්ගේ දඟ වැඩ නම් කෙලවරක් නෑ. මේ ගැන ඉතින් දිලානි, යසසි, බණ්ඩාර, නිරොෂා ගෙන් ඇහුවොත් කියයි හොඳට. සමහර වෙලාවට මේ කරන වැඩ වලට ගුටියක් නොදීම බැරිවෙන අවස්ථා තියෙනවා. ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේද ඒ ගුටි කාලා පුංචි පැටව් අඬද්දී ඔබට දැනෙන හැඟීම. අපේ පුතානම් තරවටු කරාම අඬන්නේ බොහොම කලාතුරකින්. ඔහු ඒවා කාගෙන ඉන්නවා. හැබැයි ගොඩක් දුක හිතුනම පැත්තකට ගිහිල්ලා අමුතු මූණක් හදාගන්නවා. මට නම් ඒ මූණ බලන් ඉන්න හරිම අමාරුයි. මට ඇඬෙන්න වගේ, ඉතින් මම ගිහින් ඔහුව බදාගෙන සනසනවා. මේ ටික කියනකොට ඔබේත් අත්දැකීම් හිතට ගලාගෙන එනවා නේද? ඒක තමයි ආදරය....
'නෙත කඳුලින් නුඹ හඬද්දි
හිත කඳුලින් මම හැඬුවෙමි'
දෙමාපියන් විදියට දරුවන් ගැන අපි නොයෙකුත් සිහින දකිනවා. ඇත්තෙන්ම කිව්වොත් හැමෝටම වුවමනා තම දරුවා සමාජයේ පිලිගැනීමක් තිබෙන, බුද්ධිමත් මිනිසෙකු කරන්න. අපි ඉතින් සමහර වෙලාවට කියනවා අපිට ඕනේ දරුවව සල්ලිකාරයෙක් කරන්න නෙමෙයි රටට වැඩදායි මිනිහෙක් කරන්න කියලා. ඒත් ඉතින් හදවතට තට්ටු කරල හොඳින් ඇහුවොත් හොඳ රැකියාවක් කරල අතමිට යහමින් ඉන්නව දකින්න නේද වැඩියෙන් කැමති. කමක් නෑ....
මේ ගීතයේ හැටියට ඒ තාත්තාගේත් සිහිනයක් තිබෙනවා. ඒ තාත්තාට අවශ්‍ය තම පුතා හොඳ මිනිහෙක් කරන්න. ඒක සුරතල් සිහිනයක් විදියට තමයි රචකයා දකින්නේ.
'නුඹ හොඳ මිනිහෙක් වන දා
මල් පිපියන් මගේ සිහිනේ'
කුඩා කාලය කියන්නේ කෙළි දෙලින් ගත කලයුතු කාලයක්. නැතුව ලොකු වෙලා සෙල්ලම් කරන්නයැ. ළමා කාලය ඒ අයුරින් විඳීමට ළමයාට ඉඩ ලබාදීම දෙමව්පියන්ගේ යුතුකමක්. අපි කුඩා කාලයේ කල දේ වලින් කීයෙන් කීයද අද අපේ දරුවන්ට කරන්නට ඉඩ ලැබිලා තිබෙන්නේ. පරිසරයේ වෙනස්වීම, සමාජයේ වෙනස්වීම, තරඟකාරීත්වය මේ ආදී බොහෝ දේ නිසා ළමා කාලය නිරපරාදේ නාස්ති වෙනවා කියා තමා මගේ හැඟීම. දෙමාපියන් විදියට අපේ අතිනුත් අතපසුවන දෑ බොහොමයි. වෙල් එලිවල, ඇල දොලවල සෙල්ලම් කිරීමට ගස් උඩ නැගලා ගඩා ගෙඩි කැඩීමට කැළෑ පැනීමට ආදී අපි කල හැමදෙයක්ම ඔවුනට ලබාදීමට නොහැකිවෙන්නට පුලුවන්. නමුත් හැකි තරමින් මේ පුංචි පැන්චියන්ට ඔවුන්ගේ ළමා කාලය විඳින්නට ඉඩ හැරීම අපේ වගකීමක්.
~~තේජන අබේදීර~~
No comments:
Post a Comment