Thursday 17 December 2015

දවසක් පැල නැති හේනේ.......

දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැටුනා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ

කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ..

ගායනය: ගුණදාස කපුගේ
ගේය පද: රණ්බන්ඩා සෙනෙවිරත්න


ගුණදාස කපුගේ මහතා විසින් ගායනා කරන මේ ගීතයෙන් කියවෙන දේ ගීපද රචක රන්බණ්ඩා සෙනෙවිරත්න මහතාගේ ජීවිතයට හුඟක්ම සමීපයි. තමන්ගේ කුඩා කාලය ගැන තමන්ගේ අම්මා ගැන සහ ජීවිතයේ සිදුවුණු වෙනස්කම් ගැන ගීතයේ සඳහන්.
භාෂා භාවිතයේ ඉතා අලංකාර තැන කිහිපයක් ගීතයේ දක්නට ලැබෙනවා. වචන වල තේරුමට වඩා එහා ගිය ගැඹුරු අරුතක් ගීතය සතුයි. එවැනි අවස්ථා කිහිපයක් පහතින් දැක්වෙනවා.
ගීතය පටන් ගන්නේ "දවසක් පැල නැති හේනේ" යන පද පේලියෙන්. පැල නැති හේනක් කියන්නේ කිසිම ආරක්ෂාවක් නැති තත්වයක්. පියා නැති පවුලකටත් ඒ වගේ. පියා නැතිව අම්මා තනිවම ගැටළු වලට මුහුණ දුන්න.

"පායන තුරු හිටි පියවර හිටිය ඔබ අම්මේ "

කියන්නේ අම්මා තවත් කසාදයක් කරගන්නේ නැතුව ප්‍රශ්න වලට තනිවම මුහුණ දීගෙන හිටිය එක කියල සමහර තැන වල සඳහන් වෙනවා.

"නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුන දා
බිරිඳකගේ සෙනෙහෙ ගිය යෝධ ඇලේ නැම්මේ "

තරුණ වියට එළඹුණු ඔහු නගරයට ගියා. එහිදී ඔහුට හමුවුණු කාන්තාවක් විවාහ කරගත්තා. මෙහි කියවෙන යෝධ ඇලේ නැම්මේ කියන කොටස ගැන කිහිප තැනකින් ඉතා අලංකාර විචාරයන් හොයා ගන්න පුළුවන් උනා. ඒවගේ සඳහන් විදිහට යෝධ ඇල කියන්නේ සැතපුමට අඟලක බැස්මක් තියෙන ඇළක්. ඒ වගේම තමා බිරිඳගේ ආදරයත්. ටික කලක් ගියහම තමයි තේරෙන්නේ ඇත්ත තත්වේ. නමුත් අම්මගේ ආදරය ඒ වගේ නැහැ. සදාකාලිකයි.
බිරිඳ ඔහු හැර ගියහම අම්මගේ සෙනෙහස මතක වෙනවා.

"ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ"

ගීයේ අවසානය විලාපයක්. එයින් අදහස් වන්නේ තවදුරටත් අම්මා ඔහු එන තුරු බලා සිටීමට ජීවතුන් අතර නැති බවයි. වෙනත් අදහස් තියෙන්න පුළුවන්. ගීතය අසා ඒ ගැන තීරණය කිරීම ඔබ සතුයි. රන්බණ්ඩා සෙනෙවිරත්න මහතාගේ ජීවිතයට සමීප, මවු ගුණ ගැන කියවෙන මෙම ගීතය සිංහල ගීත ඉතිහාසයේ එන ඉතාම ගැඹුරු අරුතක් සහිත ගීතයක්...

~~මනෝජ් අසංක~~




No comments: