Thursday 17 December 2015

චන්ද්‍ර මණ්ඩලේ සැඟවුන පුංචි සාවියේ(2)

ඔයාලා කාටහරි තියනවද කොච්චර ඇහුවත් පරණ වෙන්නේ නැති, ආය ආය ඇහුවට ඒක මුලින්ම අහනකොට දැනුන හැඟීම මැරෙන්නේ නැති සිංහල සිංදු.


'අපේ බත් පිඟාන මුහුද ඇවිත් අරන් ගිහින්...' කියන සිංදුව ඇහෙනකොට අදටත් මගේ පපුවේ මොකක්දෝ ලොකු ගුලියක් හිරවෙනවා වගේ. 'සුදු මුදු රළ පෙළ කිඳුරු කොදෙව්වේ පාවඩ පලස එලා..' කියන්නෙත් මගේ ලෝකෙ පරණ වෙන්නෙ නැති සිංදුවක්. ඒ වගේ සිංදු ගණනාවක්ම තියනවා.

මම ඉස්සර ඉඳලම හරි ආසයි තනුවට ගායනයට වඩා පද වැල විඳින්න. මට ඒකෙ අමුතු රහක් තියනවා. ඒත් මේ ජීවිත කාලෙදි වැඩිපුරම දැනුන සිංදුව මොකක්ද කියලා ඇහුවොත් මට කියන්න එකක් තියනවා. මේ ආසම එක නෙවෙයි හොඳේ. හොඳටම දැනුන එක. ඒක කොච්චරවත් අහලා ඇති. ටිකක් චූටි කාලෙ හිතන් හිටියෙ හඳ ගැන කියන්නේ කියලා. ඒත් ඒක හරියටම දැනුනේ කතාව තේරෙනකොට.


"චන්ද්‍ර මණ්ඩලේ සැඟවුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පහන නිවුන සේ පාලුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ..."

හැමෝම අහලා ඇතිනේ. මේ සිංදුවේ නිධාන කතාව කියවලා දවස් ගාණක් යනකල්ම මට මේ වචන පුදුම විදියට දැනුනා. චිත්‍රපටියක් වගේ ඒ රූපෙ හිතේ ඇඳෙන්න ගත්තා. අම්මත් නැතුව කාගෙවත් සරණක් නැතුව දහදුක් විඳලා බඩට නොකා හදාගත්තු එකම කෙල්ල, තමන් ආදරේ කරන කොල්ලත් එක්ක පැනලා යනකොට "පට්ට..." කියලා පටන් අරන් අර කෙල්ලගේ පැටිකිරිය දිගහරින තාත්තලා ඉන්න සමාජෙක 'චන්ද්‍ර මණ්ඩලේ සැඟවුන පුංචි සාවියේ..' කියලා ඒ තාත්තා දරුවට ආමන්ත්‍රණය කරද්දි මගේ හිත හිරි වැටුනා. ඇත්තමයි. අනෙකාට එහෙම ආදරේ කරන්න පුලුවන් අපි කීයෙන් කීදෙනාටද? අපිට එහෙම ආදරේ කරන්න පුලුවන් නම්... 'ගෙදර පහන නිවුනා' වගේ. මුලු ගේම අඳුරුයි. මට පාලුයි. මේ තාත්තා කෙනෙක්.

'ලාබ රත්තරන් දිලිසෙන පාලු වීදියේ
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ'
පැනලා යන එක මට මැජික් එකක් නෙවෙයි පුතේ. ඒක තුන්කල්හිම වෙන සහ වෙන්න පුලුවන් බොහොම සරල සිද්ධියක්. ඉස්සරත් ඕනෙ තරම් එහෙම දේවල් උනා. ඒත්,
'උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේ...'
මෙච්චර ආදරේ කරපු දරුවා අතරමංවෙයි, තනිවෙයි කියන බය විතරමයි තියෙන්නේ. වෛරය තරහව අහලකවත් නෑ. ඇත්තමයි. මේ වචන ලියද්දිත් හිත හිරිවැටෙනවා.

'මාල බැඳන් සුදු යකඩින් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ..'
ගේ වටේ පාරෙ කැරකුන කොල්ලෝ සුදු යකඩ මාල බැඳන් හිටියේ. වයිට් ගෝල්ඩ් නෙවෙයි. "මගේ කෙල්ලට අඳින්න පලඳින්න දෙනවා තියා කන්නවත් නැද්ද දන්නේ නෑ!..." කියන ඔක්කොම එතන තියනවා. ඒත්
'හීනෙනුත් දැනුනෙ නෑ මට මොකද කාරනේ..'
දැන් කෙල්ල ගිහින් ඉවරයි. කොහේ ඉන්නවද කියලවත් දන්නෙ නෑ. ඒ උනත් නිකමටවත්, හීනෙන්වත් මම කොහොම හිතන්නද මගේ කෙල්ල මට එහෙම කරයි කියලා.
ඒත් අන්තිමට "මගේ මරණෙටවත් තෝ එන්න එපා.." කියලා කියන්න පුලුවන් තරම් දුකක් තනිකමක් හිතේ තියෙද්දි "පාර මතක නම් තාමත් ගේ ලඟයි දුවේ..." කියනකොට හිත කීරි ගැහෙනවා. ඇයි අපිට බැරි මෙහෙම ආදරේ කරන්න. කොච්චර අපිව රිදෙව්වත්.

~~නිසංසලා රත්නායක~~


1 comment:

Anonymous said...

හරි ලස්සනයි