පැන ගිය මුවන් ළග හැලුනයි නෙලූ පලා
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා
කස්තුරි කපුරු කෑ තරමට එපා වුණී
තිත්තයි අනේ තිත්තයි මී වදේ පැණී
ඇස් රතු කළ කොලොප්පමකට හිනාවුණී
මහමෙර වගේ නුඹ නොදොඩා බලා වුණී
මෝල් ගහත් ඇවිලුණි කරුම ගින්නට
උණුහුම මදි වුණා ඔය පැලෙ ඉන්නට
ආගිය මාවතක් කිම නෑ පෙනෙන්නට
අම්මේ දොර හරින් නුඹෙ පොඩි හිගන්නිට
ගායනය:ඉන්ද්‍රානි බෝගොඩ
මෙය වචනයේ මතුපිට අර්ථයට වඩා ගැඹුරු අර්ථයක් කැටි වූ ගීතයක්.ඒ වගේම සමාජයට වටිනා ආදර්ශයක් සපයන ගීතයක්.මෙයින් කියවෙන්නේ අම්මාගේ උණුසුමින් මිදිලා තම පෙම්වතා සමග ජීවිතේ සතුට සොයාගෙන නික්මුණු තරුණියක් ගැනයි.නමුත් ඇය සිතූ පැතූ ආකාරයේ ජීවිතයක් ඇයට උරුම වී නැහැ.ටික කලක් ගත වෙද්දී ඇය තේරුම් ගන්නවා ඇය මුලා වී ඇති බව.ඇයට සිදු වෙනවා නැවත ඇගේ මව වෙත යන්නට.
විදුලිය එලිය දැක ගිනිහුල දියේ හොවා
මග වැරදිලා දිව්වේ ම0 මුලා වෙලා
ඈතින් පෙනුණු විදුලි එළියකට රැවටී මේ තරුණිය සිය අතේ තිබුණ ගිනිහුල එහෙම නැත්තන් ආලෝකය නිවා දමනවා.ඒ කියන්නේ ඇය සිය ඉගෙනීම් කටයුතු හෝ රැකියා කටයුතු සිය ආදරය වෙනුවෙන් අතරමග නතර කර දමනවා.ඇගේ ජීවිතේ සියලු දේ අරුත්සුන් ආදරයක් වෙනුවෙන් කැප කර අවසන්.ඒකයි ඇය කියන්නේ පැන ගිය මුවන් ළග හැලුනයි නෙලූ පලා කියලා.රැවටිලිකාර ආදරයකට හසු වී මුලා වූ පසු අවසානයේ ඇය මවගෙන් සමාව අයද සිටිනවා අම්මේ මට සමාවෙලා මාව ආයෙත් බාරගන්න කියලා.
කස්තුරි කපුරු කෑ තරමට එපා වුණී
තිත්තයි අනේ තිත්තයි මී වදේ පැණී
කස්තුරි කපුරු කියන්නේ ආහාරයට ගන්න පුලුවන් දෙයක් නෙමෙයි.ඇයට විදින්නට සිදු වූ දුක් ගැහැට ඒ තරමටම නීරස බව හා සතුට,සොම්නස පැතූ ජීවිතය ඉතාමත් අමිහිරි බව ඇය පවසනවා.ඒ වගේම ඇය මේ තරම් විශාල වරදක් කළත් ඇගේ මව මහමෙර වගේ නොදොඩා නොසැලී සිටීම ඇයට ප්‍රශ්නයක්.මව මේ තරුණියගේ සිතේ ඇති දුකට වඩා දුකක් සිතේ සිර කරගෙන සිටිනවා විය හැකියි.
මෝල් ගහත් ඇවිලුණි කරුම ගින්නට..ඒ කියන්නේ මේ ගින්දර සුලු පටු ගින්දරක් නෙමෙයි කියලා.ඇය විදි අනේක දුක් වේදනාවන්හි ඇති දරුණු බවයි ඒ කියන්නේ.අම්මාගේ උනුහුම මදි වී ඇගෙ තුරුලින් මිදී මවගේ පැලෙන් නික්ම ගිය වරදට ඇය පසු තැවෙනවා.නමුත් සියල්ල සිදු වී අවසානයි.ඇයට ජීවිතේ ඉදිරි ගමන් මග අපහැදිලියි.ජීවන ගමනේ ආගිය මාවත් සොයා ගත නොහැකිව ඇය අතරමන් වෙලා.තම දරුවන්ගේ වැරදි වලට නිදහසට කරුණු නොවිමසාම සමාව දෙන ආදර මෑණියන්ගෙන් අවසානයේ ඇය ඉල්ලා සිටිනවා අම්මේ දොර හරින් නුඹෙ පොඩි හිගන්නිට කියලා.ආයෙම ඔය පැල්පතට එන්නට මට අවසර දෙන්න කියලයි ඒ කියන්නේ.
~~යෝජිකා සංජීවනී~~
No comments:
Post a Comment