“ආශා දැහැනින් වැනසී යාදෝ
යුගදිවි ගමනේ සොඳුරු ගති ?...”
දෙදෙනෙක් විවාහ ජීවිතයක් ආරම්බ කරන්නෙ දෙමව්පියන්ගෙ වගේම සියළු නෑදෑයන්ගෙ ආශිර්වාදයත් එක්ක හැමදාම දුක සැප බෙදා ගනිමින් සතුටින් ජීවත් වෙන බවට පොරොන්දු වෙලා වගේම ආශිර්වාද අරගෙන... බිරිඳක් නම් සැමියාව හොඳින් රැක බලා ගැනීම, කැමති කෑම ජාති උයලා දෙන එක, ගොඩක් ආදරෙන් කල් ගත කිරීම, අගය කිරීම වගේ දේවල්කරන්න පෙලබෙන්නෙ නිරායාසයෙන්මයි... සැමියෙකුත් ඒ විදිහටම බිරිඳගෙ ඕනෑ එපාකම් හොයල බලමින්, ලස්සන දේවල් වලින් සංග්රහ කරමින් ගොඩක් සතුටින් තියන්න උත්සාහා කරනවා... හැබැයි විවාහ ජීවිතයක් තුලදි තන්හාව අධික වුනොත්, සමහර විට සැමියට බිරිඳ අමතක වෙනවා... මේ තන්හාව මුදල් හම්බ කිරීමටම පමණක් වෙන්නත් පුළුවන්... නැත්තම් වෙනත් කාන්තාවකට තන්හා සිතක් ඇති වෙන්නත් පුළුවන්... අනෙක් අතට කාන්තාවකටත් වෙනත් පිරිමියෙකු කෙරේ තන්හාවක් ආශාවක් ඇති වෙනවා වගේම, සැමියගෙ මුදල් වැරදිලා හරි පව්ලෙ වෙන කෙනෙකුට වියදම් කලොත් ඒ සල්ලි ටික නංගිට වියදම් කලා නේද? මෙච්චර වැඩ තියෙද්දි අක්කට දුන්නා නේද වගේ ප්රශ්න ඇති වෙන්න පුළුවන්... මේ හැම තැනකදිම තීරණයක් ගන්නකොට දෙදෙනාම සාකච්චා කලා නම්, තමන්ගෙ හිතට එන තන්හාව, ආශාව උහුලන්න පුළුවන් වුනා නම් මේ ගැටළු නෑ නේද?...
උහුලනු හැකි වෙද තන්හා ආශා,
සඟවනු හැකි වෙද සිතුවිලි මාලා,
ඉවසනු හැකි වෙද සෝ දුක් සංකා,
තන්හාව ආශාව උහුලන්න පුළුවන් වුනොත් ඒ ආශ්‍රිතව හට ගන්න සිතුවිලි සඟවන්න පුළුවන් වේවි... ඒ වගේමයි හැම වෙලාවකම සතුටක් ම පතන්නෙ නැතිව වේදනාත්මක අවස්ථාවනුත් ඉවසන්න හැකි වේවි... එහෙම නොවීම තුළ අවසානය, ආශා දැහැනේ වැනසී යාම පමනක්ම සිදු වේවි... මෙහෙම පටන් ගන්න ගැටළු ටික ටික වැඩි වෙන්න පටන් ගන්නවා... ඊටපස්සෙ මුළු ලෝකෙටම පේන්න පෝරුවක් උඩ අත් පැන් වක්කරලා දෑඟිලි පටලලා බැන්ද වරපට නැතිනම් රන්හුය බිඳෙනවා.... ඒ කියන්නෙ දෙදෙනෙක් වෙන් වෙන එක... එතකොට ඉස්සර ඉඳන් ප්රාර්තනා කරපු ජීවිතේ ඒ බලාපොරොත්තු කොහෙද? ඒ ආදරේ වපුරපු සරු කෙත දැන් විනාශ වෙලා ඉවරයි... ආශාව නිසා වැනසුන මේ ජීවිතය තුල අත්වැල් ගිලිහුනාට පස්සෙ ඉදිරියක් ගැන සිතේවිද? ඊටපස්සෙ ආශාව මුල් කර ගෙන ජීවිතේ විනාශ කර ගත්ත දෙදෙනාම ඒ හැමදේම පැත්තකට දාලා ඇයි මට මෙහෙම වුනේ, මොකක්ද කල වැරැද්ද, කොහොමද මෙහෙම වුනේ වගේ ප්රශ්න තමන්ගෙන්ම අහනවා වගේම ලෝකෙන්ම ගැරහුම් විඳිනවා... ඉතින් දැන් අතීතය තුළ මතක ආවර්ජනය කරමින් ජීවත් වෙනවා හැරෙන්න, ඒ ගැන සිතමින් දුක් වෙනවා හැරෙන්න පෙරමඟට යන්න ලකුනක්වත් සිතේ නැති වෙනවා...ඒ විතරක්ම නෙමෙයි... දෙදෙනාගේම සෙනෙහසේ ප්රතිඵලයක් වුන දරුවන්? ඔව්නුත් වේදනාවට පත් වෙනවා... අමරසිරි පීරිස් ගායකයාණන්ගෙ මේ ගීතය හරියට වෙලාවකට බණ පදයක් වගෙයි මට නම් දැනෙන්නෙ... හැම වෙලාවකම දෙදෙනාම දෙදෙනාගේම සතුට වෙනුවෙන් ජීවත් වුනා නම්, කැප වුනා නම්, අවබෝධයෙන් ජීවත් වුනා නම් මෙවන් අත්වැල් ගිලිහීම්, දික්කසාද නඩු අඩු වෙවි නේද?...
අත්වැල ගිලිහී ලොව තනි වුදා
දකිනා පෙරමඟ ලකුණු නැති
ආශා දැහැනින් වැනසී යාදෝ
යුගදිවි ගමනේ සොඳුරු ගති ...//
උසුලනු හැකිවෙද
තණ්හා ආශා
සඟවනු හැකිවෙද
සිතුවිලි මාලා
ඉවසනු හැකිවෙද
සෝ දුක් සංකා
ආශා දැහැනින් වැනසී යාදෝ
යුගදිවි ගමනේ සොඳුරු ගති
දෑඟිලි එක්කල
වරපට දෙදරා
සෙනෙහස වැපුරූ
සරු කෙත වනසා
පුහුදුන් හදවත
සෝගිනි දල්වා
ආශා දැහැනින් වැනසී යාදෝ
යුගදිවි ගමනේ සොඳුරු ගති
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ජයතිස්ස බොරළුගොඩ
තනුව - කළණි පෙරේරා
~~ඉශානි ප්‍රදීපිකා~~
No comments:
Post a Comment