Saturday 19 December 2015

සූ සැට බරණින් සැරසීලා....

සූ සැට බරණින් සැරසීලා
නා කපනා වැහි වැටෙන වෙලේ
විශාකා තොමෝ පැමිණි විලාශෙන්
මට එන්නට බෑ නිසන්සලේ

පමා වුනෝතින් මන්දාරම් වැහි
පලාපු දර ටික තෙමා දමාවී
පමා වුනෝතින් රත්තියි පැටියයි
ඕවිට අයිනේ තෙමී නැහෙයි

පමා වුණොත් දොළ දෙගොඩ තලාලා
ඒ දඩු මන්කඩ අගුලු දමාවී
එහෙම උණෝතින් උපුලියි චූටියි
කදුලු වතුර බී බලා ඉදියි...

විශාකා සිටු දේවිය ගැන ඔය හැමෝම අසා ඇති.එක් අවස්ථාවක ඇය සිය යෙහෙලියන්,සේවිකාවන් සමග මහමග ගමන් කරන අතරතුර මහ වර්ෂාවක් ඇද වැටුනා.ඇය සමග සිටි අන් සියල්ලෝම වර්ෂාවෙන් බේරීමට කලබලයෙන් දිව ගියත් විශාකාව සිය සන්සුන් ගමන් විලාසය අත නොහැරි බව සදහන් වෙනවා.කලබලයෙන් සමූහයක් අතරින් දිව යාම හා ඉක්මන් ගමන කාන්තාවකට නුසුදුසු බවත් විශාකාවගේ චරිතය ආදර්ශයට ගන්නා ලෙසත් ගුරුවරුන් අපට උගන්වා තිබෙනවා..මේ ගීතයේ මුල් කොටස විශාකාවගේ මේ කථා පුවත අසුරෙන් නිර්මාණය වී තිබෙනවා.

මේ ගීතයෙන් කියවෙන්නේ එක්තරා කාන්තාවක් පිලිබදවයි.ඇයගේ ජීවිතයේ ඇති යම් දුෂ්කරතා හේතුවෙන් ඇයට විශාකාවගේ ගමන් විලාසයෙන් යාමට නොහැකි බවයි ඇය පවසන්නේ.

මම පමා වුණෝතින් මන්දාරම් වැහි විත් පලා දැමූ දර ටික තෙමේවි.මහ වැස්සට කොහිද හිතක් පපුවක් මගේ දුක දැනෙන්නට තරම්.රත්තියි පැටියයි ඕවිට අද්දර.වැස්සට කලින් උන්ව නිවසට ගෙන ආ යුතුයි.ඒ නිසා මට මේ වෙලාවේ විශාකා තොමෝ පැමිණි ලෙසින් එන්නට බෑ.

පමා වුවොත් දොළ දෙගොඩ තලා ඒ දඩු මාවත ජලයෙන් වැසී යාවි.එහෙම වුනොත් මා කෙසෙද නිවස බලා යන්නේ.මට යාමට නොහැකි වුවොත් දරුවන් බිය වී හඩාවි.ඒ නිසා මට විශාකාවගේ නිසන්සල ගමන් විලාසය අනුගමනය කරන්නට බෑ..

මෙහි සදහන් උපුලුයි චූටියි ඇයගේ දරුවන්.ඒ වගේම මේ කාන්තාවගේ දිවියේ ඇති දුෂ්කර බව, දිලිදු බව සහ ඇය ජීවත් වන පරිසරයේ ගැමිකම ගීතයේ මනාව ගැබ්වී තිබෙනවා.ඒ වගේම සමාජයේ බොහෝ කාන්තාවන් මුහුණ පාන අත්දැකීම් ඉතා සරලව නමුත් අර්ථවත්ව මෙහි ඇතුලත් කර තිබෙනවා. මෙහි සදහන් බොහෝ දේවල් කාන්තාවන් එදිනෙදා ජීවිතයේ මුහුණ පාන දේවල්.


~~යෝජිකා සංජීවනී~~



No comments: