Thursday 17 December 2015

වසත් කාලය මනරම් ...

වසන්තය ඉතා සුන්දර වේවි, නුඹ මගේ උයනේ නිකැලැල් මලක් වෙලා හැමදාම පිපෙනවා නම්. ඒත්.... නුඹ අන්සතු කැලැල් වුණු මලක්.

වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවා නම්
මගේ උයනේ නිකැලැල් පීදිලා එනු හැම කල්
ඔහු ව්‍යංගයෙන් කියනව, ඇය අන්සතු බිරිඳක් බවත් ඇය විවාහ නොවී නිකැලැල්ව ඔහු සතු වුනා නම් ජීවිතයේ තුරුණු විය ඉතා සුන්දරව ගතකිරීමට තිබුනු බවත්.

මම නුඹට පෙනෙන්න වත් ඉන්නේ, නුඹේ ලඟට ලංවෙලා ඒ ආදරේ විඳගන්න නොහැකිවීම ගැන ලතවිල්ලෙන්. මට නුඹට ආදරේ කරන්න තහනම් මොකද මම අන්සතු බිරිඳක්...
මම දුරින් සුපිපෙන්නම් නුඹට ලංවෙනු තහනම්
අනුන් සතු උයනේ මං පීදිලා ලත වෙන්නම්
ඇය පවසන්නේ ඇය අන්සතු බිරිඳක් නිසා සමාජ සම්මතයන්ගෙන් පීඩා විඳින බව. ඒකයි ඇය දුරින් ඉඳන් ලතවෙන බව පවසන්නේ.

නෙලාගන්න බැරි මල් ඇයි මේතරම් සුන්දර, අකමැතිම මල් ඇයි මේතරම් ලඟින්. ඇයි මම ලබාගන්න ප්‍රාර්ථනා කරන සුන්දර මල මට නපුරු වෙන්නේ...
නෙලනු බැරි මල් ඇයි මේ සොඳුරූ
හිතක නැති මල් ඇයි මට නුදුරූ
පැතූ මලේ රුසිරූ මන්ද මට පස මිතුරූ
ඇය ගොඩක් සොඳුරු කතක්. ඔහු බොහෝවිට පිටත පෙනුම වගේම ඇයගේ ගතිගුණද සොඳුරු වග දන්නවා විය හැකියි. ඔහු අකමැති අය ඔහුට ලඟ බව පවසනවා. සමහර විට ඔහුත් විවාහකයෙකු විය හැකියි. නැතිනම් ඔහුට දෙමව්පියන් සොයාදුන් පෙම්වතියක සිටිනවා විය හැකියි. කෙසේ නමුත් ඔහු හිතන්නේ මේ අසල්වැසි අන්සතු ළඳ ඇයගේ ලස්සන නිසා ඔහුට පස මිතුරු වන බව. ඔහුට නපුරු වන වග.

ප්‍රාර්ථනා කල විදියේ බඹරෙක් නොලැබුණු මලක්. පිබිදෙන්නේ හුරු නැති දෑතක. ඉතින් සොඳුරු ආදරේ මට නොවෙයිද නපුරු වෙලා හතුරු වෙලා තියෙන්නේ...
මලක් වී පැතු බඹරෙකු නොලැබූ
පිපෙන්නට විය දෑතක නුහුරූ
ආදරේ සොඳුරූ මට නොවෙද පස මිතුරූ
මම ප්‍රාර්ථනා කල විදියේ සැමියෙක් නෙවෙයි ලැබුනේ. මම ජීවත්වෙන්නේ වෙන අයෙකුට ඇවැසි විදියට.... මේ විදියට ඇය කියන්නේ, ඇයට විවාහයට පෙර පෙම්වතෙක් ඉන්න ඇති. නමුත් මේ නාඳුනන පුද්ගලයා එක්ක දෙමව්පිය කැමැත්තට විවාහ වෙන්න ඇති. ඒ නිසයි ඈ ඔහු ගෙන් අහන්නේ ඉතින් මට නෙවෙයිද ආදරේ හතුරු වුණේ.

වෙන අයෙක් නෙලාගත් මලක් වුණාට මට කමක් නෑ. මම දුරින් ඉඳන් රූසිරි නරඹනවා. ඒකට නපුරු වෙන්න එපා. මොකද කඳුල මගේ හොඳ යාළුවෙක්....
නෙළු මලක් වුව මල් ලොව කවුරූ
දුරින් ඉඳ මම නරඹමි රුසිරූ
නොවෙන් මට නපුරූ කඳුළ මගෙ ළඟ මිතුරූ
ඔහු මෙතනදි ආයාචනා කරනවා ඇයට, නුඹ කාට අයිති බිරිඳක් වුණුත් මට කමක් නෑ. මම දෑතින් ඉඳන් නුඹට ආදරේ කරනවා. නුඹ මට එයට නම් විරුද්ධ වෙන්න එපා. මොකද මට අහිමි වීම් හොඳට හුරුයි. මට කඳුළු පුරුදුයි. දුර ඉඳන්හෝ නුඹට පෙම් කිරීම මට සතුටක් කියලා ඔහු පවසන වගයි හැ‍ඟෙන්නේ.

මගේ හිත පුරාම නුඹේ රුව මැවිලා, ඇඳිලා.. මොන විදියකින්ද නුඹව මට අහිමි දුක වලක්වාගන්නේ.. නුඹ දුරින් ඉඳගෙන හදේ ගින්න නිවන්‍න. හැබැයි ගොඩාක් දුරින්නම් නෙවෙයි.
හිත පුරා ඇවිදින ඔබෙ පිළිරූ
අහිමි දුක වලකමි කොයි අයුරූ
දුරින් හිඳ නුදුරූ නිවනු මැන ගිනි පුපුරූ
ඇය පවසනවා ඇගේ හිත පුරාම ඔහුගේ රූපය මැවිලා තියෙන වග. එයින් කියන්නේ ඇය ඔහුට මුළු හදවතින්ම පෙම් කරනවා. ඒත් නුඹ මටම හිමි නැති දුක වලක්වන්නෙ කොහොමද?... ඇයම විසඳුමක් දෙනවා. - දුරින් ඉඳ නුදුරු - හරිම අපූරුවට ඇය කියනවා නිවසට දුරින් නමුත් මගේ හදවතට නුදුරින් ඉඳන් මේ ඇතිවුනු හදවතේ ගින්න නිවන්න කියලා... ඇය ඔහුගේ ආදරේ පිළිගන්නවා... තවත් අපූරු අනියම් පෙම් කතාවක ආරම්භයක්....

~~දිලානි වැලිවිටිගොඩ~~

No comments: