Wednesday 23 December 2015

මලක් වුණේ ඇයි නුඹ මට....

ගෙදර යන්න කියලා දුම්රියට ගොඩ වුණු වෙලේ ඉදන් මගේ හිතෙන් මිමිනුණු ගීතයක් හදිස්සියේම...


ටික කාලෙකට හරි, ජීවිතේ සුවද කරපු මලක්, ජීවිතේට මග කියපු තාරකාවක්, ජීවිතේ ගිමන් නිවපු සහන් ගීතිකාවක්, අපි හැමෝගෙම ජීවිත වල තියෙනවා. ඒත්, සිපගන්නට තහනම් මලකින්, දැනෙන සුවද තරම් සුවදක්, දෝතට නෙලා ගෙන සිපගන්නට ලැබුණු මලකින් නොදැනෙන බව නම් සත්තයි... මුමුණන්නට තහනම් ගීතිකාවක රසය, දෙතොල් අගින් මිමිණූ ගීතිකාවකින් නොදැනෙන බව ද සත්‍යයක්මය.

ඔබ ද,
සිපගන්නට තහනම් මලක් වූ කල්හි මාගේ ජීවිත මුලු කාලයම සුවද කරනු ඇත. මහදෙහි දල්වන්නට වරම් නොලද කල්හි, පහන් තාරකාවක් සේම ඔබ මාගේ ජීවිතයට පාර කියනු ඇත. මුමුණන්නට අවසර නොලද කල්හිම ඔබ මාගේ ජීවිතයේ වෙහෙස නිවාලන සහන් ගීතිකාවක්මැයි සැබැවින්ම මට හැගෙනු ද ඇත...

මලක් වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සුවද සලන..
එනමුදු සිප ගන්නට තහනම්..
විලක් වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින..
දිය දෝතක් බොන්නට තහනම්..

පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද
ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්..
කියන්න..

සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිව්වද
ඒ ගීයේ සොදුරු වදන් මුමුණනු කෙලෙසින්..
කියන්න..

ළගින් හිද වැනසෙනවාට වඩා, දුරින් හිද සැනසිය හැකි නම්,
මා හට ඔබෙන් අවැසි වන්නේ තව අන් කවරක් ද . . . ?
විවාහය නම් පටු බැම්මෙන් කෙළවර නොවූ, සංසාරික, ආධ්‍යාත්මික, ගෞරවනීය වූ ආදරය... ඔබගේත් මාගේත් සිත් සුවපත් කරයි නම්... මේ කටුක වූ ජීවිතය සැහැල්ලුවෙන් ගෙවාලන්නට මා හට අවැසි අත්වැල ඔබයි. ඉතින්, ඔබේ ජීවන වදකාරිය නොවී, ජීවන සහකාරිය වන්නට පමණක් හදවතින් ප්‍රාර්ථනා කරමි...

~~රුවිනි අපේක්ෂා~~


No comments: