Friday, 4 December 2015

බමුණා වුණත්...(සුභාෂිත හෙවත් හිතෝපදේශය)

බමුණා වුණත් දුදනෙකු නම් බිම හොවනූ...
සැ‍ඬොලා වුණත් සුදනෙකු නම් පු‍ටුව දෙනූ...
හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනූ...
දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනූ...

බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳපුදනූ...
දෑ ගොත් කුළ නොදු‍ටු උන් බණ පිළිපදිනූ...
වැදි බණ මැදින් මුණි බණ ‍තෝරා අසනූ...
වැදි බණ දෙසන සඟ ගණ වුව පි‍ටුදකිනූ...

සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ...
පාවා දෙන එවුන් මූණට කෙළ ගසනූ...
කසයෙන් තලා හිස පළඳා ක‍ටු ඔ‍ටුනූ...
ජනයා අබිමුවේ උන් නිරුවත් කරනූ...

රජෙකුගෙ වුවත් වරදට කෑ මොර ගසනූ...
මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනූ...
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ...
වරදට කිපෙනු සටනට වැද ජය ලබනූ...

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය -ගුණදාස කපුගේ


නන්දා මාල්නියගේ 'පවන' කැසට් පටයේ අඩංගුවූ ගීතයක් ඔබ වෙත ගෙන ඒමට සිතුවා. මෙහි පෙරවදන වනුයේ 'සුභාෂිත හෙවත් හිතෝපදේශය'. පවන් ගීත එකතුවේ වැදගත් ලක්ෂණයක් වන්නේ ගීත සෑම එකකටම වාගේ පෙරවදනක් තිබීමය.

සුභාෂිතය අලගියවන්න මුකවෙටි ශූරීන් විසින් රචනා කරන ලද්දක් වන අතර හිතෝපදේශය බයිබලයේ කොටසකි. ගීතයේ පෙරවදන සඳහා 'සුභාෂිත හෙවත් හිතෝපදේශය' යොදාගන්නේ ඇයිදැයි ගැටළුවක් මතුවේ. මේ දෙකම ආගම් දෙකකට අදාල ධර්ම ග්‍රන්ථවේ. එසේනම් මෙයින් කියන්නට තනන්නේ කුමක්ද? සියළු ආගම්වල ඉගැන්වීම එකමය යන්නද? නැතිනම් වෙනමම යමක්ද? සිතුමට යමක් ඉතිරි කරමින් ගීතය කරා පියමනිමු.

මේ ගීතය අද සමාජයට කෙතෙක් දුරට ගැලපේද යන්න සමාජය ගැන උනන්දුවෙන් පසුවන්නෙකුට පමනක්ම නොව සාමාන්‍ය පුද්ගලයෙකුට වුවද හොඳින් ගෝචර වනවා නොඅනුමානය. අද සමාජය දෙස බලන කල බොහෝ දේවල්වල සංතුලනයක් නැත. දුප්පතා සහ පොහොසතා අතර විශාල පරතරයක් තිබෙනවා සේම මිනිසා නොමිනිසා අතර ඇත්තේද මෙවැන්නකි. මේවාට වගකිවයුත්තෝ කවරහුද? අන් කිසිවෙකු නොව ඒ අපමය. අප බොහෝ දෙනෙක් සමාජ පරිහානි ක්‍රියාවලි වල නිරත නොවුනද දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒවාට අනුබල දී ඇත. මේ සඳහා සරලතම උදාහරණයක් වනුයේ පාලකයන් තෝරා පත්කර ගැනීමයි.

'හානා හීය පානා අඬහැරෙන් දැනේ' යැයි කීවද හානා හීය, පානා අඬහැරයෙන් ස්වායක්තය. සරලව කියනවානම් කියන්නේ එකකි නමුත් කරන්නේ තවකෙකි.

මෙම ගීතයේදී සමාජය විසින්ම සාදාගත් මිනිස් වර්ගීකරණයක් ගෙනහැර පෑමට සුනිල් ආරියරත්නයන් උත්සුක වී ඇත. 'බමුණා , සැ‍ඬොලා' එයට නිදසුන්ය.

කුල භේදය මුලින්ම අපට දක්නට ලැබෙන්නේ ඉන්දියාවෙනි. ආර්ය සහ අනාර්ය ලෙසට මුලින්ම පැවතෙන කුල භේදය ආර්යයන්ගේ බලවත්වීම හේතුවෙන් කුල සතරක් දක්වා වර්ධනය විය. එම කුල පිලිබඳව 'ඝෘග්වේදයේ ' මෙසේ සඳහන් කර ඇත. 'මහා බ‍්‍රහ්මයාගේ මුවින් බ‍්‍රාහ්මණයන්ද, අතින් ක්‍ෂති‍්‍රයයන්ද, කළවා වලින් වෛශ්‍යයන්ද, යටි පතුලෙන් ශුද්‍රයන්ද ඉපදී ඇත'.

බුදු දහමට අනුව නම් 'යමෙක් ඉපදීමෙන් වසලයෙක් හෝ බ‍්‍රාහ්මණයෙක් නොවේ. ඔහු වසලයෙක් හෝ බ‍්‍රාහ්මණයෙක් වන්නේ ඔහු කරන ක‍්‍රියාව අනුවය'

ශ්‍රී ලංකාවේ කුල භේදය ගැන සලකා බලන කල මහාවංශය ඇසුරු කිරීම වටී. එයට අනුව යක්‍ෂ, නාග, දේව වශයෙන් කුල ගෝත‍්‍ර තුනක් දක්නට ලැබුණු බව පැවසේ. මීට අමතරව අපට හුරුපුරුදු කුල වන්නේ 'ගොවි, කරාව, රොඩී..' යනාදියයි. මෙහිදී මා අපට පුරුදු යැයි පැවසූයේ මංගල යෝජනා තීරය බලන විට මෙය පැහැදිලිවම දැකගත හැකි නිසාය.

සාමාන්යයෙන් මා ගීතයක් පිලිබඳ අදහස් දක්වද්දී ගීතයෙන් පරිභාහිර දේවල් වලට යොමුවීම නිතැතින්ම සිදුවේ. එය ගීතය පිලිබඳ රසවින්දනයට බාදාවක් වේනම් සමාව භාජනය කරමි.


ඉතින් දැන්වත් ගීතයට යමු නේද....


'බමුණා වුණත් දුදනෙකු නම් බිම හොවනූ...

සැ‍ඬොලා වුණත් සුදනෙකු නම් පු‍ටුව දෙනූ...'


මිනිසාගේ කුලය කුමක් වුවත්, ඔහුගේ ක්‍රියා කලාපය අනුව ඔහුට සැලකිය යුතු බව කවියා පසක් කරදේ. ක්‍රියාව අනුව යමෙකු 'දුදනෙකු හෝ සුදනෙකු' බවට ඇමතීම සාර්ථකය, සාධාරණය.


'හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනූ...

දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනූ...'


මෙහිදී 'හෙළයා' සමාජය විසින් උසස් යයි සලකන බව ව්‍යන්ගයෙන් අදහස්වේ. එලෙසම කිවියා පවසන්නේ ඔහු ජඩ වැඩෙහි නිරත්වී නම් ඔහුට පහරදෙන ලෙසටයි. 'දෙමළා' විරුවකු නම් ගරු කරනු යන්නෙහි ව්‍යන්ගය වන්නේ දෙමළ ත්‍රස්ථවාදය නිසා දෙමළුන් විරුවන් වන අවස්ථා විරලය යන්නය. නමුත් මෙහිදී අප සිහි තබාගතයුත්තේ සුනිල් ආරියරත්නයන්ට උලුප්පන්නට වුවමනාවී ඇත්තේ ව්‍යන්ගය නොව මතුපිටින් පෙනෙනා සැබෑ අරුත යන වගය.

එය නම් ක්‍රියාවෙන් මිනිසා නිගමනය කරන්න. ක්‍රියාව අනුව ගරුත්වය ලබාදෙන්න යන්නය.


'බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳපුදනූ...

දෑ ගොත් කුළ නොදු‍ටු උන් බණ පිළිපදිනූ...'


සියලුම ආගම් වලට ගරු කල යුතුය. තමාගේ ආගම හෝ දර්ශනය අනුව යමින් සත් ක්‍රියාවල පමනක් නිරත විය යුතු බව මෙයින් පැවසේ.


'වැදි බණ මැදින් මුණි බණ ‍තෝරා අසනූ...

වැදි බණ දෙසන සඟ ගණ වුව පි‍ටුදකිනූ...'


ආගම් මුවාවෙන් නොයෙකුත් මති මතාන්තර එලිදැක්වීමට කටයුතු කරන හා දුස් ක්‍රියාවල යෙදෙන ආගම් ප්‍රධානීන් කොතෙකුත් දක්නට ලැබේ. ඔහුන්ගේ බසට නොරැවටෙන ලෙසට පවසන කවියා ඔවුන් පිටුදකින ලෙස පවසයි.


'සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ...

පාවා දෙන එවුන් මූණට කෙළ ගසනූ...'


ජාත්‍යාලයෙන් ඔද වැටෙන කිවියා උද්වේගයෙන් යුතුව කතා කරයි. මේ කියන්නෙ පාලකයන් ගැනය. තම බලය රැක ගැනීම සඳහා අප රට පාවාදුන් පාලකයන් අතීතයේ සිටියෝය. අදත් සිටිති, හෙටත් ඉන්නට ඉඩකඩ ඇත. ඔවුන්ව බලයට ගෙන එන්නේද අපමය. ඒ හුදෙක් මුලාවීම හේතුවෙන් වෙන්නට පිලිවන. බලය ලබා ගැනීම සඳහා තමාත් සමගම සිටින සගයන් පාවාදුන් පාලකයන් ඔබට මතක ඇතුවාට සැක නැත. එවන් පාලකයන්ට දැඩි දඬුවම් ලබාදිය යුතුය. ඔවුන්ගේ නිරුවත රටටම පමනක් නොව ලෝකයාටම හෙලිකල යුතුය.

'කසයෙන් තලා හිස පළඳා ක‍ටු ඔ‍ටුනූ...

ජනයා අබිමුවේ උන් නිරුවත් කරනූ...'


අවසන් පද පේලි වලිනුත් කියාපාන්නේ රටකට නොවටිනා පාලකයන් සිදුකරන ජඩ වැඩ අභිමුවේ කරබාගෙන සිටිය යුතු නොවන බවයි.


මෙහිදී ගීතයෙ මා වඩාත්ම ප්‍රිය කරන පද පේලිය හමුවේ. 'මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනූ...'

මෙය ඉතාමත්ම වටිනා අදහසකි, කියුමැකි.


වර්ථමාන සමාජයේ වුවුද පාලකයන්ට විරුද්ධව හඬ නගනා බොහෝ පිරිස් ඇත. නමුත් සමහරක්ගේ හඬ එකවරම හීනවී යයි. ඔවුන් හඬක් නැගුවේද යන්න සොයාගැනීම පවා අපහසු තත්වයට පත්වේ. ඒ අන් කිසිවක් නිසා නොව පාලකයන් විසින් ඔහුන්ව නිහඬ කල නියාවෙනි. ඒ සඳහා දහසින් බැඳි පියලි ලාබාදීමට පාලකයෝ පසුබට නොවෙති. මේ නිසා එසේ ලබාදෙන අල්ලස් වලට හිස නොනැමිය යුතු බව මහාචාර්යවරයන් අවධාරණය කරයි.


වරදදුටු තැන එයට විරුද්ධව කතාකල යුතුය. පාලකයාට වැරදි අවබෝධ කරදීමේදී ඔහු එය තැකීමට ලක් නොකරන්නේ නම් ඔහුව නිසැක ලෙසම පළවා හැරිය යුතුය. නමුත් ඔහුගේ ආදේශකය ඔහුට වඩා අන්ත වීමට ඇති හැකියාව පිලිබඳ කල්තබා නිගමනය කර බලා සිහියෙන් කටයුතු කල යුතුවේ. එසේ නොවීනම් 'ඉඟුරු දී මිරිස් ගත්තාට' වඩා දෙයක් බලාපොරොත්තු වුය හැකිය.

එදා සමාජ තත්වය සලකා බලා රචනා කල ගීතයක් වූවාට අද සමාජය කෙරෙහිද මෙම ගීතය වඩාත් උචිතවේ යැයි මගේ හැඟීමය.


~~තේජන අබේදීර~~





No comments: