Thursday 17 December 2015

සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලී

ආදරය හමුවේ සියළුම දේ පුස්සක් බවට පත් කරමින් ඇය තමන් ආදරේ කළ දමිළ ජාතිකයා සමඟ විවාහ වෙනවා. ඇය ඔහුගේ ජාතියට අනුව ජීවත් වුනත් ඇයගේ සිංහල ගති විටින් විට ඉස්මතු වෙනවා. ඇය හදවතට ඉඩ දීලා තීරණයක් අරගෙන ඔහු සමඟ පැමිණියත් ඇයට ජීවත්වන්න සිදුවන්නේ ගිනි ගොඩක් මැද. රචකයා එය අර්ථ දක්වන්නේ මේ ආකාරයට,


"සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන ගිනි ගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී"

ඇය නළලේ තිලකය තියනවා. මොකද ඇයගේ සැමියා දමිළ නිසා. නමුත් යම් යම් අවස්ථා වල ඇයගේ සිංහල ගතිය ඉස්මතු වෙනවා.

"දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී "

ඔහුට සිංහල තේරෙන්නේ නෑ. ඇයට දෙමළ තේරෙන්නේ නෑ. ඒත් ඔහු කියන ආදර බස් වලට ඇය වශී වෙනවා. ඔහුගේ ආදරය ඇයට සියළු බාධාවන් අමතක කර දමනවා. ඇය දන්නවා ඇය යන්නේ ගිනි ගොඩකට බව. ඒත් ඇය ඔහු සමඟ විවාහ වෙනවා. "ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී" ඔහු ගිනි අවියක් අතට ගත්ත අයෙක්. එහෙත් එය ඇය තකන්නේ නෑ. ඇයට අවශ්‍ය වන්නේ ඔහුගේ ආදරය, උණුසුම පමණයි.

‍යුධ ගිනි ඇවිලෙමින් පවතින යුගයක අවදානමක් රැගෙනයි ඇය මේ ගමන යන්නේ. තමන්ගේ ජාතියේ අය මියැදෙනවා ඇයට බලන්න සිදු වේවි. ඒත් තමන්ගේ ආදරය ඇයට බාර කරනවා ඔහු. මොකද එය ඇය රකින බවට ඔහුට තියන විශ්වාසය නිසා. ඇතැම් විට ඔහු මිය යන්නත් ඉඩ තියනවා. ඔහුගේ කඳුළු ඔහුගේ වේදනාව ඇයගේ අය වෙත ගෙනියන්න ඇයට හැකි වේවි කියලා ඔහු විශ්වාස කරනවා. "ගිනි අවිත් එක්ක පෙමින් බැඳුන විහඟ සෙනඟ අඬාවී.... ඒ කඳුළු සිංහලට නගන්න ඔබට හැකිය ප්‍රියාවී.... ආදරේ නුඹට බාරයි රැක ගනින් දේවතාවී... " යුද්ධයේ ගිනි දැල් කොපමණ කුරිරුද කියා කිසිවෙකුත් දන්නේ නෑ. ඒත් උඹට පුළුවන් ඒක කියන්න. මා මළත් මගේ ආදරය පණ වගේ ආරක්ෂා කර ගනින්.

ගී පද - රත්න ශ්‍රී විජේසිංහ

~~අකුෂ්ලා ෆනෑන්ඩු~~


No comments: