Friday, 25 December 2015

සුදෝ සුදට පේවී අපි නෙළුවෙමු සුදු මල්


















සුදෝ සුදට පේවී අපි නෙළුවෙමු සුදු මල්
සඳේ නුඹත් දුටුවද මේ උතුරන හසරැල් 
ඝන්ඨාරේ හඬ අැසුනා සුනංගුයිද මං 
අනේ ඉන්න මාත් ඒනව යන්නට පන්සල් 

එදා ඉඳන් මට පුරුදුයි නුඹෙ ලෙන්ගතු කම් 
බුදු හිමිටත් දැනෙන්න ඇති ඒ හිතවත් කම් 
උඩ මළුවට මගෙ බැති සිත ආගන්තුක නම් 
යටි මළුවෙන් ඉන්නම් නුඹ වැඳලා එනකම් 

පර්දාවෙන් හැඩ වැටිලා ආවත් පන්සල් 
සම්බුදු නෙත ගැටුනේ අප හිතේ මිනිස්කම් 
මෙහෙම බැඳෙන්නට හැකිනම් අල්ලන් අත්වැල් 
ඉතින් අපට තව කුමටද වැට මුරකාවල්

ගායනය: ශානිකා සුමනසේකර
ගේය පද: ශාමිලා හුසෙයින්
සංගීතය: දර්ශන වික්‍රමතුංග

අද මම ලියන්න හිටියේ වෙන සිංදුවක් ගැන. ඒත් අහම්බෙන් වගේ මේ ගීතය මගේ සවනත වැකුනා. ශානිකා සුමනසේකර ගායනා කරන මේ ගීතයේ පද ශාමිලා හුසෙයින් අතින් ලියැවී තිබෙනවා. එයයි මේ ගීතයේ මා දකින අපූර්වත්වය. මේ ගීතරචිකාවිය මේ ගීතයට ඇයවම ආරූඩ කරගෙන තිබෙනවා. ඇත්තම කියනවානම් මේ ගීතය පිලිබඳව පමනක් සලකා බැලුවොත් ගේය පද, ගායනය සහ සංගීතය යන අංශ තුනෙන් ඉදිරියෙන් සිටින්නේ ඇය. ශාමිලා හුසෙයින්. මොකද මට නම් පෞද්ගලිකව මෙහි ගේය පද ගායනයට සහ සංගීතයට වඩා දැනෙනවා. හරිම සුන්දර කතාවක් මෙහි සැඟවිලා තියෙනවා කියල මට හිතෙනවා.

මෙහි සැඟවුනු කතාව පෙම්වතුන් දෙදෙනෙක්ගේ යැයි කියා මා සිතන්නේ නෑ. මොකද මේ පද රචනාවේ කොතැනකවත් ප්‍රේමයක් ගාවාගෙන නෑ. අනිත් කාරණය තමයි ඇය පවසනවා "එදා ඉඳන් මට පුරුදුයි නුඹෙ ලෙන්ගතු කම්" කියලා. එසේනම්  මේ දෙදෙනාගේ බැඳීම කාලයක පටන් ඇතිවුන දෙයක්. දිගටම නොකැඩී පවත්වා ගෙන ආ දෙයක්. මම හිතන විදියට මේ හොඳම යෙහෙලියන් දෙදෙනෙකු පිළිබඳ කතාවක්. ඒ වගේම යෙහෙලියන් දෙදෙනා ආගම් දෙකක බව බැලූ බැල්මටම පේනවා.

"සුදෝ සුදට පේවී අපි නෙළුවෙමු සුදු මල් "
මේ පද පේලිය සඳහා ශාමිලා යොදාගෙන තිබෙන්නේ අතීත කාලය. ඒනම් මෙය කාලයක සිටන් මේ දෙදෙනා සිදු කරන දෙයක්. මල් නෙලන්නේ සුදෝ සුදට පේවීගෙන. තවදුරටත් අර්ථය හොඳිනම වටහා ගැනීමට අපි ඊලඟ පද පෙල බලමු.
"සඳේ නුඹත් දුටුවද මේ උතුරන හසරැල්"
සඳ කොහොමද මේ දෙදෙනා මල් නෙලන විට උතුරා ගලායන හසරැල් දකින්නේ. සඳ උදා වෙන්නේ රාත්‍රියට, එහෙනම් මේවා සඳ දකින්නට විදියක් නෑ.
ඇත්තටම පද පෙලේ මතුපිට පෙනෙන දෙයට වඩා ගැඹුරු ලොකු අර්ථයක් සැඟවී තිබෙනවා. මෙයින් පැවසෙන්නේ මුස්ලිම් ආගම් යුවතිය සහ සිංහල බෞද්ධ යුවතිය දැඩි ලෙන්ගතු කමකින් වෙලිලා ජීවත් වෙලා තියනවා. ඔවුන්ගේ ලෙන්ගතුකම පවිත්‍රයි. ඇය 'සඳ' ලෙස අමතන්නේ තමාගේ අනිත් මුස්ලිම් ප්‍රජාව වෙත. මෙහිදී සඳ යොදාගැනීම ඉතා සාර්ථකයි. මුස්ලිම් ජනයා සඳ සමග සමීප සබඳකම් පවත්වන බැවු නොරහසක්. රාමසාන් කාලයේ දී ඔවුනට සඳේ වැදගත්කම ඔබ දන්නවා ඇති. මීට අමතරව ධජයේත් අඩ සඳ දක්නට ලැබෙනවා.
ඉතින් ඇය අසනවා සහෝදර  මුස්ලිම් ජනතාවගෙන්, මේ සිංහල මුස්ලිම් ලෙන්ගතුකම ඔබලා දුටුවාද කියා.  බලන්න මෙතැනදී ඇය පද යොදාගෙන ඇති ආකාරය. ලොකු අදහසක් ඇය කැටි කරනවා පුංචිම පුංචි පද පේලි දෙකකට.

"එදා ඉඳන් මට පුරුදුයි නුඹෙ ලෙන්ගතු කම්
බුදු හිමිටත් දැනෙන්න ඇති ඒ හිතවත් කම්"

ඉතින් මම කලින් කිව්වා වගේ මේ යෙහෙලියන් දෙදෙනා කාලයක පටන් දැඩි මිත්‍රත්වයක් පොදි බැඳගෙන එනවා. ඒක කොච්චර ප්‍රභලයිද යනවග ඈ කියාපාන්නේ 'බුදු හිමිටත් දැනෙන්න ඇති ඒ හිතවත් කම්' යනුවෙනි. මැය තම යෙහෙලිය සමග යන්නේ බෞද්ධයාගේ පූජනීය ස්ථානයකට. බුදු දහම කෙරේ ඇයගේ භක්තිය තිබුනාට එය බුදුන් වැඩ සිටින තැනට යන්නට ප්‍රමාණවත්දැයි ඇය කල්පනා කරනවා. ඇය බුදු දහමට කෙලෙසකවත් නිගරුවක් වෙනවාට කැමතිනෑ. ඇයගේ නොදන්න කමින් යම් නුසුදුසු දෙයක් සිදුවේවි කියා සිතන ඇය තම යෙහෙලිය වැඳපුදාගෙන පැමිනෙන තෙක් යටි මලුවේ සිටිනවා.
නමුති මට මෙතැනදී ඊටත් වඩා එහා ගිය දෙයක් දැනෙනවා.
මට හැඟෙන විදියට මෙතැනදී ඇය අමතන්නේ සිංහල ප්‍රජාවට. 'උඩ මළුවට මගෙ බැති සිත ආගන්තුක නම්'
බෞද්ධාගම ගැන මගේ තිබෙන භක්තිය ඔබලාට ආගන්තුකයිද? මම කාලයක් තිස්සේ හැදී වැඩුනේ මගේ සිංහල යෙහෙලියත් එක්ක. ඒක නිසා බුදු දහම පිළිබඳව මගේ තියෙන භක්තිය මගේ යෙහෙලියගේ හා සමානයි. නමුත් බොහොමයක් ඔබලා මෙය නොදන්නවා ඇති. කමක් නෑ මම යටි මලුවේ ඉන්නම්.
ඉතින් බලන්න මෙහිදී ශාමිලා කෙතරම් සංවේදී ලෙස මුස්ලිම් හා සිංහල ප්‍රජාවන් අමතන ආකාරය.

"පර්දාවෙන් හැඩ වැටිලා ආවත් පන්සල්
සම්බුදු නෙත ගැටුනේ අප හිතේ මිනිස්කම්"

ඇය පන්සල් පැමිනෙන්නේ පර්දාවෙන් සැරසී. ඔවු සාමාන්‍ය සිරිත නම් පන්සලකට අප යන්නේ සුදු වතින් සැරසිලා. මෙහිදී පර්දාවෙන් සැරසී පන්සල් පැමිනෙන ඇය හුදී ජනයා දකින ආකාරයෙන් නොවේ, බුධු හිමි දකින්නේ. ඇය පවසන ආකාරයට බුධු හිමියන් දකින්නේ අපේ ඇඳුම පැලඳුම නොව අප සිතේ පවතින මිනිස්කමයි. මේ ප්‍රකාශයට මම ඇය සමග එකඟ වෙනවා. තැනකට යායුතු පිලිවෙලක් තිබෙන්නට ඕනෑ තමයි. නමුත් මෙතැනදී ඇයට ඇයගේ ආගමට අනුව කටයුතු කරන්නටත් වෙනවා, ඇයගේ ආගමට කරන ගරු කිරීමක් වශයෙන් ඇය පර්දාව පලඳිනවා. අනෙක් අතින් අපි බෞද්ධයන් විදියට සුදු වතින් සැරසී මේ පූජනීය ස්ථානයට ගෞරවය ලබා දෙනවා.

ඉතින් ඈ අවසනට පවසන්නේ
"මෙහෙම බැඳෙන්නට හැකිනම් අල්ලන් අත්වැල්
ඉතින් අපට තව කුමටද වැට මුරකාවල්"

අපි සිංහල මුස්ලිම් ජාති දෙකට අන්‍යෝන්ය අවබෝධයෙන් සමගියෙන් ලෙන්ගතු කමින් බැඳෙන්නට හැකිනම් සිංහලයාට මුස්ලිම් පල්ලියකට පිවිසීමටත්, මුස්ලිම් ජනයාට පන්සලකට පිවිසීමටත් වැටකොටු බැඳීම සිදුකල යුතු නොවේ.
මෙතැනදී අප සිතට ගත යුතු වැදගත්ම කාරණය නම්, අන්තවාදී මුස්ලිම්වරුන්ට සහ අන්තවාදී සිංහලයන්ට මෙය ගෝචර නොවන බවයි. ජාති දෙකෙහිම මේ ශ්‍රී ලංකා මාතාවට වින කරන එවුන් මුලිනුපුටා දැමිය හැකි දිනක් උදාවන්නේ නම් ලංකා මතාව වෙනුවෙන් එදිනට රණ බිමට වුවත් බැසීමට මා පසුබට නොවෙමි. මා මෙන්ම තව බොහෝ දෙනෙක් ඒ සඳහා එකතුවෙන බව දනිමි.
ප.ලි.  මා සිතන ආකාරයට නම් ජාතිවාදී වූවාට කම් නැත. එසේ නොවී රටක් තැනිය නොහැකිය. ජාතියක බේරා ගත නොහැකිය. නමුත් මේ ජාතිවාදී කියන්දේ හරිහැටි හඳුනාගත යුතුය. එයින් කියැවෙන්නේ අනෙක් ජාතීන් පහත් කිරීම හෝ ගැරහීම හෝ කුලල් කාගැනීම හෝ නොව තම ජාතිය කෙරේ ආලයෙන් යුතුව කටයුතු කිරීමයි.

~~තේජන අබේදීර~~









No comments: