ඊට අවුරුද්දකට දෙකකට පස්සේ මම උසස් පෙළ ප්‍රථිපල එනකල් කොළඹ පුංචි රස්සාවක් කරපු කාලේ. එක සෙනසුරාදාවක බස් ස්ට්‍රයික් එකක්. මම නුවර යා යුතුම නිසා කෝච්චියෙන් කොළඹ ඉඳන් නුවර එනවා. අලව්වෙදී කෝච්චිය කැඩුනා. දැන් මම ඉතුරු ටික යන්න දන්නේ නැහැ. ඒ කාලේ මොබයිල් ෆෝන් එහෙමත් නැහැ. මගේ සීට් එකේ හිටපු ගෑණු ළමයා මට කතා කරා. ඒ උසස් පෙළ සමත් ගාමන්ට් සේවිකාවක්. මම නුවරට තනියම යන්න බයේ ඉඳිද්දී එයා නුවර ගිහින් අනුරාධපුරේටත් යන්න ඕනේ කිව්වා. එතන ඉඳන් නුවර යනකල් එයා මට ජිවිතේ ඉගැන්නුවා. සල්ලි ඉතුරු කරන හැටි,. පිරිමහලා වැඩ කරන හැටි, දෙමව්පියෝ සහෝදරයෝ කොහොම සැලකුවත් එයාලට ආදරේ කරන හැටි, පිරිමි ළමයි පස්සෙන් එද්දී පරිස්සම් වෙන හැටි, වගේ ගොඩක් දේවල්. ඊටත් පස්සේ කාලෙක මට කොළඹදී හම්බ උනා තවත් ගාමන්ට් නංගි කෙනෙක්. එයයි මමයි ටික කාලයක් එකම ගෙදර නතර වෙලා හිටියා. එයා ගාමන්ට් එකේ වැඩ කරේ උසස් පෙළ ඉවර වෙලා රිසල්ට්ස් එනකල් කැම්පස් යන්න සල්ලි ටිකක් ඉතුරු කර ගන්න. ඒ අවුරුද්දේ එයා බදුල්ල දිස්ත්‍රික් උසස් පෙළ අංක එක. ගාමන්ට් වල 'කෑලි' වලට වඩා අක්කලා නංගිලා ඉන්න බව ඔවුන් මට ඉගැන්නුවා.
ගාමන්ට් වල රෑ ශිෆ්ට් ගොඩක් වෙලාවට ඉවර වෙන්නේ රෑ 9.30 ට 10 ට වගේ. කලුවරේම ඇවිත් බස් එකට නගිනවා මම දවස් දෙක තුනක් බලන් ඉඳලා තියනවා. සමහරු දවසම හිටගෙන ඉඳලා ඉඳගන්නෙ බස් එකට ඇවිත්. පරවෙලා වගේ හිටියත් ඒත් හරිම ලස්සන මල්. කපන සෙක්ෂන් එකේ ළමයින්ගේ දකුණු අතේ මහපට ඇඟිල්ල ළඟ ලොකු කරගැටයක්. ඒ අත් දැන් පදම් වෙලා නිසා තුවාල වෙන්නේ නැහැ.
රෑ වැඩමුරය අවසන් වෙන කණිසමට
නුඹේ මුව පෙනේ පරවුන 'කුසුමක්' ලෙසට
තවත් සමහරු රෑ එලිවෙනකල්ම වැඩ කරනවා. කුකුළා හඬලන්නේ ඔවුන්ට නිදාගන්න වෙලාව මතක් කරන්න වගේ. ඒක ඔවුන් පෙර කරපු පව් කියලා කියන්න නම් මගේ දිව නැමෙන්නේ නැහැ.
අරුණලු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට
ඔව්. පරවෙලා වගේ හිටියත් ඒත් හරිම ලස්සන මල්. බඩුවක් කෑල්ලක් වගේ සමහරුන්ට පෙනුනට ඒ මගේ අම්මා අක්කා නංගි වගේ දකින්න හිතන්න පුළුවන්නම්.
අපේ දවසට පැය විසිහතරක් උනාට ඔවුන්ගේ දවස අපිට වඩා දිගද කියලත් හිතෙනවා. ගාමන්ට් ෆැක්ටරියක් බොහෝ විට ලොකු ශාලාවක්. සිවිලිමේ අඩි තුනෙන් තුනට වගේ විදුලි බුබුළු එලිය දෙනවා. ඒ ආලෝකයට ඇස් නිලංකාර වෙනවා. ඒත් දවසම ඒ එලිය යට පිච්චි පිච්චි මේ දියවෙලා යන්නේ ජිවිතේ හොඳම කාලේ. ලස්සනම කාලේ. සුන්දරම කාලේ. මේ ලස්සන ජිවිතේ දිය කරන්නේ සමහර විට තමන්ගේ ලෙඩ ඇඳේ ඉන්න අම්මව තව දවසක් ජිවත් කරවන්නද, ගහෙන් වැටුන තාත්තට බෙහෙත් බඳින්නද, නංගිලා මල්ලිලාට හොඳට උගන්නන්නද කියලා දන්නේ ඇයත් උඩ ඉන්න දෙවියනුත් විතරමයි වෙන්නත් පුළුවන්. ශාලාවේ මැෂින් ඔක්කොම එකාට එකෙක් නොදෙවෙනි වෙන්න කෑගහද්දීත්, ඒ සද්දේ ඒ හිත් වලට ඒ කන් වලට කරදරයක් නෙවෙයි. ඒ ඊට වඩා හයියෙන් ඔවුන්ගේ හිත් මහා හයියෙන් අඬන නිසා..
තුන් තිස් පැයේ දැඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහා හයියෙන් හඬන්නේ
මැෂිමේ ඝෝෂාව අමතක කරලා ඒ හිත් අඬන සද්දේ අපිට අහගෙන ඉන්න පුළුවන් නම්, මහා සාගරේ කොයි තරම් ලොකු උනත් ඊට වඩා මේ කඳුළු බර වැඩියි කියලා අපිට දැනෙයි. හුළඟ වෙලාවකට මහා සුළි සුළඟක් වෙලා ගස් වැල් පොඩි පට්ටම් කරගෙන හැමුවත් ඔවුන්ගේ සුසුම් ඊට වඩා වේදනාත්මකයි කියලා අපිට දැනෙයි. ජිවිතේ ලස්සනම කාලේ මෙහෙම දියවෙනකොට, ඒ දුක අතරේ ප්‍රේමය ආදරය විතරක්ම හොයාගෙන පියාඹාගෙන යද්දී, ඒ ආදරෙයි කියලා කියපු එවුනුත් උන්ට ඕනේ දේ විතරක් අරගෙන හරිම ආත්මාර්ථකාමී විදියට තමුන්ව බඩුවක්, ගාමන්ට් කෑල්ලක් කියලා හංවඩු ගහනකොට "මෙච්චර කල් මහලා තියෙන්නේ මගේ ජිවිතේ නේද?" කියලා ඔවුන්ටත් හිතෙනවා ඇති...
නුඹේ කඳුලැලිද සයුරේ රල නගන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජිවිතයද මහන්නේ
ගායනය: සුනිල් එදිරිසිංහ
ගේය පද: බන්ධුල නානායක්කාරවසම්
සංගීතය: රෝහන වීරසිංහ
~~නිසංසලා රත්නායක~~
No comments:
Post a Comment