Thursday 3 December 2015

ලෙවෙල් එකට පාස් වෙන්න..

අද මම කියන්න යන්නෙ තවත් එක් ළමයෙක් ගැන කතාවක්. අපේ කතා නායකයා හොඳ
පවුල් පසුබිමක් තිබෙන අතමිට යහමින් තිබෙන පවුලකට දාව උපන්නෙක්. ඔහුගේ සම වයසේ ළමුන් හා සසඳන කල ඔහු තරමක් කුඩා කෙට්ටු ශරීරයකින් හෙබි අයෙක්. ඉතින් මොහු ගිය පාසලේ පන්ති වර්ගීකරණය කරල තිබෙනව, දක්ෂ සහ දුර්වල ලෙසට. ඔහුගේ වාසනාවට හෝ අවාසනාවට ඔහුව යොමුවන්නේ දුර්වල ළමුන් සිටිනා පන්තියට.

අවසාන වාර විභාගයට මුහුන දෙන ඔහු ප්‍රතිපල පැමිනි පසුව පන්තියේ ප්‍රථමයා බවට පත්වෙනවා. මෙලෙස වසර කිහිපයකදීම ඔහුට හැකිවෙනවා ප්‍රථමයා බවට පත්වෙන්නට. නමුත් ඔහුට වැඩිකල් මෙය සිදුකරගෙන යාමට නොහැකි වන්නේ පාසලේ විදුහල්පතිතුමා විසින් ඔහුව අනෙක් පන්තියට මාරුකිරීමත් සමගම.

මේ අතර ඔහුගේ ඉගෙනීම ගැන සතුටුවු පියා ඔහුට ගිටාරයක් තෑගි ලෙසට ගෙන දෙනවා. සංගීතයට ලැදි මොහුගේ සතුට කියා නිමකර නොහැකි තරම්.
හැබැයි මේ සතුට වැඩි කලක් පවතින්නේ නෑ. වාර විභාගය අවසානයේදී ඔහු විසි වෙනියාගෙනුත් පහලට වැටිලා. පියා සිතන්නේ සංගීත කටයුතු නිසා ඉගෙනීම කඩාකප්පල් වෙනවා කියලා. කොහොම වුනත් තම පියාට ඇත්ත තත්වය පහදා දීමට ඔහු ක්‍රියා කරනවා. ඒත් පියා සෑහීමකට පත්වන ලකුනු පේන්න නෑ.

ටිකෙන් ටික සාමාන්‍ය පෙළ විභාහයත් ලඟ ලඟ පෙනෙන දුරින්. මොනවහරි කරලා විභාගය පාස් විය යුතුමයි. මොහුට අපූරු අදහසක් පහල වෙනවා. ඔහු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන අයෙක් ලඟට ගොස් විභාගය සමත් වීම සඳහා යන්තරයක් බන්දවාගන්නවා. මේ සඳහා තම පියාගෙන් මුද්ල් ඉල්ලීමට නොහැකි බැවින් ඔහු ණය මුදලක් ලෙස රුපියල් පන්සියයක් හිතවතෙකුගෙන් ඉල්ලා ගනියි. අනේ ඉතින් යන්තරේ බලෙන් විභාගය සමත් වීමට බලා සිටිනා ඔහුට මුහුන දීමට සිදුවන්නේ නොසිතූ විරූ දෙයකට. ප්‍රතිපල වලට අනුව ඔහු සියලුම විශයන් අසමත්. හීන් දාඩිය සමගම යන්තරකරු මුනගැසෙන ඔහු යන්තරකරුට විස්තරය පවසා සිටිනවා. යන්තරකරු පවසන්නේ ඔහු 'කිල්ලකට' අසුවී ඇති බවකි. එනිසා යන්තරයේ බලය නැතිවී ගොසිනි. ඉතින් මොකද අන්තිමට උනේ විභාගයෙනුත් අසමත් ඒ වගේම ණයට ගත්තු රුපියල් පන්සීයයත් කුඩු.

මේ කතාව ඔහු තම මිතුරන් අතරේ කියන්නේ ඉතා දුකින්. නමුත් මිතුරන් ඊට දක්වන ප්‍රතිචාරය හාත්පසින්ම වෙනස්. ඔවුන් මොහුව හාස්‍යයට ලක් කරනවා. එකෙක් පවසන්නේ 'මම නම් ගගේ පනිනවා වතුර බීලා මැරෙනවා' කියා. තවකෙක් 'ජීවිතේ එපා කියනවා රේල්ලට බෙල්ල තියනවා' යයි පවසමින් මොහුව සමච්චලයට ලක් කරයි. කොහොම වුනත් ගඟේ පනින එකා නම් 'හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා' රේල්ලට බෙල්ල තියන එකා 'කෝච්චිය ලං වෙනකොට අපි නැගිටිනවා'

මොහු ගැන තවත් රස කතා නැතුවාම නොවේ.
වරක් ඔහු බයිසිකල් තරගයකට සහභාගී වීම සඳහා මාස ගනනක් තිස්සේ කඳු පල්ලම් වල සයිකලය පදිමින් අපමන වෙහෙසක් දැරීය. අවාසනාව ඔහු කරා පැමිනෙන්නේ නිරායාසයෙනි. තරගයේදී දැඩි වංගුවක් ගැනීමට ගොස් අඹ ලෙල්ලක පැටලී බයිසිකලයත් සමග බිම වැටුනි. ඒත් ඔහු පරාජය පිලිගැනීමට අකමැතිය. නැවත දනි පනි ගා නැගිට තරගයට එක්වූයේය. තරග අවසානයට පැමිනෙන විට සියල්ලන්ගේම හූ හඬ සමගම ඔහු තරගය නිම කලේ අන්තිමයා ලෙසිනි.

තවත් විටක මොහුට චිත්‍රපටයක රඟපාන්න දැඩි ආශාවක් ඇතිවෙනවා. එය මුදුන් පමුනුවා ගැනීමට චිත්‍රපට නිෂපාදකගේ සියලුම බැල මෙහෙවර කරදීමට ඔහුට සිදුවෙනවා. මීට අමතරව නිෂපාදකට, කැමරාකරුට වගේම අදාල පුද්ගලයන් සැම දෙනාටම අත්වැසිකම් කිරීමෙන් සුලු කොටසක රඟපෑමේ අවස්ථාවක් ඔහුට ලැබෙනවා. ඉතින් තියන සතුට අහස උසට. ඔහු මොකද කරන්නෙ, තමාගේ මිතුරන් සමග සිංහ ලීලාවෙන් චිත්‍රපටය බලන්නට යනවා. චිත්‍රපටය උනන්දුවෙන් බැලුවත් ඔහුට පෙනීයනව ඔහු රඟපාපු සුලු කොටසත් 'එඩිටර්' විසින් කපා දමා ඇතිබව. ඉතින් යාලුවන්ගෙ ප්‍රතිචාර අමුතුවෙන් කියන්න ඔනෙ නැහැනෙ.

සාමාන්‍ය පෙළ විභාගය දෙවන වර “කේ‍රඩිට්” තුනක් සමග යන්තම් සමත් වුනත් විද්‍යා හෝ ගණිත අංශයෙන් උසස්පෙළ හැදැරීමට ඒ ප්‍රතිඵල ප්‍රමාණවත් වුනේ නෑ. ඉතින් මොකද කරන්නේ, තාත්තාගේ අදහස් වලටත් අනුව සංගීතය සමග ඉදිරියට යන්න ඔහු තීරණය කරනවා. ඔහුගේ පියා ඔහුට සංගීතයෙන් ඉහළට යන්න විශාල සහයෝගයක් ලබාදුන්නා. ගෙදරට ගුරුවරු ගෙනැල්ලාත් සංගීතය ඉගැන්නුවා. ඒ වෙනකොට ඔහුගේ වයස අවුරුදු 18යි. ඔහුගේ පියා ‘ජිප්සීස්’ කියන නම යෝජනා කරනවා ඔහුගේ සංගීත කන්ඩායමට. එසේ තමයි 'ජිප්සීස්' බිහිවෙන්නේ. මේ හැම අත්දැකීමක්ම ඔහුගේ නොවුනාට මේ හා සමානව තමයි ඔහුගේ ජීවිත කතාව විකාශය වන්නේ.

දැන් ඉතින් සිංදුව බලමු.

ලෙවෙල් එකට පාස් වෙන්න ඔක්කොම සම්මාන ගන්න
රුපියල් පන්සීයක යන්තරයක් දැම්මේ
ඒකෙ ප්‍රතිපල ආවා මගෙ හදවත දුක ගාවා
වැඩ පහකින් පහම ෆේල් වෙලා අන්තිමේ

නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්

යන්තරකරු ගියෙ බලන්න උනේ කුමක්දැයි අහන්න
මිනිහ දීපු උත්තරයට මට තරු පෙනුනා
මම කිල්ලට අහු වෙලාලු යන්තරෙ බල නැති වෙලාලු
නයට ගත්ත පන්සීයත් මෙමට නැති උනා

මම නම් ගගේ පනිනවා වතුර බීලා මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
ජීවිතේ එපා කියනවා රේල්ලට බෙල්ල තියනවා
කෝච්චිය ලං වෙනකොට අපි නැගිටිනවා

කඳු නැගලා කඳු බැහැලා මාස ගනන් දුක් විඳලා
මහ සයිකල් රේස් එකට පුරුදු උනා මන්
මගෙ ෆුල් ඩම් එක දාලා ගත්තා වංගුව නමලා
අඹ ලෙල්ලක ලිස්සල මම ගියානෙ ගුවනින්

නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්

හිටි අය මගෙ පිටිපස්සෙන් මා පසුකර යයි වේගෙන්
දනි පනිගා නැගිටල මම ආයෙත් පැද්දා
හති දාගෙන පැද්දත් මං අන්තිමේදි තද වෙහෙසින්
දිනුම් කනුව ලඟට ආවෙ හූ හඬ මැද්දෙන්

චිත්තරපටි ඩිරෙක්ටර්ගෙ බැල මෙහෙවර සෑම කරල
සිනමාවට එන්ටර් උනෙ අතින් ගෙවල මං
ප්‍රඩියුසර්ට වැඳලා පුදල කැමර්මන්ට සපෝට් කරල
ඇට් කරන්න ලැබුනෙ එකම සීන් එකයි බං

නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්

මංගල දර්ශනෙ බලන්න මගෙ මිතුරන් වට කරගෙන
සිංහ රජෙක් ලෙසට හෝල් එකට ගියා මං
හිතපු එකම සීන් එකත් එඩිටර් මල්ලිගෙ කතුරෙන්
බෙල්ල කැපුව වගේ කැපිල වැඩක් නෑනෙ දැන්

ගායනය: ජිප්සීස්

~~තේජන අබේදීර~~


1 comment:

Nisitha lakmal said...

මේ සුනිල් පෙරේරාගේ සත්ය කතාව නේද