Wednesday 23 December 2015

ජේසු ස්වාමි දරුවනේ... ජේසු ස්වාමි දරුවනේ

"ජේසු ස්වාමි දරුවනේ... ජේසු ස්වාමි දරුවනේ...

දුගී පැලේ දිනා මෙලෝ තලේ දිනූ..
ඔබේ දහම් තියේද දැන් දිව නෙතින් බලන්.."
කියලා දිව්‍ය නෙතින් ලෝකය දකින්න කියලා 'ජේසු ස්වාමි දරුවන්ගෙන්' පුංචි ඉල්ලීමක් කරන්න හිතුනා නත්තල ළඟ නිසා.

ඇත්තටම නත්තල කියන්නේ මොකක්ද? මම අපේ පුංචි උන් කීපදෙනෙක්ගෙන් ඇහුවා නත්තල කියන්නේ මොකක්ද කියලා 'නත්තල් ගහක් හදලා ඒක යට තෑගි තියලා ඔක්කොමලා එකතුවෙලා ලොකු පාටියක් දාලා ඒක ඉවර වෙනකොට අර තෑගි කඩලා බලන එක' වගේ ලඟින් යන උත්තර තමයි දෙන්නේ.
එතකොට පුතේ පල්ලි යන්නේ නැද්ද? 'ආහ්.. ඔව්. උදේ පල්ලි ගිහින් එනවා. අපි කැරොල් ගීතිකා කියනවා. පල්ලියෙත් සර්විස් එකෙන් පස්සේ එදාට පාටිනේ. අපිට තෑගිත් දෙනවා...'
එතකොට ජේසු බබා? 'ගව මඩුවක් හදලා ජේසු බබාව ඒකෙ තියනවනේ. ඒවා කරන්නේ ගොඩක් කලින්..'
වෙසක් ගැන ඇහුවත් ඔය ලඟින් යන උත්තරයක් තමයි ගොඩක් වෙලාවට ලැබෙන්නේ. තොරණ්, කූඩු, දන්සැල්, වෙසක් කාඩ් තමයි ප්‍රධාන. තෙමගුල අන්තිමට. මේ අපිට නිතර ඇහෙන පෙනෙන දේවල්. මේවට කලබල වෙන්න ඕනේ නැහැ ඒ පුංචි උන්ගේ වැරදුන මනස හරි ට්‍රැක් එකට දානවා මිසක්. 'හරි දේ මතුවෙනකොට වැරදි දේ පහව යනවා' කියන එක මම තදින්ම විශ්වාස කරන කෙනෙක්.

රන් රිදී මැණික් නොවීය ඔබැ සමීපයේ...
දළ පිළී විනා දුහුල් නොවී ශරීරයේ...
මන්ද මේ විළාසිතා දේව මන්දිරේ...
යළි ගලීලෙයෙන් නැගී මෙලෝතළේ බලන්...

ලස්සනට ඇඳගෙන පල්ලි ගියාට කමක් නැහැ. මොකද රජුන්ගේත් රජ්ජුරුවෝ, දෙවියන්ගෙත් දෙවියන් හමුවෙන්න යන නිසා. ඒත් විලාසිතා කිරීමේ සහ නත්තලේ සම්බන්ධය මොකක්ද? නත්තල අපි සමරන්නේ ඇයි. 'කන්‍යාවක් වූ මරියතුමිය තුල මාංශ ගතවූ දේව වචනය පොලව තුල බලවත් වූ ඒ මහා අත්දැකීම' කියලයි මට තේරෙන්නේ. එදා නත්තල කොහොම වෙන්න ඇද්ද? තමන් කන්‍යාවක් කියලා දන්නේ තමන් විතරයි. ඔව්. ටෝරා එකේ ලියවිලා තිබ්බට මුළු ලෝකෙම ඒක කියවලා නැති බව මරියතුමිත් දන්නවානේ. දැන් දරුවෙක් බිහිකරන්න යනවා. විවාහ ගිවිසගෙන හිටියට තමන්ගේ අතින් වැරැද්දක් උනේ නැහැ කියලා ජෝශප්ට හොඳටම ශුවර්. මේ දෙන්නගෙම ජිවිත ඇතුලේ හිත් ඇතුලේ මහා අරගලයක්. කාට කියන්නද? දෙයියනේ කියලා පවුලක් පන්සලක් වෙලා පිළිවෙලකට ජීවත් වෙන්න හිතුවා විතරයි. මෙන්න ගින්නක්. මේ ගින්න සමරන්නේ අපි. ඉතින් අධ්‍යාත්මය හැඩ නොකර මාංශය විතරක් හැඩ කරන එකද නත්තලේ විය යුත්තේ කියලා චුට්ටක් හිතමු.

ජේසුගේ ඉපදීම වැදගත් වෙන්නේ උන්වහන්සේගේ උත්ථාන වූ නිසා විතරමයි. එහෙම උනේ නැති නම් ඒ උපතත් බොහොම සාමාන්‍ය දරුවෙකුගේ ඉපදීමක්. ඒ නිසා 'ජේසු ස්වාමි දරුවන්' නත්තලට වඩා බොහොම උත්සවශ්‍රීයෙන් සැමරිය යුත්තේ පාස්කු ඉරිදා කියලයි මට හිතෙන්නේ. එදාට අඬමින් කල් ගත කිරීම නෙවෙයි. උන්වහන්සේ කිව්වා "බැමි ලිහන්න.." කියලා. ඒත් අපි තවමත් බැඳගෙනම ඉන්නවා.

පැල්පතේ හඬද්දි සා දුකින් දුගී ළමෝ...
මන්දිරේක සාදයක්ය මිහිරි නත්තලේ...
ඒ නොවේය ස්වාමිනී ඔබ දෙසූ දහම්...
ගොල්ගොතාව කුරුස කන්ද රතු ලෙයින් තෙමා...

මේ දවස් වල හැම පල්ලියකම වගේ කැරොල්ස්. "අරයගේ පුතාට වඩා හොඳට මගේ දුව ප්ලේ කරනවා. අරයට වඩා මට සිංග් කරන්න පුළුවන්. එයා කියන්නෙම අවුට්. මොකට එයාට මයික් එකක් දුන්නද මන්දා..." වගේ දේවල් ඔබටත් ඇහෙනවා හෝ හිතෙනවා වෙන්න පුළුවන්. එහෙම ඔබට දැනෙනවා නම් ඒක අදාළ පුද්ගලයත් එක්ක කතා කරගෙන බේරුමක් කර ගන්න පුළුවන් නම් ඔබ නියම 'ජේසු ස්වාමි දරුවෙක්'. ඒත් මේ ගයන නත්තල් ගීතිකා තුලින් ඔබේ හිතට සමාදානයක් නැති නම් ඔබ ආපහු හැරෙන්න. ඔබට පුළුවන්. ක්‍රිස්තුන් වහන්සේගේ ඇසෙන් බලන්න දකින්න පුළුවන් වෙන දවස ගොඩක් ඈත නෑ. එදාට ඔබට තේරෙයි මයික් එකටත් රණ්ඩු වෙවී මේ නත්තලේ කථා කරන්න යන්නේ ගෙන්නන්න යන්නේ 'සාමයේ කුමාරයාව' කියන එක සහ ඔබ හිටියේ කොතනද දැන් ඉන්නේ කොතනද කියන එක.

මේ සාමයේ කුමාරයා ගැන කතා කරන මාසේ කන්න නැති කෙනෙකුට කන්න ටිකක් දෙන්න ඔබට පුළුවන් නම්, අම්මා නැති දරුවෙකුට අම්මා කෙනෙක් වගේ ආදරේ කරන්න ඔබට පුළුවන් නම්, ලෙඩ වෙලා ඉන්න කෙනෙකුගේ ශාරීරික මානසික සුවය වෙනුවෙන් බිඳක් ඔබට කැපවෙන්න පුළුවන් නම් ඔබ නියම 'ජේසු ස්වාමි දරුවෙක්' බව ඔබටම දැනෙයි. පුදුමාකාර වේදනාවක් විඳලා කුරුසියේ ජිවිතේ පූජා කරලා ලෝකෙට දුන්න පණිවිඩේ මොකක්ද? අපි කොතනද ඉන්නේ නේද? තව දවස් දෙකක් තියනවා. ඒ නිසා දැන්ම ලෑස්ති වෙන්න පුළුවන්. පරක්කු වැඩි නැහැ. මාසෙකට දෙකකට කලින් ක්‍රිස්මස් කේක් එක, තැඹිලි වයින් එක හදන්න ප්ලෑන් කරපු එකේ දවස් දෙකකට කලින් ක්‍රිස්තුස් වහන්සේගේ ඇසින් ලෝකය දිහා බලන හැටිත් ප්ලෑන් කරන්න. අමාරු නැහැ. ඔබට තේරෙයි මෙච්චර කල් පල්ලි ගියාට ඔබ 'ජේසු ස්වාමි දරුවෙක්' නොවුන බවත් දැන් ඔබ වෙනස් බවත්.

මේ ගීතයේ රචකයා බෞද්ධ පරිසරයකින් පැවත එන්නෙක්. මේ ටික ලියපු කෙනත් එහෙමයි. ඒ නිසා අඩුපාඩු තියෙන්නට පුළුවන්. ඒවා පෙන්නලා දෙන්න. හදාගන්න ඉගෙනගන්න ලැහැස්තියි.

හැමෝටම සුබ නත්තලක්!!! ජේසු පිහිටයි!!!

ගායනය: නන්දා මාලනී


~~නිසංසලා රත්නායක~~


No comments: