Sunday 11 October 2015

අම්මේ යන්න එපා දුරු රටකට...

අම්මේ යන්න එපා දුරු රටකට...


කුඩා කල සිටම අපි කිසියම් කෙනෙකුට වඩාත් සමීපවී සිටියේද ඒ අන් කවුරුන්න්හෝ නොව අපේ අම්මාටය. අපේ සෑම දෙයක්ම කියන්නට හැකියාව ඇත්තේ අම්මාටය. ඇයට කිසිම අපහසුවකින් තොරව යමක් කීමට අපට හැකිය. කුඩා කල නම් සෑම දෙයකටම අම්මා නැතිව බැරිය. අපි අම්මාගෙන් දහසක් ප්‍රශ්න අසා ඇත්තෙමු මන්ද ඒ ප්‍රශ්න වලට වෙන කිසිවකුගෙන් පිළිතුරු නොලැබේ. මෙසේ අම්මාගෙන් දහසක් දේ අහන අපි තාත්තාගෙන් නිතරම අහන ප්‍රශ්නය නම් 'තාත්තේ අම්මා කෝ?' යන්නය.
ඒ තරමටම ඇය අපේ ජීවිතයට බැඳී ඇත.

අම්මේ යන්ට එපා දුරු රටකට
කවුරුත් නෑ මගෙ තනියට
එහෙම කලෝතින් හොඳ නෑ අම්මේ
හිතට දුකයි පොඩි පුතු හට...........

මේ ගීතයෙ ලෙසට තම පවුල දරිද්‍රතාවයෙන් මුදවාගැනීමට අම්මා පිටරට යෑමට සැරසේ. ඇයගේ කුඩා පුතු මෙයට දැඩි ලෙස විරුද්දවේ. තමාගේ තනියට කිසිවකු නැති බවපවසමින් අම්මාට රට නොයන ලෙස ඔහු ඉල්ලීමක් කරයි. 'එහෙම කලෝතින් හොඳනෑ අම්මේ' යැයි කීමෙන් මෙය කුඩා ළමයාගේම අදහසක් බව පැහැදිලිවේ.

උඩින් පියාඹා කරණම් ගහනා මිග් යානා මට ඕනේ නෑ
බිමින් ඇදී යන වටේට කැරකෙන මෝටර් කෝච්චි ඕනේ නෑ
ඇස් දෙකනටවන ගී කියමින් යන බෝනික්කන් මට ඕනේ නෑ
ඕවා ඔක්කොම ගේනව කීවට ඔබේ පුතා රැවටෙන්නේ නෑ...

අම්මා තම පුතු තනිකර යන්නට සැරසෙන්නේ කැමැත්තෙන් නොවේ. මේ නිසා ඇය පුතු සැනසීමට යම් යම් දේ ගෙනත් දෙනවා යැයි පවසයි. පුතුට ඇයගේ වෑයම මනාව තේරේ. කුඩා දරුවන්ගේ සෙල්ලම් ලෝකය තුල 'මිග් යානා, මෝටර් කෝච්චි සහ බෝනික්කන්' සඳහා ඉහල තැනක් ඇත. ඇත්තටම අම්මා රට ගොසින් එන විට අනිවාර්යයෙනම කී දේවල් ගෙනෙනා බව පුතු දනී. කුඩා පුතු මේ සියල්ලම ප්‍රතික්ෂේප කරන්නේ ඊට වඩා තම අම්මා ලඟ සිටීම වටිනා බව පවසමිනි.

පාටින් පාටට කොළ අලවා උඩ යවන සරුංගල් හරි හැඩනේ
ලෑලි කැබලි ටින් පතුරු යොදාලා හදන කරත්තය මට අගනේ
ඔබේ අතින් මට ලුණුයි බතුයි දෙක අනලා කැව්වත් හරි රසනේ
ඔබේ තුරුල්ලේ උණුසුම අම්මේ විසිතුරු ලෝකෙට වැඩි සැපනේ...

ඒවා වෙනුවට පාට කොල යොදා සාදන සරුන්ගල්, ලෑලි කැබලි වලින් සාදන කරත්තය අම්මා සමග එකතුවී සෑදීම පුතු අගය කොට සලකයි. ඒ හැමටම වඩා අම්මාගේ අතින් අනා කවන බත්කටට ඔහු ප්‍රිය කරයි. එහි මාළුපිනි නොමැති වුවත් කම් නැත. මේක කොතරම් දුරට හරිද කියල ඔබම හිතලා බලන්න. තවමත් අම්මාගෙ අතින් බත් කවාගන්නා කී දෙනෙක් අප අතර සිටීද? ඇය නොමැතිව අපට ජීවිතයක් ගැන හිතන්නට පවා අපහසු බව හිතෙවි.

අවසානයට කුඩා පුතු පවසන්නේ ඇයගේ තුරුල්ලේ උනුසුම විසිතුරු ලෝකෙට වඩා සැපවත් කියායි.
මොකද හිතෙන්නේ යාළු.....


~~තේජන අබේදීර~~

No comments: