Sunday 18 October 2015

දමා යන්නට නොහැකි මිහිමත එකම සම්පත ඔබම පමණයි...

දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි...
මිදී ‍යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි...

හැන්දෑවේ රේඩියෝව අහගෙන ඉද්දි වාදනය වුනා සෝමතිලක ජයමහ ශුරීන්ගේ නිවුණු හඬින් ගැයෙන මේ ගීය. "දමා යන්නට නොහැකි දෙයක් මේ ලොව ඇත්නම්, සොඳුරියේ ඒ ඔබම පමණයි", ආදරණිය සැමියෙක් තම දයාබර බිරිඳට කියනවා. ගීතය අහගෙන ඉඳිද්දී මට එකපාරටම මතක් වෙනවා තවත් එවැනිම ගීතයක්...
යමුනා මාලිනියගේ වචන වලට රෝහණ වීරසිංහයන් එක් කළ සුමියුරු සංගීතය කුළු ගන්වමින් සුනිල් එදිරිසිංහ ප්‍රතිභා පුර්ණ ගායන ශිල්පියානන්ගේ හඬින් ගැයෙන මෙන්න මේ ගීය..

නොමවේ පැරණී යළි වේ රමණී
දරු පෙම නොනිමි අඹු සැමි පෙමිනී
නොව පැරණිය වන රමණිය විටින් විට
වෙයි රමණිය නොව පැරණිය විටින් විට

වසර ගණනාවකට එපිට දවසක සුන්දර මනාලියක් වෙලා තමන් ලඟින් තුරුළු වෙලා උන් ඒ දිවි මගේ ආදරණිය සහකාරියම, තමා නමින් දරුවන් හදලා, උන් උස මහත් කරලා, වෙහෙසිලා කාලයටත් හොරෙන් වියපත් වෙලා , ඒ වියපත් දෑස් වලින් තමා දෙස බලාගෙන එදා වගේම ලඟින් ඉඳිද්දී, වියපත් වුනු ඇගේ ඒ දෑස් වල වියපත් නොවුණු යමක් දිලිසෙනවා ඔහුට හැමදාමත් දකිනවා......
ලංවෙලා බලන්න ඕනේ නෑ... මනාලියක් විදියට තමන්ට තුරුළු වුන වෙලාවේ ඇගේ ඇස් වල තිබුණු ඒ ආදරයම තමයි ඒ කාලයත් එක්ක වියපත් නොවී දිලිසෙන්නේ කියලා මේ ආදරණිය සැමියා දන්නවා.

සොඳ සොඳ ඕලු සොරබොර වැවේ ඇතී
ඒව නෙළන්නට සොඳ සොඳ ළමෝ යති
කළු කරලා රස කරලා උයා ඇතී
ඕලු බතට අද අපෙ පොඩි එවුන් නැතී
ළමුන් රජුන් වී උන්ගෙත් වටේ පැටවු
ගොහින් ඉතින් දුර දීපංකරේ වසවු
ළඟින් ඉඳන් මට සලකයි මගේ බිසවු
පැරණි නොවේ සොඳ අඹු සැමි පෙමේ ඉසව්

දරුවෝ හැදුවා.. උන් ගැන හීන මැවුවා... පුදුමාකාර සෙනෙහසකින්... එත් උන් උන්ගේම ලෝක හොයාගෙන ඉගිලිලා ගිහින්, ආසාවකට දකින්නවත් ලැබෙන්නේ නැති තරම් ඈත දේශ දීපංකර වලට.. අලුත් කුඩු හදාගෙන පැටවූ වටකරගෙන උන් ඒ ලෝකවල සතුටින් ඇති...
දරුවෝ ආවා, ගියා.... එත් උඹ තාමත් එදා වගේම මගේ ළඟ.. වියපත් වෙලා ඉන්න මට කවන්න පොවන්න, වාරු නැති දෑතට සවියක් වෙන්න අද ඉන්නේ උඹ විතරමයි...
ආයෙත් සෝමතිලක ජයමහ ගී හඬ රේඩියෝවෙන් මතුවෙලා ඇහුනා...
"දමා යන්නට නොහැකි මිහිමත .. එකම සම්පත ඔබම පමණයි"


~~නුවන් ගීතාංජන~~

No comments: