Sunday 11 October 2015

මායම් තරු රෑනේ බැල්මෙන් මිදී...

මායම් තරු රෑනේ බැල්මෙන් මිදී..
පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
රෑනින් මිදුනාම නෑ අත් බැඳී
මා නම් අද ඉන්නේ ප්‍රෙමේ ගිලී......

ඔන්න තවත් අපි ගොඩක් දෙනෙකුගෙ අත්දැකීමක් වෙන ගීතයක්...
මේකට ඒක පාර්ශවික ආදරය කියනවාට මම නම් එච්චරම කැමති නෑ,මොකද මෙහිදී අපේ රහස් ආදරය අනෙක් පාර්ශවයට නොදැනුනාම නොවෙන්නත් පුලුවන්, ඇය හෝ ඔහු ඔබ මෙන්ම ඒ ආදරය හිතේ සඟවගෙන සිටියා විය හැකියි. කවුරුහරි අනෙකා ඉස්සර වෙනකම් තම ආදරය ප්‍රකාශ නොකර සිටීමේ ඉඩකඩ හොඳටම තියෙනව.

මේක ඔයාගෙම අත්දැකීමක් නම් මොහොතක් සිතා බලන්න. ඉඟි වලින් දහසක් දෙවල් ගෙනහැර පානව, ඒත් ඒ ඉඟිය අනෙකාට හරිහැටි තෙරුනේ නැතිනම් තම ආදරය හිර කරගෙන දුකෙන් තැවෙමින් සිටීම තමා සිදුවෙන්නෙ. තම හිතේ තියෙන දේ කියා ගන්නට නොහැකිවීම දුර්වලකමක් වෙන්න පුලුවන් නමුත් ඒ දුර්වලකමට හේතුව හෙව්වොත් එය තම ලබැඳියාව අහිමි කරගැනීමට තිබෙන බය බව සහතිකයි. ඒ කියන්නෙ ඒ ආදරය ගොඩාක් දුරට පිවිතුරුයි නේද?
ඉතින් අපි ගීතයට යමුකො..

මායම් වලින් යුක්ත යුවතියන්ගේ බැල්මට වශී නොවී, එසේ නොමැති ඔවුන් පරයා නැගීආ සුන්දර නිහතමානී යුවතිය කෙරේ මා සිත බැඳී ඇත. මගේ කල්ලියෙන් මිදී මට ඇයගේ ආදරය කරා යාමට උවමනාය, නමුත් තවම මම මගේ හැඟීම් ඇයට කියා නොමැත. මගේ සිතුම් හද තුල සිරවී ඇත, මට නින්දක් නැත. ඔබ වෙනුවෙන් මා මග බලමින් සිටිමි, ඔබ මට හිමිවේ නම් මාඔබට කිසිදාක රිදවන්නේ නෑ, ඒ තරමටම මම ඔබට ආදරෙයි.

පාඩම් පොතෙ සුවඳ අකුරින් ලියාදුන් උන්මාද ගීතේද ගැයුවේ ඔයා
ඒ පොත් කොනේ ලීව හසුනත් ඔයාටයි ඒ පෙම් හැඟුම් නැද්ද දැක්කේ ඔයා
හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ හිතවත්කමක් නේද දැනුනේ කියා
කවදාද ඉටුවන්නෙ මේ ප්‍රාර්ථනාවන් දුක් ගින්දරේ හීන ඇවිලීගියා..

මම ඔයාගෙ පොතේ ලීව නිසදැස් ඔයා හරිහැටි කියෙව්වේ නැද්ද? මගේ පෙම් හැඟුම් ඔයාට තෙරුනේ නැද්ද? හැමදාම ඔයාගෙ ඇස් වලින් මට පෙම් කතාවක් කියන්න සැරසෙනවා වගේ දැනෙනව, ඒත් ඒක හිතවත්කමම විතරද, මට තෙරුම් ගන්න බෑ.
-මෙන්න මෙතනදි තමයි ගොඩක් දෙනා අසරන වෙන්නෙ, මොකද අනෙකාගේ ඉඟි, හැගීම් හරිහැටි තෙරුම් ගන්න අමාරුයි. වැරදි විදියට තෙරුම් ගත්තොත් තත්වය බරපතල වෙනවා.

මල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ ඒක හීනයක් ගාව මම නැවතිලා
තරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගේ බෑ දැන් කියාගන්න හිත ගොලුවෙලා
දැනගත්තදා ඇත්ත වෙන්වී ගියෝතින් හැමදාම විඳවන්න මා මෙහි තියා
නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන් මිතුදම් හොඳයි අහිමි වනවට වඩා

මගේ හැම හීනයකම ඉන්නේ ඔබයි. මම තීරනයක් ගන්නව, මම කෙලින්නම ඔයහෙන් අහනව. ඒත් ඔයාගෙ ඔය ලස්සන ඇස් දිහා බලන් ඉන්නකොට මට හිතේ තියන දේ කියා ගන්න බෑ. මගේ හිතේතියන දේ ඔයා දැනගත්ත දවසට ඔයා ඒකට අකමැති වෙලා වෙන්වෙලා ගියොත් මට ඒක දරාගන්න බැරිවේවි. ඒක නිසා මිතුදම තියාගෙන මම ඉන්නම්. අඩුමගානෙ එතකොට මට ඔයාව නැතිවෙලා නෑ කියන හැඟීම හරි තියෙනවා.
-ඔහුත් ඇයත් මිතුරන් ලෙස සෑහෙන බැඳීමකින් ඉන්නවා. තම ආදරය ප්‍රකාශ කරල ඇයව නැති කරගන්නට වේදැයි බියක් ඔහු තුල පවතිනවා. මිතුරන් වී සිටීමෙන් ඇයව නැතිවීයාම හෝ වලක්වාගතහැකි බව ඔහු සිතනවා.

මෙය තමා ගොඩක් සංවේදී පෙම්වතුන්ගේ ඉරනම. මම නම් කියන්නේ එහෙම වෙන්න දෙන්න එපා. ඔබට ආදරයක් ලැබිය යුතුනම් එය ලබාගැනීමට කටයුතු කරන්න. ජීවිත කාලයක පසුතැවීමක් එයින් මග හරවා ගන්නට පුලුවන්...

~~තේජන අබේදීර~~

3 comments:

Ranga said...

I had the same weekness of not let my love to see my real feelings to her. But the difference is i got her becoz she is smart enough to understand my feelings. Those days this is like a national anthem for me. Thanks pal. you have taken me to my lovely past.

Akeesha Pasan said...
This comment has been removed by the author.
තේජන අබේදීර said...

Thanxx Abhishek