Thursday, 29 October 2015

නිර්මලා ....

පි : නිර්මලා ලොන්ඩරිය හිමි
සළු වඩන මැණිකේ නිර්මලා .....
මල් හිනා නුඹේ තැවරිලා .....
කිරි ඉද්ද මල් වැට පීදිලා ....

ගැ :
කුල ගෙවල් සැරසිලි කළත්
අපි සළු වඩා පාවඩ එලා ....
නිර්මලා නිර්මල නැතැයි මා ...
ඔබේ ලොවින් පිට මං කළා ...
පි :
පන්තියේ මිතුරන් එදා කළ
විහිළුවෙන් ඇස් රිදුණු දා ....
මා හෙලූ කදුළක්
මගේ දින පොතක තිබිලා හමුවුණා ....
ගැ :
යුධ වැදී නෑසියන් බලමුළු
අපේ ලොව ගිනි වැදුණු දා ....
මා හෙලූ කදුළින් තෙමුණු සළු
පිළි තවම නෑ වේලිලා ....
පි :
දොවාලන්නට බැරි පිළී ගඳ
කහට කුලමල තවරලා ....
මගේ ඇඳුම් නුඹේ අතට දෙන එක
දරන්නට බෑ නිර්මලා ...
ගැ :
එදා සෙනෙහස නොකිලිටව ඔබෙ
හිත පුරා පවතින නිසා ....
හිමි නැතත් මට හුරු සුවඳ ඒ
ඇඳුම් අතරේ තියෙනවා ....
ගායනය : ගුණදාස කපුගේ & නිරංජලා සරෝජනී
_____________________
මෙහි වස්තුවිෂය ලෙස ගෙන ඇත්තේ ' නිර්මලා යැයි හැඳින්වූ හේනෙ කුලයක තරුණියක සහ ඇයත් සමඟ පෙමින් වෙළී හුන් ඉහළ පැලැන්තියක තරුණයෙකු අතර වන සංවාදයකි .... ලත් තැනම ලොප් ලොප්ව , බිඳී දෙදරා ගිය .... ඔවුන්ගේ ප්‍රේම අතීතාවර්ජනයක්' ලෙස එය හැඟෙයි ...
නිර්මලා යනු රදා නොහොත් ඩෝබි කුලයක තරුණියකි ... ඈට උරුම සෙස්සන්ගේ සළු පිළී සෝදා දීමයි ; පිරිසිදු කිරීමයි ...
මෙහි නිර්මලා යන සංකේත නාමය රචකයා සිය පරමාර්ථ විකාසනයට ගලපා යෙදූවකි ..
නිර්මලා = පිරිසිදු / පාරිශුද්ධ / පිවිතුරු / නිකැළැල් ස්ත්‍රිය ...යන්නයි ...
කුල ගර්වයෙන් ඉදිමී ; පුහු මෝහයෙන් පිම්බී වෙසෙනා ඇතැම් ඉහළ පැලැන්තිවල ඇත්තන්ගේ සළු පිළී සෝදනා ඇගේ සිත කොතරම් පවිත්‍ර වන්නේදැයි ඇගේ නමින්ම අපට හඟවයි ... මුවගේ නැඟෙන මල් හිනවකින් කිරි ඉද්ද මල් වැට පීදෙනා බැව් කීමෙන්ද හැඟෙන්නේ එයමැයි ... කිරි ඉද්ද යනු ද පාරිශුද්ධත්වයට ඉඟි පානා මලෙකි ...
ඈ කුලයෙන් හීන අහිංසකාවියකි .........සෙසු අමන සිත් මෙන් ඈ තුළ පුහු අහංකාකම් , ගර්වයන් නැත ...
ඔවුන් තුළ නොවන අහිංසක කම , හිත්පුරා පිවිතුරු බව ඇය වෙතින් වෑහෙයි ... ඇය ගැන හොඳ හැටි දන්නා පෙම්වතා ඇගේ පෙම සාධාරණීකරණය කරන්නේ එබැවිනි ....
" කුල ගෙවල් සැරසිලි කළත් ...... "
මෙහිදී ඇයගේ වදනින් අප හදවත් කීරි ගැහෙයි ... " මේ තරමට ඔබ වෙනුවෙන් ඔබේ පරපුර වෙනුවෙන් කටයුතු කළ , කුල ගෙවල් සැරසිලි කළ , සළු පිළී සෝදා දුන් මා නිර්මල බව අද ඔබ මෙසේ කීවද ... එදා ඔබේ සනුහරය මේ නිර්මලා නිර්මල නැතැයි කියමින් මා පිටමං කළ අයුරු ඔබට මතකද !?!...

" පංතියේ මිතුරන් එදා .... "
ළඳුනි ,, මා කියනා දෙයත් අසනු මැන ....
' මා ඔබ හා ප්‍රේමයෙන් වෙළුණු නිසාම මාගේ යහළුවන්ගේ උසුළු විසුළු වලට ලක් වීමට මට සිදු විය .... ඒ එදා හැඬූ තරම මේ ළඟදී දිනයකත් මා සිහියට නැඟිණි ... ' මා හෙලූ කදුළක් මගේ දින පොතක තිබිලා හමු වුනා ' යනුවෙන් කියා පාන්නේ එයමැයි ... මින් හඟින්නේ වෙනමම කරුණකි ... ' සොඳුරිය , ඒ මා හැඬුවේ මා වෙනුවෙන් නොව , කුල මල කරපින්නා ගත් මාන්නක්කාර යහළුවන් ඔබ වෙත කරනා පරිභවයන් උසුලනු නොහැකිවය .... මා නෙතු අග කඳුළු පිරුණේ පාරිශුද්ධ ප්‍රේමයේ නාමයෙනි ... මේ කරන ප්‍රකාශයත් සමඟ ඔහු සත්‍යවාදී පෙම්වතෙකු බව ඇයට මෙන්ම අපටද හැඟෙයි ... පද පේළි හතරකට කැටි කළ , රචකයාගේ පුළුල් සංකේත විදර්ශනය පෙනේද ?!....
" යුධ වැදී නෑසියන් බල මුළු ...."
' සොඳුර , නුඹට මා පෙම් කළ නිසාම නුඹේ කුලවත් බන්ධු බලමුළු පැමිණ අපේ ප්‍රේමයට එරෙහි වූ දා මා කෙතරම්නම් අසරණ වූවාදැයි නුඹ දනීද ?!... එදා ඔවුන් සියල්ල ඔබේ පසට වී මා වෙත චෝදනාවන් නඟද්දී මා සිත පෑරුණු තරම දන්නේ මා පමණි ....
" මා හෙලූ කදුළින් තෙමූ සළු
පිළී තවම නෑ වේලිලා ."
යන්නෙන් පවසන්නේ එයයි .... මට ඒ සිදුවීම සදා අමතක නොවෙනු ඇත ....... '
මෙහි විශේෂත්වය වන්නේ ,...
පෙර කී පෙම්වතා හෙලූ කදුළක් ... ඔහුට නැවතත් පරණ දින පොතකින් හමුවූවයැයි කීමත් , ඇය හෙලූ කදුළින් තෙමුණු ඇගේ සළුපිළි තවම වියළී නැතැයි කීමත් ය ...
පෙර දාක සිදුවූ ඒ සිදුවීම් ඔහුට අමතකව ගොස් තිබී නැවත කුමන හෝ කාරණයකට පෙර මතක මතු වූ බැවින් එය සිහියට නැඟුණු බව හැඟෙයි .... ඔහු එහිදී ඇයට නැවත අතීතය මතක් කර දෙමින් ඇයට සමීප වීමට උත්සාහ දරයි ... සමහරවිට ඒ නැවතත් ප්‍රේම ඇරයුමක් කිරීමට සැරසීමක් වියයුතුය ..

පෙර දාක මේ පෙම නිසාම ඉවසිය නොහැකි තරම් ඇඬුම් පෑ ඇයට නැවත ඒ දුක විඳීමට බැරිය ; ඒ සඳහා ඇගේ සිත සවිමත් නැත ... ' සොඳුර , නුඹේ ලෝකයයි මගේ ලෝකයයි කිසිදා නොපෑහෙයි ... සමාවනු මැන ! ... ' ඇය එය ව්‍යංගාර්ථයෙන් කියනා අයුරු මනාය ...
" දොවාලන්නට බැරි පිළී ගඳ .... "
කුමක් කළ යුතුයැයි මට නොතේරෙයි ... මා දන්නේ මා නුඹට ළෙන්ගතු බව පමණකි ... ඒ නිසාම ... මේ කුලමල කුණු තැවරුණු සළු පිළී නුඹ ලවා පිරිසිදු කර ගන්නට මට නොසිතෙයි ... එහෙත් එසේ නොකරත් බැරිය ...
පෙනේද ?.. එයද ඉඟියකි ....
' මාගේ මේ කුල ගර්වය නමැති නොනිසි පිළිලය පැතිරී ගිය දිවියට කිසිදාක නුඹ ළඟා කර ගත නොහැකි බැව් මටද හැඟෙයි ... එහෙත් , ඔබගෙන් දුරස් වීමට ද හිත ඉඩ නොදෙයි .... මම නුඹට ළං වනු රිසියෙමි .... මෙහිදී ඔහුත් අසරණය ... දෙමාපිය නෑදෑ බලමුළු හමුවේ ඔහුට කළ හැකි යමක් නැති බව හඟියි ...
" එදා සෙනෙහස නොකිලිටව ඔබෙ .... "
කුමක් කරන්නද සොඳුර ,.. නුඹ මා වෙත පිදූ සෙනෙහස අමිල සේම නොකැළැල් බව මම දනිමි .... නුඹ ගැනවත් නුඹේ සනුහරය ගැනවත් මා සිත තුළ කහටක් නැත ...
" හිමි නැතත් මට හුරු සුවඳ ඒ ඇඳුම් අතරේ තියෙනවා .... "
' නුඹව මට හිමි නූනත් නුඹ දුන් ප්‍රේමයෙහි මහිම මා සිත් පුරා සඳා රැඳෙනු ඇත .... මෙහි ( හිමි නැතත් ) යන්න තවත් ලෙසකින් ගත හැක ....
හිමි = ස්වාමියා
එසේ ගත් කල ,... නුඹ මාගේ ස්වාමියා නූනත් හිතින් මා සැමදා නුඹේ ළඟය යන අරුත සපයයි ....
රචකයාණෙනි ,...
කුලමල හා උස් පහත්කම් හේතුවෙන් භේදභින්න වී හැසිරෙනා සමාජයක සැඟවුණු යථාර්ථය පුළුල් ලෙස සංයමයෙන් විදර්ශනය කරනා ඔබ වෙත සාහිත්‍යයේ නාමයෙන් හිස නමා ආචාරය පුද කරමි මම ....

]...ශක්ෂික රෝෂික...[

No comments: