Friday 16 October 2015

දම්මි සුගත් තනිකලාට හිතට දුකක් හිමිකලාට,,,

දම්මි සුගත් තනිකලාට හිතට දුකක් හිමිකලාට
මම ඒවගෙ කෙනෙක් කියල එපා හිතන්න
පෙම් පැතුමක් පරවුනාට දුක් කඳුලක් හිමිවුනාට
හැමදෙනාම එක මිම්මෙන් එපා මනින්න


ගායනය : සුභානි හර්ෂණී


අපි බොහෝ දෙනෙක් සමහර වෙලාවට ආදරයට නෙමෙයි වැඩියෙන් ආදරය කරන්නෙ. ආදරයට ආදරය කරනවා වෙනුවට ගිලිහුනු හෝ  පරාජිත ආදරයක් ගැන තැවෙමින් සිටිනවා. මෙය ඉතාම ස්වාභාවිකයි, මන්දයත්  අප දිගටම ආදරය කරන්නේ නැතිනම් පරාජිත ආදරය පිලිබඳව තැවෙන්නේ අපට එහි වටිනාකමක් තිබෙන නිසා. අපි එයට ගරු කරන නිසා. හැබැයි මේ පරාජිත ආදරයක් නිසාවට තැවි තැවී සිටීමේදී අපට තවත් සැබෑ ආදරයක් මගහැරීමේ ඇති  සම්භාවිතාව එමටයි.

ගීතයේදී රචකයා අපව රැගෙන යන්නේ අපූර්ව සන්දිස්තානයකට. 1968 අප්‍රේල් මස විසිහතරවනදා තිරගතවූ ගොලු හදවත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිර්මාණයක්. ගොලු හදවත කියූ සැනින් අප මතකයට නැගෙන්නේ  දම්මි සුගත් බව රහසක් නොවේ. මෙනිසා දම්මි සුගත් අන්දරය ගෙනහැර පෑමට බලාපොරොත්තු නොවෙමි. ගොලු හදවතේ දම්මි, සුගත්ව තනිකල ආකාරයට පෙම්වතිය පෙම්වතාව තනිකරදමා වෙන්වී ගොසිනි. පෙම්වතාට උරුමවී ඇත්තේ දුකම පමනි. මේ සිද්දිය මෙසේ සිදුවෙද්දී තවත් යුවතියක් මේ දෙස උනන්දුවෙන් බලාසිටී. ඇය ඔහු සනසන්නට ඔහු කරා පැමිනේ. නමුත් මෙහිදී හුදෙකම ඔහුව සැනසීමේ අටියෙන්ම පමනක් නොව ඔහුව තමා සතුකරගැනීමේ ආශාවක් ඇය තුල පවතී. ඇය පිලිබඳව ඔහුගේ පැරනි පෙම්වතිය මෙන් නොසිතීමට කියන අතරම සියලුම කෙල්ලන් එක මිම්මෙන් මනින්නට එපා යැයි ඇය පවසන්නීය.

ආදරේදී දැනෙන බොලඳ සමනල්  ආදරයෙ සුවඳ
ජීවිතයෙදි නෑ කෙනෙකුට අමතක වෙන්නේ
ඒවුනාට අසන් සබඳ ඔබගෙන් ඈ වෙන්ව ගියද
ඈ නාමෙන් ඔබ හැඬුවට පලක් නොවෙන්නේ


ඔහු තමන් කෙරේ නම්මවාගැනීමට ඈ ප්‍රභල උත්සහයක්  ගනී. ආදරය බොලඳ දෙයක් ලෙස ඈ පවසයි. නමුත් එම ආදරය අමතක කිරීමට අසීරු බව ඈ පිලිගනී. ගිලිහී ගිය ආදරයක් වෙනුවෙන් තැවී පලක් නොමැත. එනිසා හැරගිය පෙම්වතිය වෙනුවෙන් කඳුලු සැලීම පල රහිත ක්‍රියාවකි. ඈ තවදුරටත් ඔහුගේ සිත සැදීමට කටයුතු කරයි.

ගොලු හදවත නිසා ඇගේ ලතැවුල් හිමිවුනත් එසේ
මීවිතකට බෑ කෙනෙකුට සුවය ගෙනෙන්න
ඇරයුම් පිලිඅරන් මගේ ශෝකය දුරු කරන් සිතේ
මාහා ඔබ එන්න අලුත් ඉරක් දකින්න

පැරනි පෙම්වතියගේ ගොලු හදවත නිසා පෙම්වතාට ඇය අහිමිවිය. මෙය දැඩි ලෙස දුක ගෙන එන්නකි. විරහවට අත වනන පෙම්වතා මීවිතෙන් යම් සුවයක් බලාපොරොත්තුවේ. නමුත් මෙහි ආදීනව කියාදීමට තරම් යුවතිය ඔහු කෙරේ ලෙන්ගතුය. ඈ ඔහු ලබාගැනීමට දැඩි උත්සහයක් ගත්තද ඇය ඔහුට සැබෑවටම ආදරය කරන බව පෙනෙන්නට තිබේ.
සාමාන්‍යයෙන්නම් පෙම් සබඳතාවයකට මුල් පියවර තබන්නේ පිරිමියාය. නමුත් මෙහිදී එයත් වෙනස් කරමින් ඇය ඔහුට ඉදිරි ජීවිතය ඇය හා ගෙවීමට ආරාධනා කරයි. මෙයිනුත් අපට හැඟෙන කරුන නම් ඇය ඔහුට සැබෑවටම ආදරය කරන බවයි.
ඉතින් මා පෙර පැවසුවාක්මෙන් පරාජිත ආදරයක් නිසාවට තැවි තැවී සිටීමේදී අපට තවත් සැබෑ ආදරයක් මගහැරීමේ ඇති  ඉඩකඩ වැඩිඩේවි.

~~තේජන අබේදීර~~

 

No comments: