පාර දිගේ කනින් කනට
කොදුර කොදුර ඔබයි මමයි
විතරයි හිටියේ
රාස්සිගේ අවුව වැටී
දඹ රන් වූ ඔබෙ කෙහෙරැලි
සුළං සමග පොර බැදුවා
ඔබට මතක නැති වුනාට
අද වාගේ මතකයි මට
ගොපලු කොලුගෙ බටනලාව
සංගීතය මවන කළට
දොළේ දියෙන් පා දෙවුවා
ඔබට මතක නැති වුනාට
අද වාගේ මතකයි මට
ගීත රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : එච්. එම්. ජයවර්ධන
ගායනය : සනත් නන්දසිරි
කරට උඩින් ඇති මහා බර කන්ද එදානම් පුලුන් රොදක් සේ දැනිච්ච විදිය... ඒත් අද.. ඒ බර මහ මෙරකටත් වඩා වැඩියි. ඒත්.. හිතාගන්නත් බෑ. ඇත්තටම මේ එදා නොදැණුන මහ බර අද දැනෙන්නේ ඇත්තටම කරටද, නැත්නම් හදවතටද..
යන්නෙ එදා ගිය පාරෙමයි. ඒ බඩවැටිමයි..ඒ කඳු හෙල් මයි. ඒත් ඇයි මේ...එදාට වඩා අද බර වැඩියි.
අතීතෙට ගිය හිතත් එක්ක ආයෙමත් බර සැහැල්ලු උනා වගෙයි. වර්තමානයේ අඩිය තියමින් අතීතයේ ඇවිද යන මේ ගමන බර සැහැල්ලු කලත්, අතීත මංකඩවල් අසල හිත වර්තමානයට යමින් ඇතැම්විට බර දෙගුණ තෙගුණ නොකලාත් නෙවෙයි.
එකල වූයේ සුපුරුදු නමුත් රසබර කාලසටහනකි. පාන් කළුවරේම ආරම්භ කරන ගමන හෝරා ගනනාවක් තිස්සේ ඇවිද යමින් ගමනාන්තයට ළඟා උනා. ඒ හැම සුමානයකටම වාරයක්. එතනින් පස්සෙ ලැබෙන්නෙ මිහිරිතම හෝරා කිහිපයක්. පුංචි නඩයෙ හිටපු තුන්දෙනාගෙන් එක් අයෙක් සිදාදියට යන්න පිටත් උනාම අනෙක් දෙදෙනාට ලැබෙන්නෙ සොඳුරුතම මොහොතක්. නිල් තණ නිල්ලේ හිතේ හැටියට වැතිරිලා ඔව්හු, ඔවුනට ලංව රහස් කොඳුරමින් බොහෝ වේලාවල් ගතකලා. සිලි සිලියෙන් ගලා ගිය සිහිල් දොල පාරෙන් පිපාසය නිවාගත්තා.
එකිනෙකාගේ සිරුරු වල උණුසුම ලබමින් දෙදෙනා ඉරගල වැටීමට ආසන්න හෝරාව තෙක් කෙලිදෙලින් හිඳ, සිදාදියට ගිය අනෙකා පැමිණි පසු යලි නවාතැනට ගමන් අරඹයි. මේ වූ කලීද, මනරම් චාරිකාවකි. සිදාදියෙන් ගෙනා බඩු පොදි කරේ තබාගෙන හැල්මේ යන මේ ගමනේ වෙහෙසක් බිඳුවකුදු එදා නොදැනුනේ තමන් අසලින්ම හරි හරියට අඩිය තියන දයාබරිය නිසාවෙන්මයි. රාස්සිගේ අව්ව වැටිල පාට වෙච්ච හැන්දෑවෙ හමාගෙන යන සිහිල් සුලං රොදට දඟ කරන නාඹරියගේ දඹ රන් පාට වැටිච්ච කෙහෙරැල් සිතට එක්කල මිහිරියාව..
අඩ අඳුරේ මඟ කියමින් පසු පසින් එන පළමුවැන්නා වයන බට නලාවෙන් නික්මෙන සුමිහිරි ගායනාවන් සිත් මිහිරෙන් පිරවූ හැටි.. මඟ දිගට හමුවෙන අනන්ත දොල පාරවල්, දියපාර වල් වලින් දෙපා දොවමින් දෙදෙනාම, එකටම එකටම ඇවිද ගිය හැටි..
ඒත් මේ මතක හැමදේම අද එකෙකුට විතරක් උරුම වෙලා. යායට මල් පිපුනු තැනිවල, උරෙන් උර ගැටෙමින් ඇවිද ගිය හැටි, කනෙන් කනට රහස් කොඳුරමින් දෙදෙනා විතරක්ම ගිය හැටි, රාස්සිගේ අවුව වැටිල තඹ පාට වෙච්ච ලස්සන කෙහෙරැල් හුලං එක්ක දඟ කරන මිහිර වින්ද හැටි, කඳු හෙල් මිටියාවත් සිසාර, ඇල දොල මතින් පනිමින්, දෙපා දොවමින්, ගොපලු කොලුගේ බටනලා ගීත වල තාලයට එකට ඇවිදගෙන ගිය හැටි,
උඹට අමතක උනාට රත්තියේ, මේ නාකි හඳයට කවදාකවත්ම අමතක නෑ, මතකයි අද වාගෙම. ඒත් නාඹර වයිරට දපනෙ වැටිල උඹල දෙන්න ඒ මංකඩවල් වලම මට ඉස්සරහින් ඇවිදගෙන යනකොට, අද මාව අමතක කරල ඉන්න උඹව දකින මට, උරුම ඒ අතීත මතකයන්ගේ මිහිර විතරමයි රත්තියේ..
~~ඉෂාන් සනුක~~
1 comment:
කිනිතුල්ලෙක් ගැන නේද කියවෙන්නේ මචන්..?
Post a Comment