Friday, 16 October 2015

තනිවෙන්න ඉඩ දෙන්න...

තනිවෙන්න ඉඩ දෙන්න
මටයි මගේ හිතටයි
වැලපෙන්න ඉඩ දෙන්න
මටයි මගේ නෙතටයි

ගායනය : අජිත් ආරියරත්න
ගී පද     : ජයන්ත රෝහණ
සංගීතය : එච් එම්  ජයවර්ධන  


පෙම්වතුන්ගේ ලෝකය පුදුමාකාරයි. විටෙක සිනහව රජයන අතර විටෙක කඳුල සිහසුන් ගනී. ප්‍රේමයේ අවසන් අදියරේ එනම් වෙන්වීමට ආසන්නයේදී හෝ විරහවේදී ඔවුනොවුන් ද්වේශය, වෛරය හා කෘරත්වය කරා ගමන් කරන අවස්තා අනන්තය අප්‍රමාණය. මෙහිදී මේ කිසිම  දෙයක් සාධාරනීයකරණය කිරීමට හෝ විවේචනය කිරීමට කැමැත්තක් මා තුල නොවේ. මන්දයත් රාමුවට පිටතින් සිට බලා සිටින අපට නොපෙනෙන දහසක් දෑ ඒ තුල පැවතීමට ඇති හැකියාවයි.
ඒ  කෙසේ වෙතත් මේ ගීතයෙන් කියවෙන ආකාරයට පෙම්වතා ප්‍රේමයෙන් පරාජයට පත්වී ඇත. ඔහු ප්‍රේමයට බෙහෙවින් ප්‍රේම කල අයෙක් වීම නිසාවෙන්ම විරහ වේදනාව දැඩි ලෙස සිතට කාවැදුනු බවක් පෙනේ.
විරහවේ වේදනාව විඳින්නට ඔහු සූදානම්. මේ සඳහා සිතුවිලි සමග තනි වීමත් නෙත සමග වැලපීමත් සඳහා ඔහු අවසර පතයි. මේ අවසරය පතන්නේ කාගෙන්ද? සැබවිනම් ඔහුගේ අහිමි පෙම්වතියගෙන් නැතිනම් හැරගිය පෙම්වතියගෙන්.

යුගයක සෙනෙහස සිතුවිල්ලක්වී
සැගවි මතකය අද රහසේ
පෙමි කල සිතකට සාප නොකල මැන
වෙන හිතකට පෙමි කල දවසේ

අලුත එක්වුනු පෙම්වතුන් සිහින මාලිගා තැනීම සඳහා ඉතා දක්ෂයෝ වෙති. අවුරුදු ගනනකට පමනක් නොව සමහර විටෙක මුලු ජීවිත කාලය සඳහාම සිහින තැනීමට ඔවුහු උත්සුක වෙති. එවැනිම ආකාරයට මෙම පෙම්වතා මවාගෙන සිටි දේවල් හුදෙක් සිහිනයකටම සීමාවී තිබේ. මෙම සිහින බිඳවැටීම පෙර මතකයන් සඟවා තබන්නට තරම් කුරිරු වී ඇත. අප  අසා ඇති බොහෝ කතාවල මෙන් මෙහිදීද පෙම්වතිය පෙම්වතා හැරදා වෙනකෙකු කරා ලංවූවාය. එසේ වෙනකෙකු කරා යාමෙන් පමනක් නොනවතින ඇය තම පැරනි පෙම්වතාට දොස් පවරයි.  ඒවා කෙතරම් දරුනු ලෙස පෙම්වතා කෙරෙහි පැමිනෙන්නේදයත් ඔහු ඒ දකින්නේ සාපයක් ලෙසිනි. තම පෙම්වතිය කෙරෙහි වෛරයක් ඔහු තුල නොමැත. නමුත් පෙම්වතිය ඔහු  කෙරේ වෛරයක් ඇතිකරගෙන සිටින බව නොකිවමනාය.

මැකුනු අතීතේ නටඹුන් අතරේ
මා තනිවුදා දිවි කතරේ
වසන්තේ තුං මන්සල අභියස
ඔබ ඇත ඔහු සුලැගිලි අතරේ

ප්‍රේමාලිංගන පෑ අතීතය මැකී ගොසිනි. නටබුන් අතර ඔහු සිරවී ඇත. සන්තාපය තුරුළුකරගත් ඔහුට දක්නට ලැබෙන්නේ මැකුනු අතීතයෙන් මිදී ඉදිරියට යන ඔහුගේ පෙම්වතියයි. ඇය තවකෙකුගේ සුලැඟිලි අතර පැටලී නව ලොවක් කරා පියමනිනු පෙනේ.


~~තේජන අබේදීර~~

No comments: