Thursday 15 October 2015

අව්වේ මුතු ඇට වපුරා ඒ මුතු පනමට හරවා...

කපුගේ, දිවුල්ගනේ වැනි ගුවන්විදුලියේ රජරට සේවයෙන් බිහිවු සදාදරනීය ගායක ගොන්නට එක් වු තවත් මධුර ස්වරයක් ලෙස ක්‍රිශාන්ත එරන්දක මහතා හඳුන්වා දෙන්න පුළුවන්.පිය සෙනෙහසට ලියැවුණු මදි නොවන කව් ගී අතර එතුමන්ගේ කටහඩින් ගැයෙන මෙම ගීනයත් සුවිශේෂි තැනක් ගන්නා බවට සැකයක් නෑ.

මෙහි පදරචනය-ගයාමත් දිසානායක
ගී තනු-සමන්ත පෙරේරා

අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පනමට හරවා
අපේ කුසේ ගිනි නිවලා
නුඹ කුසගින්නේ....ඉඳ හිනැහෙන්නේ
අපෙ අප්පච්චි....
නුඹ කුසගින්නේ
අපෙ අප්පච්චි....

අපා දෙපා සිව්පාවුන්-ගෙන එන වින වලකන්නට
සනසා නුඹ අප වටකර දඬුවැට වෙච්චී
මහ කැළේට ඇස් මානා අපෙ අප්පච්චි....
ජීවිතයේ බඹර හෙලේ-පැණි හොයලා රූටද්දී
හිත හය්යට කණවැල් පොට වරපොට වෙච්චී
දිරිය පාරමිතා පුරන අපෙ අප්පච්චි

මේ පද පෙළ මූලිකව රජරට ගැමි ජීවිතය ඇසුරු කරගෙන ලියැවී ඇතත් ,ගැඹුරට විමසා බලන කෙනෙකුට රජරටට සීමා නොවූ විශ්වීය පීතෘත්වය ඒ තුළින් දැකගන්න අපහසු නෑ.

අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පනමට හරවා
අපේ කුසේ ගිනි නිවලා
නුඹ කුසගින්නේ....ඉඳ හිනැහෙන්නේ
අපෙ අප්පච්චි....

තාත්තා හෙලන හැම දහදිය බිංදුවකටම වටිනාකමක් තියෙනවා.සුළු වටිනාකමක් නෙවෙයි. මුතුඇට තරම්ම වටින වටිනාකමක්.ඒ තාත්තා ගොවියෙක් වෙන්න පුළුවන්, කම්කරුවෙක් වෙන්න පුළුවන්, ධීවරයෙක් වෙන්න පුළුවන්, ඒ විතරක් නෙවෙයි ගුරුවරයෙක්, ලිපිකරුවෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් නැත්නම් වෙනත් ව්‍යාපාරිකයෙක්වෙන්නත් පුළුවන්.ඒ කවුරුත් තමන්ගෙ කායික, මානසික ශ්‍රමය වැයකරනනෙ දරුපවුල වෙනුවෙන්.තමන්ට නොලැබුණු දෙයක් අපට ලබා දීල කුසගින්නෙ හිනා වෙන්න පුලුවන්ඔවුන්ටම තමයි.

අපා දෙපා සිව්පාවුන්-ගෙන එන වින වලකන්නට
සනසා නුඹ අප වටකර දඬුවැට වෙච්චී
මහ කැළේට ඇස් මානා අපෙ අප්පච්චි....
මේ සමාජය මහ කැළයක් වගේ.රුදුරු අපා දෙපා සිව්පාවුන්දරු පැටවු ගිලගන්නෙ එක තප්පරයක පමාවෙන්...සුරාව,සූදුව,පාප මිත්‍ර අනවින වගේම සල්ලාලයන්ගෙ පවිටු ඇස් වලිනුත් අපිව රැකගත්ත; රැකගන්න දඬු වැට තමයි අප්පච්චි.
බඹරු වද බඳින්නෙ මහ ගිරි හෙල් වල යටි පැත්තට වෙන්න.බඹර කපන්නෝ ඒ දළ බෑවුම ඉහළට ගොඩ වෙලා ශක්තිමත් වැල් පොටක් පහළට දානවා. එක් කෙනෙක් ඉහළ ඉඳන් ඒක අල්ලගෙන ඉඳිද්දි බඹර කපන්නා වැල් පොට දිගේ පහළට බැහැලා බඹරය කපනවා.‍ෙම්ක මරණය පෙනි පෙනී කරන අවදානම් කටයුත්තක්.

ජීවිතයේ බඹර හෙලේ-පැණි හොයලා රූටද්දී
හිත හය්යට කණවැල් පොට වරපොට වෙච්චී
දිරිය පාරමිතා පුරන අපෙ අප්පච්චි
ජීවිතයත් බඹර හෙලක්.අපි පැණි හොය හොයා රූටනවා. අප්පච්චි තමා අපේ හිතේ දිරිය..වරපොට හෙල්ලුනත්,ගැස්සුනත්,දරන්න බැරි කරම් බරින් වැඩි වුනත් වරපොට අතහරින්න බෑ. උඩ ඉන්න කෙනා අතහැරියොත් බඹර කපන්නා හෙළට බිලි වෙනවා.පියවරුත් කවදාවත් මොන අමාරුකම් ආවත් දරුවන්ව අතහරින්නෙ නෑ.තමනුත් අතහැරියොත් ඔවුන් වෙනුවෙන් දිගුවන වෙනත් අතක් නැතිබව ඔවුන් දන්නවා.ඒ නිසා ඉවසනවා..නැවත නැවතත් ඉවසනවා. දිරිය පාරමිතා පුරන බෝධිසත්වයෙක් වගේ දරුවන් වෙනුවෙන් හිත දැඩි කර ගන්නවා...


~~නිම්සරා හසරංගි~~

2 comments:

තේජන අබේදීර said...

මේ නිම්සරා සොයුරියගේ කුළුඳුල්ගීත විචාරයයි. ඉතාම සංයමයකින් යුක්තව විචාරය ඉදිරිපත් කර ඇත. තව තවත් හොඳ නිර්මාණ කිරීමට ශක්තිය ඔබට ලැබේවි. සුභපැතුම්...

Wasantha Bandara said...

thaththek kiyanne lamayekuge lokaye rajek. Chamara kiyanne mage loke rajjuruwo nubayi thaththe kiyala. thama duwa daruwan wenuwen aparimitha wehesak darala owunge kusaginna niwanna ohu karana meheya kiyala nima karanna be. Ammawarun pamanada mathu budu wanne..ne thaththalath mathu budu wenna one.