Tuesday 20 October 2015

සෙනෙහසකට අරුතක් පුරවන්නට..(2)

සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී..
 


කැකුළක් සිඳුනෙන් හදවත පිපුණු
කඳුළෙන් කටු මත විෂ තිබුණා
බිඳුණොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතු වී තිබුණා...
 

පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා...



ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්
පද : ප්‍රනීත් අබේසුන්දර
සංගීතය : මහින්ද බණ්ඩාර

 
හිත් සහ සිතිවිලි වල විපර්යාස වන වර්තමානයක ආදරය නම් මාර්තෘකාවට ලැබෙන අර්ථකතන විවිධාකාරය. ගියොත් ගියාවේ.., මේක අපේ ඉරණම, යැයි කියා ගන්න යුගයක ආදරය අරුත්ගන්වීම වෙනුවෙන් කල නොහැකි කැප කිරීම් පවා කල පෙම්වතෙකුගේ කතාවක් සෙනෙහසකට අරුතක් ගීතය තුලින් ප්‍රනීත් අබේසුන්දරයන් මවා දී තිබේ. අසංක ප්‍රියමන්ත පීරිස් ගායන ශිල්පියා ක්ෂේත්‍රයට පිවිසි සමයේම මෙවන් රස පිරි අර්ථවත් ගීයක් ගයනා කරන්නට ලැබීම සැබවින්ම ඔහු ලද භාගයකි.
 

සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී....
 

ආදර වන්තයින් ලෙස එක් වන්නට වරම් නොලද මුත් සිය ප්‍රේමය වෙනුවෙන් මිනිසෙකුට කල නොහැකි දේ පවා සිදු කල පෙම්වතෙකු මෙම ගීය තුල ජීවත් වෙයි. එයට හේතුව වන්නේ සෙනෙහසේ සීමාවක් මායිමක් නොමැති බවට ඔහු දැඩිව විශ්වාස කිරීමයි.. ගීත රචකයා එය මනරම් ලෙස සංකේතාත්මකව ඉදිරිපත් කරයි. එසේ ඉමක් නොමැති සෙනෙහස අද මෙසේ දෙතැනක තනි වී ඇත්තේ කුමන අයුරේ හේතුවක් නිසා දැයි ඔහුටම සිතා ගත නොහැක..
 

කැකුළක් සිඳුනෙන් හදවත පිපුණු
කඳුළෙන් කටු මත විෂ තිබුණා
බිඳුණොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතු වී තිබුණා..
 

හදවතෙහි ඉපදුනු මල් කකුලක් බඳු ප්‍රේමය පිපෙන්නට පෙරම සිදී ගිය නිසාවෙන් ශේෂ වූ විෂ කටු නිසා උරුම වූයේ කඳුලම පමණයි. බිඳුණු බැඳුනක් යලි පිළියම් කලද එහි කැළැල් ඉතිරි වන්නාක් සේ මේ ප්‍රේමයද යලි වෙන් වන්නට සිතන්නට පවා නොහැකි දුරක් ගෙවා ගොස් හමාරයි.
 

පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා..
 

පෙම්වතා හැකි සැම විටදීම ඔවුන්ගේම ලෝකයක් දකින්නට පෙම්වතියට අරාධනා කලත් ඇයට කිසිසේත් එය පිළිගැනීමට හැකි ශක්තියක් ලැබුනේද නැත. කිසිවක් කර ගත නොහැකි තැන උරුම වූ දුක සිතේ දරාගත් පෙම්වතාට සිය වෙන් වීම පෙර ආත්මයක කල පවකට සිදු වූයේ යැයි සිතනවා හැරෙන්නට අන් මගක් නොවෙයි.
 

විරහවක් නිසාවෙන් පෙම් කල සිතකට ඇති වන්නට හැකි අසරණ කම එතරම් සරල නොවූවද, සරල පද පේලි කිහිපයකට එකී සංකීර්ණත්වය ගොනු කරලීමට ප්‍රනීත් අබේසුන්දරයන් තුල වූ ප්‍රතිභා පූර්ණ බව නම් අගය කල යුතුමය. එමෙන්ම සම්ප්‍රදායික සංගීත රාමුවෙන් මිදුන හැගීම් ප්‍රනකාශනයක් සංගීතඥ මහින්ද බණ්ඩාරයන් විසින් ගීතයට ලබා දී ඇත. ගීතයේ සාර්ථකත්වය, ජනප්‍රියත්වය උදෙසා අසංක ප්‍රියමන්ත ශිල්පියාගේ හඬ තුල පැවති හඬ වර්ණයද හේතුවක් වූ බව නොඅනුමානය...
 

~~සුජී මධුමාලි~~


1 comment:

ධනුෂ්ක ලක්ෂාන් ලොකුපිටිය said...

අහසෙ තරු හා වෙරළේ රළ තරමට කරපු ආදරයක්, අද දෙතැනක තනිව ඇත. සමහරවිට එයින් කියන්නෙ කලින් පණට පණ වගෙ තිබ්බ සම්බන්දය, දැන් කැඩිල දෙන්නම දෙපත්තක නැත්නම් වෙන විවාහයන් කරගෙන.

කැකුලක් සිදුනෙන් හදවත පිපුනු
පදුරෙත් නටුමත විස තිබුනා
බිදුනොත් බදුනක පිලියම් කරනට
බැරි කැළලක් මතුවී පෙනෙනා

මේකෙන් ආදරය කරද්දි වෙච්ච යම් සිදුවීමක් ගැන කියනව වෙන්න පුලුවන්. ඒක ගොඩක් දුරදිග ගියනිසා දෙන්නටම අමතක කරන්න බෑ. දැන් දෙන්නම වෙන විවාහයන් කරගෙන තිබුනත්, අතීතයෙ ඇතිවුන කැළල හරියට රෝස මල් පදුරක විසකටු මෙන් වර්තමාන ජීවිතයත් බලපාන බවයි.

පවකින් පෙර අත් භවයක සිදුවු
සිතකින් සිතකට දුක පිරුනා
මගෙ අත දිගුකල හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුනා

පෙර කල වරදක් නිසා සිතකින් තවත් සිතකට දුක උරුමවුනු බව පැවසීමෙන් ඔවුන්ගෙ වර්තමාන ආදර සහකරුවන්ටත් අතීතයේ තමන් අතින් වුනු වැරදි වලට වන්දි ගෙවන්නට වී ඇතැයි කියැවේ. "මගෙ අත දිගුකල හැකි හැම තැනදී" යන්නෙන් මෙහි සදහන් පෙම්වතා තවම විවාහ වී නැතිව කලින් පෙම්වතිය වෙත දෑත් දිගුකර බලාසිටියත් එම උත්සහය නිෂ්ඵල බවයි.