Wednesday 21 October 2015

ස්නේහයේ නගරයයි සිත මගේ....





ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ

යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා
රන් සිනා පාමි පූජාසනේ...

මේ නවාතැන් ගෙවා ආත්මයේ
යන තුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලඹින් දොවන සේ යදිමි මා
පූජනීයයි උතුම් ආදරේ...

ගායනය : අමරසිරි පීරිස් / මැණික් ජයසේකර
පද රචනය : හේමසිරි ගුණතුංග
සංගීතය : රෝහණ වීරසිංහ



ආදරය ගැන ලියැවුනු ගීත බොහොමයකි. ඒ අතුරින් ප්‍රේමයේ පිවිතුරු බව පිලිබඳව කියැවෙන ගීත අතුරින් මෙම ගීතයට ලැබෙන්නේ ඉහල තැනකි.
 

පෙම්වතා පවසන ආකාරයට ඔහුගේ සිත ස්නේහයෙන් පිරුනු නගරයකි. එම නගරයේ රාගය නමැති කිසිම මාර්ගයක් නොමැත. මුළු නගරයම ආදරයෙන්, ස්නේහයෙන් පිරී ඇත.
ප්‍රේමයට රාගය අවශ්‍යද නැද්ද? මෙය වාදයකට ගෙනගිය හැකි කරුණකි. මෙවිට මා සිහියට නැගෙන්නේ නන්දා මාලිනියගේ 'ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලියසේ අචින්ත්‍යයි' ගීතයයි. එසේනම්  ප්‍රේමයට රාගය එක්වූවිට ප්‍රේමයේ පවිත්‍රතාවය කෙලෙසෙයිද?
 

ඔබට සිතන්නට යමක් ඉතිරි කර මා ගීතයේ අනෙක් කොටසට යන්නම්. රචකයා නැවත ආදරය සල් වනයකට උපමා කරයි. එම සල් වනයේ රන්වන් මලක් ලෙස තම පෙම්වතිය දකියි. ආදරය නමැති පූජාසනයේ නෙත් පහන් දල්වමින්, සිත සඳුන් දුම් දැවීම්ට තරම් තම ආදරය පිවිතුරු බැව් පෙම්වතිය පවසයි. 
ගීතයේ අවසානයට පෙම්වතුන් පිවිතුරු ප්‍රාර්ථනාවක් සිත දරාගෙන තම ආදරය ඉදිරියට ගෙනයන බවක් පෙනේ.
 

ජීවිතයේ එක් එක් නවාතැන් පසුකරමින් ගමන් ගන්නා මේ ගමන මිලාන වීයන දවස වනතුරු සෙනෙහසේ සිහිලැල්ලෙන් ඔබව නහවා තැබීමට මම වග බලා ගමි. ඒ පූජනීයවූ  පිවිතුරු ආදරය ඔබට නිබඳවම ලබාදෙමි.
ගීතයේ ගී පදමාලාව ඉතා අලංකාරය. ඊටත් නොදෙවෙනි ලෙස අමරසිරි පීරිස් සහ මැණික් ජයසේකර ගී හඬ මුසු කරයි. මේ එක්කම රෝහණ වීරසිංහයන්ගේ නාද රටාව ගීතයට මනා ලෙස ගැලපේ. 


සිතන්නට යමක් 
ප්‍රේමයට රාගය එක්වූවිට ප්‍රේමයේ පවිත්‍රතාවය කෙලෙසෙයිද?

  ~~තේජන අබේදීර~~   

1 comment:

තේජන අබේදීර said...

සිසුරු චරිත් සහෝදරයා 'sinduwageemiyesiya' න් උපුටාගත් කොටසක් පලකරන්නම් ගීතය ලියන්න හේමසිරි රණතුංග මහතාට පාදකවුන කතාව ඔබට ගෙනහැරපෑමට.

//ඔන්න දවසක් හේමසිරි මහත්තයා කොළඹ ඉඳලා වැලිගමට යන්න බස් එකකට නැග්ගලු. දැන් ඒ බස් එකේ සීට් එකක ඉන්නලු තව ගෑලු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි. දෙන්න ඔන්න මුලදී හැසිරුනේ දෙන්නම නොදන්න විදියටලු. ඊට පස්සේ කෝමහරි මොකක්හරි කතාවක් දෙන්න අතරේ යන්න ඇති කොන්දොස්තර උන්නැහේ ආවම කොල්ලා දැන් දෙන්නටම ටිකට් ගත්තලු. දැන් එතන ඉඳලා අර කෙල්ලයි කොල්ලයි එක කතාවයිලු. හම්මේ අපිට අහුවෙන්නේ නෑනේ මෙහෙම කෙල්ලෝ. කොමහරි දෙන්නා ගාල්ල හරියේදී බැස්සලු බස් එකෙන්. බැහැලා දෙන්නා එක්ක අත් අල්ලගෙන යනවලු.
ඕක දැකලා ආදරේ මේ තරම් ලාබද කියලා හිතුනලු ගුණතුන්ගයන්ට.ඒ අයිඩියා පිට තමයි ඔන්න මේ සින්දුව ලියවෙන්නේ//