Sunday, 25 October 2015

සරුංගලේ වරල් සැලේ..

සරුංගලේ වරල් සැලේ නිසංසලේ ගුවන් තලේ
අපෙන් මිදී වෙන රටකද යන්න හදන්නේ
උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ

සරුංගලේ බට පතුරෙන් නුඹ සැදුවේ අපේ ළමයි
සරුංගලේ ලාටු උලා රැළි කෙරුවේ අපේ ළමයි
සරුංගලේ කොල අලවා හැඩ කෙරුවේ අපේ ළමයි
සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි

සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි
සරුංගලේ නූල් යොදා උඩ ඇරියේ අපේ ළමයි
සරුංගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයි
සරුංගලේ නුඹ වාගෙයි රට හැර යන අපේ ළමයි

පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය:- නන්දා මාලිනී.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ඉතාම සරල පද යොදාගෙන කරපු නිර්මාණයක්. ගීතය කෙතරම් සරලදැයි කීවොත් සරුංගල් සාදා ඒවා උඩයවා ඇති ඕනෑම කෙනෙකුට කියවා ගීතයේ මතුපිට අදහස තේරුම්ගත හැකියි.

සරුංගල් යැවීමට ලොකු කුඩා බේදයක් නෑ. වැඩි වශයෙන් මෙය කුඩා ළමුන් විසින් සිදුකරන ක්‍රියාවක් ලෙස පෙනුනත් වැඩිහිටියන් පවා මෙයට සහභාගීවන අවස්තා එමටයි. ඉතින් කොහොමද මේ කියන සරුංගලයක් නිර්මාණය වෙන්නෙ. බොහෝ වෙලාවට බට පතුරු වලින් තමා සැකිල්ල සාදාගන්නෙ. පසුව එයට පාප්ප හෝ කිසියම් ලාටු වර්ගයක් යොදා කොල අලවාගන්නවා. රැලි යොදා තවත් අලංකාර කරගෙන තමා නිර්මාණය නිමවෙන්නෙ.

ඉතින් මේ සරුංගල් බොහෝ වෙලාවට යවන්නෙ අගෝස්තු මාසයේ එනම් ළමයින්ට නිවාඩු මාසයක. සරුංගල් හදන වෙලාවටනම් අල්ප වශයෙන් බැනුම් ඇහුවත් දිනපතා උදේ හවා මෙය කිරීමෙන් දෙමාපියන්ගෙන් බැනුම් ඇසීමට පමනක් නොව ගුටි කෑමට සිදුවන වාර අනන්තයි. ඒත් ළමයින්ගේ ඒ බැනුම් ගුටි අමතක කර දීමට සරුංගලය සමත් වෙනව. කොහොමද? එය ඉතා ලස්සනට වරල් සලමින් නිසංසලේ නුබ ගැබ සැරිසරමින්. සරුංගලය උඩටම යනව, මේ යන ආකාරයට අපිවත් හැරදාලා වෙන රටකට යන්න හදනවාදෝ කියාත් සිතෙනව. සරුංගලේ නුඹ උඩ ගියාට පස්සෙ නුඹව හදපු නුඹත් එක්කම හිටපු අපේ ළමයින්ව අමතකයි නේද?  ඉතින් එහෙම බලනකොට අපේ රට හැරදාගිය අපේම ළමයි හා නුඹ අතර වෙනසක් නෑ.

මා පෙර පෙර පැවසූ පරිදි මතුපිට අර්ථය ඉතා සරල බවක් ගනී. කෙටියෙන් පැවසූ කල අප රට හැර පිට රටවලට යන ළමුන් සරුංගලයට සමාන කිරීමකි. නමුත් මේ පිළිබඳව ගැඹුරෙන් සිතාබැලූ කල මෙය ඉතා සෝචනීය තත්වයකි.

නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ශිල්ප හදාරා තවදුරටත් දැනුම වැඩිදියුනු කර ගැනීමට එසේත් නැතිනම් අධ්‍යාපන සුදුසුකම් ඉහල දමාගැනීමට අප රට අතහැර අන් රටවල් කරා පියමනී. නිදහස් අධ්‍යාපනය පසෙකට දමමු, මන්ද සමහරක් අන්තර්ජාතික පාසල්වල මුදල්ගෙවා ඉගෙන ගැනීම සිදුකරන නිසා. තමන්ට කුඩාකල සිට මේ තත්වයට එන්නට කීදෙනෙක් නම් තම දහඩිය, කඳුළු හා අනෙකුත් බොහෝ දේවල් කැපකොට ඇතිද? දෙමාපියන්ගෙන් ඇරඹූකල නෑදෑයින්, ගුරුවරුන්, යහළුවන් හා මෙකී නොකී කී දෙනක් ඔබට අතහිත දී ඇතිද, ඔබ ලඟින්ම සිට ඇතිද? ඔබම සිතා බලන්න. මේ කීදෙනක් ඔබ ගැන බලාපොරොත්තු තබාගෙන ඇතිද? වැඩිදුර ඉගෙනගෙන සමාජයේ ඉහලම තැනකට යාම කාගේත් සිහිනයක්, මොහොතකට සිතන්න, ඔබ එය ජයගත් අයෙක්. නමුත් ඔබට මුලදී ලැබුනදේ නොලැබීම නිසා අද සමාජයේ කොතෙකුත් පිරිසක් අනාථවී සිටිනවාද කියා. ඒ අයටත් ශක්තියක් වන්න නැවත අප රටට එන්න. අපි ගොඩක් දෙනෙක් ඔබ එනතුරු බලාසිටිනවා. ඔබේ දැනුම අත්දැකීම් අපත් සමග බෙදාගන්න.

සමහර විටක ඔබ තවමත් මුදල් පසුපස දුවනවා වෙන්න පුලුවන්. කමක් නෑ අපි ඒකට ඊර්ශියා කරන්නේ නෑ. ඔබට ඇතිවන තරමට මුදල් සොයාගත් පසුව එන්න. මේ ලක් මාතාවට ඇයගේ දරුවන් වැඩිනෑ. ලක් මාතාවට, ඔබගේ දෙමවුපියන්ට, නෑදෑයිනට, ගුරුවරුන්ට වගේම ඔබගේ යහළුවන්ට ඔබව අවශ්යයි.  දුරු රටදී මෙන් පාළුව තනිකම මෙහිදී ඔබට නොදැනේවි මන්ද මෙහි සිටින්නේ ඔබගේම පිරිසක් වන නිසා. ඔබ එන්න හැකි ඉක්මනට එන්න.

මෙමගී පද වල දේශපාලනික වශයෙන් අරුතක් ගැබ්වෙලා තියෙනවා කියා නොකීවොත් එය අඩුවක්. ඇත්තෙන්ම මෙම ගීපද හා එක් දෙශපාලනික ක්‍රියාදාමයන් පෙලක් මනාව ගැලපෙනව. මින් ඔබ්බට ඒගැන පැවසීමට නොයන්නේ මා දේශපාලනය ගැන ලිවීමට ඇති දැඩි අකමැත්තයි. (ලිව්වොත් කොහෙන් කෙලවර වෙයිද කියල කියන්න අමාරුයි) මෙයින් යම්කිසි අඩුපාඩුවක් සිදුවුනේනම් සමාව අයදිනවා.

~~තේජන අබේදීර~~

1 comment:

Anonymous said...

සරුංගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයි
සරුංගලේ නුඹ වාගෙයි රට හැර යන අපේ ළමයි